ළඟම ලිපිය

Showing posts with label සංවාද. Show all posts
Showing posts with label සංවාද. Show all posts

Thursday, December 22, 2016

ප්‍රේමවන්ත කුමාරයෝ....

ඡායාරූප -හේමන්ත අරුණසිරි
 නාට්‍යවේදී ප්‍රියංකර රත්නායකයන්ගේ ප්‍රේමවන්ත කුමාරයෝවේදිකා නාට්‍ය පිළිබඳ  පසුගිය දිනක එතුමන් සමග කළ කතා බහක සටහනක්....
  • මේ නාට්‍යයේ පිටපත තෝරා ගනිද්දී ඔබට විශේෂ නිර්ණායකයන් තිබුණාද?

ඔව්. විලියම් ශේක්ස්පියර් නම් මහා නාට්‍යකරුවාගේ A Midsummer Night’s Dream නාට්‍යයේ ජයවතී ජයසිංහ මහත්මියගේ  සිංහලය පරිවර්තනය ඇසුරින් තමයි ප්‍රේමවන්ත කුමාරයෝ නාට් නිර්මාණය කළේ. නමුත් මේ පිටපත මුද්‍රණය වෙලා නෑ. මං විලියම් ෂේක්ස්පියර්ගේ මැක්බත් නාට්‍ය නිශ්පාදනය කරන්න සූදානම් වෙලා ඉන්න අතරතුර තමයි ප‍්‍රවීණ රංගන ශිල්පී දයාදේව එදිරිසිංහයන් මට මේ පරිවර්තන අත් පිටපත ගැන කියන්නේ. පිටපත තෝරා ගනිද්දී මට විශේෂ නිර්ණායක තිබුණේ නෑ. පරිවර්තන පිටපතක් තෝරගන්න කොට විවිධ අයට නොයෙක් විදිහේ හේතූන් තියෙන්න පුළුවන්. මං මීට පෙර නිර්මාණය කළ අද වගේ දවසක ඇන්ටිගනි, ඊඩිපස්, තටු ඇවිත්, විසේකාරියෝ වගේ හැම නාට්‍යකදී ම පිටපත තේරීමේ දී ඒ පිටපත මුල් කරගෙන වර්තමාන සමාජ ජීවිතය කොයි තරම් කියවන්න ඉඩ ලැබෙනවාද කියන දේ වැදගත් වුණා. ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍යට මුල් වුණු නාට්‍ය පරිවර්තන පිටපත සර්වකාලීනයි. එහි කතා කරන මනුෂ්‍ය අත්දැකීමේ තියන ගැඹුර හැම රටකට ම, හැම දේශයකට ම අර්ථකථනය කරන්න පුළුවන් හැකියාව මේ පෙළටත් තියන බව මං දැක්කා. මේ නාට්‍යයේ ප‍්‍රධාන තේමාව පේ‍්‍රමය. පේ‍්‍රමයත් එක්ක සිදු වන සාධනීය සිදුවීම් සහ නිෂේධනාත්මක සිදුවීම් මේ නාට්‍යයේ තියනවා. පේ‍්‍රමය ගැන මතු කරන ගැඹුරු සාකච්ඡාව තමයි මූලික හේතුව වුණේ මේ පිටපත තෝරා ගන්න.
ඡායාරූප -හේමන්ත අරුණසිරි

  •  ප‍්‍රහසනයත්, පේ‍්‍රමයත්, සංගීතයත් අපූරුවට ගළපගත්තේ කොහොමද?
ප්‍රේමවන්ත කුමාරයෝ කොමඩියක්. ඒ කියන්නේ සුඛාන්තයක්. ප‍්‍රහසනය සහ සුඛාන්තය අතර තියන වෙනස තමයි ප‍්‍රහසනයේ හාස්‍ය උත්පාදනය අපිව ගැඹුරු ජීවන දර්ශනයකට යොමු කරන්නේ නෑ. නමුත් සුඛාන්තයෙන් ජීවිතය ගැන ගැඹුරු කියවීමක් ඉදිරිපත් කරනවා. ප‍්‍රහසනය තියෙන නාට්‍ය බලලා ප‍්‍රහර්ෂයෙන් යුතුව ආවට ජීවිතය සම්බන්ධයෙන් අත්දැකීම් ලෝකය පුළුල් වෙන්නේ නෑ. පේ‍්‍රමය ප‍්‍රකාශ කරන්න පුළුවන් ප‍්‍රබල මාධ්‍යක් තමයි ගීතය. ඒ වගේ ම ගීතය මිනිස්සුන්ට සමීපයි. අපි දකින දෙයක් තමයි පේ‍්‍රමය ප‍්‍රකාශ කරන්න භාවිත කරලා තියන බහුල මාධ්‍ය සංගීතය කියලා. නාට්‍යයේ කෙතරම් ගැඹුරු අත්දැකීමක් තිබුණත් මේක සාමාන්‍ය රසවිඳින්නන්ට සමීප කරන්න  ඕන. මං හිතුවා මෙයට හොඳ ම දේ සංගීතය කියලා. ශේක්ස්පියර්ගේ නාට්‍ය වල ම ඒක තියනවා. මං කළේ ඒ සංගීත භාවිතය වර්තමාන මුහුණුවරකට අනුවර්තනය කර ගැනීම පමණයි. ලංකාවේ සිනමාවට අදාළ පේ‍්‍රම කතාවක් සමග ඊට අදාල සංගීතය යොදා ගන්නෙත් ඒ නිසයි. 
  • සාමාන්‍ය පරිවර්තනයක් නාට්‍යක් බවට පත් කරලීමේ දී  ඇති වන දුෂ්කරතා මොනවාද?

බොහෝ අය හිතන්නේ පරිවර්තනයක් නිශ්පාදනය කරන එක හරි ලේසියි කියලා. මුල් කෘතිය ඒ ආකාරයෙන් ම නිශ්පාදනය කරනවා නම් විතරයි ඒ ආකාරය පහසු වන්නේ. හැබැයි පරිවර්තනයක් ස්වතන්ත‍්‍ර අර්ථකථනයක් බවට පත් කරලීම තමයි අමාරු ම. A Midsummer Night’s Dream ශේක්ස්පියර්ගේ නාට්‍යයක් වුණාට ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍යයේ තියෙන්නේ මගේ ස්වතන්ත‍්‍ර අර්ථකථනයක්. ඒක දෙන්න නම් නාට්‍ය කලාව ගැන, අපි ජීවත් වන සමාජව ගැන, හොඳ සවිඥානිකභාවයක් තියෙන්න  ඕන. වඩා සාර්ථක පරිවර්තනයක් හෝ අනුවර්තනයක් සෑම විට ම ස්වතන්ත‍්‍ර අර්ථකථනයෙන් යුක්තයි. ස්වතන්ත‍්‍ර අර්ථකථනයක් නැත්නම් ඒක හොඳ නිශ්පාදනයක් නෙවෙයි. ඒක තමයි පරිවර්තනයක් නාට්‍යක් බවට පත් කරලීමේ දී  ඇති වන ලොකු ම අභියෝගය.
  • ජන සමාජයේ පවතින මතයක් තමයි උසස් නාට්‍ය සාමාන්‍ය ජනතාවට රසවිඳින්න බෑ කියන එක. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

ජන සමාජය තුළ තියන මේ අදහස සීයට සීයක් ම සාවද්‍ය අදහසක්. මොකද උසස් නාට්‍ය කියන හැම නාට්‍යක් ම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ලියපු නාට්‍ය. ග‍්‍රීක නාට්‍ය බැලූවේ සාමාන්‍ය මිනිස්සු. ශේක්ස්පියර්ගේ නාට්‍ය බැලූවේ සාමාන්‍ය මිනිස්සු. නෝ, කබුකි බලන්නේ සාමාන්‍ය මිනිස්සු. එලෙස ගත් විට සම්භාව්‍යයි කියන නාට්‍ය හැම එකක් ම සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් ලියපු සහ ඒ අය නරඹපු නාට්‍ය. පසු කාලයක දී අපේ රටේ එක්තරා විදග්ධ පන්තියක් විසින් යම් බයක් ඇති කරලා තියනවා සාමාන්‍ය මිනිස්සුන්ට විදග්ධ නාට්‍ය රසවිඳින්න බෑ කියලා. මේක සම්පූර්ණයෙන් ම සාවද්‍ය අදහසක්. නමුත් නාට්‍යක් රසවිඳින්න නම් හොඳ නාට්‍ය රසිකයෙක් වෙන්න  ඕන. ඒ කියන රසිකයා හැම සාමාන්‍ය මිනිසෙක් තුළ ම නෑ. මේක  ඕනෑ ම කලා මාධ්‍යකටත් අදාළයි. අපේ රටේ තියන ප‍්‍රශ්නය තමයි මේ තත්වයට අදාළ අභ්‍යාසයන් වල කවුරුත් යෙදෙන්නේ නෑ. සරච්චන්ද්‍රයන්ගේ ඉඳලා අපේ මහා නාට්‍යවේදීන් කිසි කෙනෙක් උසස් නාට්‍ය සාමාන්‍ය පේ‍්‍රක්ෂකයාට දැනෙන විදිහට නිශ්පාදනය කිරීම සඳහා උත්සහ දරලා නෑ. නමුත් මේ අය උසස් නාට්‍යවල ආභාසය ලබලා තියනවා. සිංහබාහු නාට්‍යයේ ඊඩිපස් හෝ ඇන්ටිගනිවල ආභාසයත්, ලෝමහංස නාට්‍යයේ ඉපලොටෙස් වගේ ග‍්‍රීක නාට්‍ය ආභාසයත්, හෙන්රි ජයසේනයන්ගේ කුවේනි නාට්‍යයේ මීඩියා නම් ග‍්‍රීක නාට්‍යයේ ආභාසයත් තියනවා. හොඳ සෑම නාට්‍යකරුවෙකුට ම සම්භාව්‍ය නාට්‍ය කලාවේ බලපෑම ලැබිලා තියනවා. එහෙම නැතිව විශිෂ්ට ස්වතන්ත‍්‍ර නාට්‍යක් ලියන්න බෑ. මේ කාරණාවේ දී සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචර වන රසය කුමක්ද යන්න සොයා ගැනීම ඉතා වැදගත් කාරණයක්.
ඡායාරූප -හේමන්ත අරුණසිරි
සටහන-නලිනිකා ලක්ෂාණි


කථිකාචාර්ය චින්තක රණසිංහ මහතා  සමඟ කළ සංවාද සටහනක්....      
kln.ac.lk

 සාහිත්‍ය ලෝකයට ආලෝකයක් සපයමින් සාහිත්‍ය දුහුනන්ගේ ඥාන ගවේශනයට අවැසි කෘති බොහෝමයක් රචනා කරමින් සාහිත්‍යට ලැදි දිවියක් ගෙවන කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය චින්තක රණසිංහ මහතා සමග කරන ලද සංවාදයක් සටහන් තබම්.
  •    ඔබ කොහොමද සාහිත්‍ය යන්න අර්ථකතනය කරන්නේ?

සාහිත්‍ය කියන දෙයින් මං මූලික වශයෙන් ම අදහස් කරන්නේ වඩාත් වින්දනාත්මක පාර්ශවයක් සහ භාවාත්මක බවක් සහිත දෙයක් විදිහට. නමුත් එහිදී බුද්ධිමත් පාර්ශවයක් නෑ කියලා අදහස් වෙන්නේ නෑ. සාහිත්‍ය කියන්නේ ගණිතය හෝ වෙනත් විෂයක් නෙවෙයිනේ. සාහිත්‍ය කෘතියක් ගත්තම වඩාත් නිරවුල් මෙන් ම අර්ථය පැහැදිලි වෙන්න  ඕන. වඩාත් සංවේදී පුද්ගලයකුට ඇමතිය යුතු අතර සංවේදීභාවය ද වර්ධනය කරන්න  ඕන. ඒ කාරණය සම්පූර්ණ කළාට පස්සේ තමයි බුද්ධිය කියන කාරණාවට සාහිත්‍යකරුවාට එන්න පුළුවන් වෙන්නේ. වර්තමානයේ පවතින සිංහල සාහිත්‍ය කියන දෙයෙහි තියන බරපතල අර්බුදය තමයි ප‍්‍රහේලිකාත්මක ගතිය සහ දුරවබෝධ ගතිය. දැන් ඉන්න විචාරකයෝ කියන්නේ ඒක කියලා. නන් විධ අර්ථ දෙන්න  ඕන කියලා. නමුත් නන් විධ අර්ථ කියන එකේ සීමාවක් තියෙන්න  ඕන. නවකතාවක් ගත් විට ඒ නවකතාවේ ප්‍රොයිඞ්ගේ හරි ලකාන්ගේ හරි තියරි හොයන්න  ඕන නෑ. මගේ හදවතට දැනෙනවානම්, මට මගේ ජීවිතේ සිහියට එනවා නම්  මං කියවන්නේ ඒ නවකතාව. ඒකෙදී මට ජ්‍යාමිතියවත්, තියරිවත් වැඩක් නෑ. මෙතනදී කියන්න  ඕන ආධිපත්‍ය විචාර කලාවක් දැන් වන විට බිහි වෙලා තියනවා කියලා. නමුත් 1950 ගණන්වල ලියවුණු නවකතා, හේමරත්න ලියනාරච්චිගේ නවකතා සිරි ගුණසිංහගේ නවකතා දැඩිව හදවත් ඇද ගන්නවා වගේ ම අපේ ජීවිතවලින් ප‍්‍රශ්න කරන්න පොළඹවනවා. අදත් ඒ වගේ නවකතා ලියවෙන්නැතුව නෙවෙයි. හැබැයි ඒවා ඔය සම්මාන උළෙලවල් වල මාධ්‍යවල අගය කෙරෙන්නෙත් නෑ අගය කරන්න දන්න මිනිස්සුත් නෑ. ඒක තමයි ප‍්‍රශ්නය දැන් තියන.
  • ·        ඔබ නවකතාකරුවෙක් වගේ ම කවියෙක්. මේ නිර්මාණ ප‍්‍රවේශයන්ගෙන් ඔබට වඩාත් සමීප ප‍්‍රකාශන මාධ්‍ය මොනවාද?

මගේ මූලික ම මාධ්‍ය තමයි කවිය. මං විශාල වශයෙන් කවි ලියලා තියනවා. පළ කරලා තියෙන්නේ ටිකයි. සමාජ අවශ්‍යතාවයක් විදිහට දැන් සිද්ද වෙන දේවල් ලියන්න වෙලා තියනවා මට. කොහොම වුණත් මගේ අනන්‍යතාවය මං කවියෙක්. හැබැයි ඉතින් දාර්ශනික ප‍්‍රහේලිකා කවියෙක් නම් නෙවෙයි. සාමාන්‍යයෙන් කවි ලියනවා.
  • ·        ඔබ ලියූ  ‘පිරිමි කවුරුද වරදෙ නොබැඳනකෘතිය තුළ චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍ය ඇසුර වඩාත් පුළුල්ව දක්නට ලැබෙනවා. නව නිර්මාණකරුවන්ට මේ පැරණි සාහිත්‍ය පරිශීලනය තුළින් ලද හැකි ආභාසය කොයි වගේද?

චිරන්තන ගද්‍ය පද්‍ය වගේ ම වර්තමාන ඇසුර ගැනත් මගේ කෘතියේ කතා කරනවා. ඇත්ත වශයෙන් ම මගේ කෘතිය ගැන මං කතා කරන එක හොඳ නෑ. ඒක කියවන අයට සහ  ඕන ම කෙනෙක්ට  ඕනම විදිහක ඇගයීමක් සහ විනිශ්චයක් කරන්න පුළුවන්.
grantha.org
  • ·        වර්තමානයේ බොහෝ ප්‍රවීණ යැයි සැලකෙන නිර්මාණකරුවන්ගේ නිර්මාණ පොදුවේ හැම පාඨකයාට ම රස විඳීමට බැරි තත්වයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් පශ්චාත් නූතන කලාව යැයි හඳුන්වාගත් ඒ නවකතා තුළ ඇති භාෂාව පවා වෙනස්. මේ කාරණය ඔබ දකින්නේ කොහොමද?

පශ්චාත් නූතනය යටතේ එන සියලූ ම දේවල්වල අර්ථය තමයි කිසිදු අර්ථයක් නෑ කියන එක. පශ්චාත් නූතන තත්වය තුළ පොදුවේ ගත්තම එය ගෙනාපු, විචාරයට ලක් කරපු විචාරකයින්, විශ්ලේශකයන් ආදීන් පිළිගන්න පොදු දෙයක් තියනවා. හැබැයි නිශ්චිත අර්ථයක් කිසිදු දෙයක නෑ කියන එක තමයි පශ්චාත් නූතන යන්නේ අර්ථය.  ඕන ම අයෙකුට  ඕන දෙයක් කියන්න පුළුවන් තත්වයක් තියන නිසා පශ්චාත් නූතන කලාව කියන එක නිරර්ථක, අර්ථ විරහිත තත්වයක්. හැබැයි බටහිරට අයත් පශ්චාත් නූතනවාදය සහ පශ්චාත් නූතන කලාවට අයිති දේවල් ගැන කතා කරන විට මීට වඩා පොහාසත් බවක් තිබුණා. මොකද ඒ අයගේ සම්ප‍්‍රදාය ප‍්‍රබලයි. නූතනවාදයත් ප‍්‍රබලයි. එය පසුපස තිබුණු මුලු ටිකත් ප‍්‍රබලයි. මෙහෙ එහෙමත් නෑනේ. ඒ නිසා මෙහෙ තිබුණ වැදගත් දෙයට පහර දෙන්න ඊර්ෂ්‍යාවෙන් සහ නොහැකියාවෙන් පිරුණු මිනිස්සු පශ්චාත් නූතනවාදය ගත්තා. සරලව කියුවොත් වාක්‍යක් හොඳට ලියන්න බැරි නම්, ඒකට කියන්න පුළුවන් පශ්චාත් නූතන විදිහට මෙහෙම තමයි ලියන්නේ කියලා. උපමා රූපකවලින් වර්ණනා කරන්න බැරි මිනිහට කියන්න පුළුවන් උපමා රූපක වැඩක් නෑ කියලා. කවි ලියන්න බැරි මිනිහට කියන්න පුළුවන් කවි  ඕන එකක් පොයටි‍්‍ර කියලා. ලංකාවේ පශ්චාත් නූතනවාදය ක‍්‍රියාත්මක වෙන්නේ ඒ වගේ බාල තලයක. අන්න ඒ නිසා ඔය පශ්චාත් නූතනවාදී කියන දේවල් කරන බහුතරයාගේ සීයට අනූවකගේ ම තියන ප‍්‍රශ්න තමයි ප‍්‍රතිභා හීනකම, දැනුම හීනකම සහ මංමුලාව. මං මේක ඉතාමත් විවෘතව කතා කරනවා වගේ ම මේ ගැන සංවාදයකට උනත් සූදානම්. ලංකාවේ මේ ඇති වෙලා තියන ඛේදවාචකය පශ්චාත් නූතනවාදය පිළිබඳ ප‍්‍රශනයක් නෙවෙයි. පශ්චාත් නූතනය කියන ලේබල් එකට ඌණ ප‍්‍රතිභා සහිත මිනිස්සු ටිකක් තමන්ගේ නොහැකියාව වහගන්න පශ්චාත් නූතනවාදය කියන රෙද්ද ඇඳගෙන. උදාහරණයක් වශයෙන් ඩෙරීඩා ගත්තොත් ඩෙරීඩාගේ මුල් ලේඛනවලින් පේන්නේ (ඉංග‍්‍රිසියෙන් තියන ලේඛනවල) ඉතා ම විශිෂ්ට සාහිත්‍යමය භාෂාවක් යටතේ එය ලියවුණු බවයි. ඔහුගේ මතය කුමක් වුවත් විශිෂ්ට රසයක් ඒවගේ තියනවා. නමුත් ලංකාවේ  පශ්චාත් නූතනවාදය ගෙන ආ කිහිප දෙනෙකුට ඇරෙන්න අන් අයට එහෙම තත්වයක් නෑ. ඊට පස්සේ විශාල පරම්පරාවක් තමන්ගේ නොහැකියාව, අධ්‍යපනය බිඳ වැටීම්, රසඥතාවය බිඳ වැටීම ආදියෙන් බේරෙන්න ඇඳපු රෙද්දක් තමයි පශ්චාත් නූතනවාදය.
  • ·        වර්තමානයේ ඉන්න විචාරකයන් අතින් සැබෑවට සාහිත්‍ය විචාරය සිදු වනවාද?

සාහිත්‍ය විචාර කියන එක සිද්ද කරන්න පුළුවන් විචාරකයෝ ලංකාවේ නැතුවා නොවෙයි. ඒ අය මාධ්‍ය වලින් හංගලා. ගොඩක් වෙලාවට මාධ්‍යවලට ගන්නෙ ම අර පශ්චාත් නූතන කොටස අල්ල ගත්තු හරියට වාක්‍යක් ලියන්න බැරි අය. නමුත් දැන් ආයෙ ම ප‍්‍රවණතාවයක් තියනවා මාධ්‍යකරුවන්ට ඉව වැටිලා. ඉතින් ඒ අය මතු වෙයි. නමුත් එතනදිත් ගැටලූවක් තියනවා. අලූතෙන් ආපු දැනුම් පද්ධති, අලූතෙන් ආපු වචන එක්ක පැරණි පුද්ගලයෝ අනවශ්‍ය විදිහේ වෛරයක් හදා ගන්නවා. ඒ වෛරය නූතන පරම්පරාවටත් පැරණි ඒවත් එක්ක තියනවා. මේ දෙක ම විය යුතු නෑ. දෙකේ ම සංකලනයක් තියෙන්න  ඕන. දෙපැත්ත ගැන ම අවබෝධයෙන් ඉන්න  ඕන. මං මේ පරම්පරා දෙක ම අතර සම්බන්ධය ගෙන යන කෙනෙක්. ඒ නියෝජනය තියෙන කෙනෙක්. ඒක දකින කෙනෙක්. විචාරකයෝ ගැන කතා කරද්දි නම් ගම් කියන්න අවශ්‍ය නැතත් හොඳ විචාරකයේ ඉන්නවා කියලා කිවුවම ඇති. නමුත් මේ හොඳ විචාරකයෝ පවා යට වෙලා තියනවා අන්තර්ජාලයෙන් ගන්න තියරි පොඩ්ඩකට. ඉස්සෙල්ලා කෘතියක් විග‍්‍රහ කරන්න  ඕන. ඒ කතුවරයාගේ පසුබිම, ඉපදුණු කාලය, ගැන දීර්ඝව ලියන්න  ඕන. ලංකාව තුළ 50 වල හොඳ පොත් පරිවර්තනය වෙන්න ගත්තා. හොඳ විචාර සංවාදයක් ඇති වුණා. නමුත් එතනින් එහාට ඒ සංවාදෙ දියුණු වුණේ නෑ. අපි කරන්න  ඕන විචාර කෘති පරිවර්තනය කරන එක. විචාර කෘති පරිවර්තනය වෙන්නේ නැත්තේ ඒකට වෙළඳපලක් නෑ. ඒ වෙළඳපල හදන්න විශ්වවිද්‍යාල, රජය මැදිහත් වෙන්න  ඕන. බටහිර විචාර පොත් විතරක් නෙවෙයි. සංස්කෘත වේවා, දෙමළ වේවා, වෙනත්  ඕනම විචාර පොතක් මීට අයිතියි. විචාරය පිළිබඳ විශාල අර්බුදයක් තියනවා. තැනින් තැන විචාරය සිදු කිරීමට වඩා කළ යුත්තේ  ඒ විචාරයේ මූලික ග‍්‍රන්ථ පරිවර්තනය වීම, සහ විශේෂයෙන් ලංකාවේ නූතන සාහිත්‍ය ගැන පවා නිරවුල්ව, ඓතිහාසික ක‍්‍රම විකාශනය ගැන ලියන ලේඛකයෝ සහ පාඨකයෝ පිරිසක් ගොඩ නගා ගන්න එක. ඒක ලොකු කර්තව්‍යක්. අපි ඒකට උත්සහ කරනවා. අපි බලමු. 
  •      ලංකාවේ තියන සාහිත්‍ය සම්මාන හැමදාම කැරකෙන්නේ එක ම ලේඛක කණ්ඩායමක් වටා. ඒ සම්මාන ක‍්‍රමවේද ගැන ඔබ හිතන්නේ මොකක්ද

ඇත්තටම පුළුල් අර්ථයෙන් ගත්තොත් සාහිත්‍ය සහ සම්මාන අතර කිසි ම සම්බන්ධයක් නෑ. උදාහරණයක් විදිහට සාහිත්‍ය කියන්නේ එක්තරා මිනිස්සු කණ්ඩායමක් ඉතිහාසයේ යම් යම් යුග වලදී ඒ අවශ්‍යතා අනුව ගොඩ නගා ගත් දෙයක්. සම්මාන කියන්නේ ඒ දේ කරගන්න බැරි මිනිස්සු කණ්ඩායමක් විසින් ඒ දේට සම්බන්ධ වෙන්න හදාගත්තු වෙනම වැඩපිළිවලක්. එතනත් පොඩි ප‍්‍රශ්නයක් තියනවානේ මං මෙහෙම කියනකොට. උදැහරණයක් විදිහට ගත්තම සම්මාන කියන්නේ මණ්ඩලයකින්. රජයෙන් හෝ පිළිගත් පාර්ශවයකින් දෙන දෙයක්නේ. එතකොට සාහිත්‍යකරුවා කියන්නෙ ම ගැඹුරු අර්ථයෙන් පිළිගත්ත දේත් එක්ක ගැටෙන කෙනෙක්. ඒක හරි උත්ප‍්‍රාසාත්මකයිනේ. සරලව කීවොත් සම්මාන ලැබෙන පොතක් තියනවානම් ඒ පොත ගැන සැක කරන්න  ඕන. සංස්ථාපිත මතවාදයක් තියෙන්න  ඕන. එක්කෝ මිතුරු කණ්ඩායමක් සම්මානිත පුද්ගලයා අල්ලා ගැනීමක් සිදු කරන්න  ඕන. එතකොට සම්මාන ලැබෙන හැම පොත ම නරකයි කියලා කියන්න බෑ. නමුත් ලංකාවේ ඉන්න සාහිත්‍යකරුවෝ සමාජය වෙන්වෙන් හරි තමන්ගේ ජීවිතේ වෙනුවෙන් හරි බරපතල සටනක් කරන්නේ නෑ. ටෝල්ස්ටෝයි වගේ අය තමන්ගේ පවුල අත්හැර රණ්ඩු වෙලා ගිහින් සාහිත්‍ය කරපු මිනිස්සු, මැක්සිම් ගෝරිකි වගේ පාරේ ඇවිදපු මිනිස්සු ලංකාවේ නෑ. ලංකාවේ ඉන්නේ දෑවැද්දත් එක්ක ගෑණියෙක් ගන්නවා වගේ සාහිත්‍ය ගැනත් හිතන මිනිස්සු. ඒ කියන්නේ පුවත්පතක් හරහා ජනප‍්‍රිය වෙන්න, රූපවාහිනියේ පෙනී හිටින්න, යම් කිසි මුදලක් ගන්න වගේ දෙයක් ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනවා. මේක හරිම කණගාටුදායකයි. ලංකාවේ පහල මධ්‍යම පන්තියෙන්නේ ඔය සාහිත්‍යකරුවෝ බිහි වෙලා තියෙන්නේ. ඒ අය ඇත්තට ම ලෝකයේ සාහිත්‍යකරුවොත් එක්ක ගත්තම ඉතාමත් සුළු සාහිත්‍යකරුවෝ. මං වුණත් එහෙමයි. ඒක මං දන්නවා. ඒ බවක් දැන හෝ නොදැන තමන්ගේ කල්ලි කණ්ඩායම් අටවගෙන මේ සම්මාන ගැනීම අපි දකින්න  ඕන අනුකම්පාවෙන්. ඇත්තටම එ වැනි සාහිත්‍යකරුවන් අභ්‍යන්තරයෙන් ඉතාමත් දුගී. ඔබ මාධ්‍යකරුවෙක් විදිහට හිතලා බලන්න මේ වගේ සාකච්ඡුා කිහිපයක් ඔබ දිගට ම කළොත් සාහිත්‍යකරුවන් කී දෙනෙක් ඔබෙන් අවස්ථාව ඉල්ලයි ද කියලා. මහා චරිත කියලා හිතන් ඉන්න අය ඇතුළේ කිසි දෙයක් නෑ. ප‍්‍රසිද්ධිය තමයි ඒ අයට අවශ්‍යය. ඒ නිසා සම්මාන එක්ක වැඩ කිරීම අපි දකින්න  ඕන සාහිත්‍යයේ ගැඹුරු අර්ථයට පටහැනි සහ මධ්‍යම පන්තියේ ජරා විලාසිතාවක් හැටියට. මං දකින්නේ ඒ විදිහට. රැකියාවක් කරලා මුදල් ලබා ගන්නවාට වඩා වෙනම කතාවක් එතන තියනවා. ලංකාව මේ ඛේදවාචකයේ එක් ගොදුරක්.
  • ·        වර්තමානයේ දී සරසවි අධ්‍යාපනය තුළින් සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අදාළ දක්ෂ නිර්මාණකරුවන් බිහිවීම වෙනුවට කටපාඩම් ශෛලියෙන් විභාග ගොඩ යන උපාධිධාරීන් බිහිවීම ගැන සමාජය තුළ කතිකාවක් ගොඩනැගිලා තියනවා. ඔබ සරසවි ඇදුරෙක් හැටියට මේ ගැන මොකද කියන්න තියෙන්නේ?

කොහොමත් විශ්වවිද්‍යාල පද්ධතියේ යම් යම් දේ පිළිබඳ විවේචන මා සතුව තියනවා. මුල ඉඳලම ලංකාවේ යම් කාල වකවානුවකින් පස්සේ විචාර චින්තනය ගොඩ නගන අරමුණක් නොමැතිව තමයි මේ ක‍්‍රියාත්මක වෙමින් යන්නේ. සාහිත්‍යකරුවෝ විතරක් නෙවෙයි කිසිම ආකාරයේ ස්වාධීන මිනිහෙක් බිහි වෙන්න මේ අධ්‍යාපන ක‍්‍රමයේ ඉඩ නෑ. සාහිත්‍ය කියන්නේ බොහො ම විචාරශීලී සහ තර්කානුකූල දෙයක්නේ. සාහිත්‍යකරුවෙක් නෙවෙයි අඩු තරමේ තමන්ගේ ගුරුවරයා ඉදිරියේ නැගිටලා ගුරුවරයාගේ අදහසට තර්කයක් ඉදිරිපත් කරන්නවත් පුළුවන් මිනිහෙක් බිහි කරන අධ්‍යාපන ක‍්‍රමයක් ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය තුළ නෑ. ඇත්තටම ලංකාවේ සියලූ ප‍්‍රශ්නවලට මුල අධ්‍යාපනය. විශේෂයෙන් උසස් අධ්‍යාපනය. ඒ ගැන දීර්ඝව සාකච්ඡා කළ යුතුයි. අපිට අවශ්‍ය වන්නේ සොක‍්‍රටීක අධ්‍යාපන ක‍්‍රමය. ඒ කියන්නේ ප‍්‍රශ්න සහ උත්තරවලින් කෙරෙන කතා බහක්. එවිට තමයි හැමෝගෙ ම මානසික පීඨ විවෘත වන්නේ. දැනට අපි යන්නේ විභාග කේන්ද්‍ර කරගත් ක‍්‍රමය. ඒවා ඇත්තටම සහතික විහිලූ විදිහටයි සලකන්න පුළුවන්. මේ සහතික විහිලූව තුළ සාහිත්‍යකරුවෙක් නෙවෙයි, සාමාන්‍ය නිර්මාණශීලි ලිපිකරුවෙක්වත් බිහි වෙන්නේ නෑ. මේ බිහිවෙන සාහිත්‍යකරුවෝ සිය මහන්සියෙන් බිහි වුණු අය මිසක් විශ්වවිද්‍යාලවලින් බිහි වූ අය නොවෙයි. විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන කවදාවත් සාහිත්‍යකරුවෝ බිහි වෙන්නේ නෑ. ඒක සිහිනයක්.

සටහන: නලිනිකා ලක්ෂාණි 

Saturday, November 19, 2016

ලෝකයේ හොඳ ම සංචාරක ඡායාරූප ශිල්පීන් අතරට ප්‍රියන්ත බණ්ඩාර

අද අපිත් එක්ක කතා බහට එක් වන්නේ මෑත කාලයේ දී ඡායාරූපකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගෞරවයක් එක් කර දුන් පුද්ගලයෙක්. ඔහු තමයි ප්‍රියන්ත බණ්ඩාර. මොහු ඇමරිකානු එක්සත් ජනපදයේ Topteny Lifestyle web magazine එකේ ලෝකයේ හොඳ ම සංචාරක ඡායාරූප ශිල්පීන් දහ දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වෙලා ඉන්නවා.

  • ඔබ සංචාරක ඡායාරූපකරණයට යොමු වන්නේ කොයි කාලයේ ?
මට වයස අවුරුදු 12 දී විතර තමයි මං සංචාරක ඡායාරූපකරණයට යොමු වෙන්න පටන් ගන්නේ. ඒ කාලේ වෙනකොට යාළුවෝ එක්ක හැමතැනම ඇවිදින ගමන් ලංකාවේ එක එක තැන් නරඹන්න මං පුරුදු වෙලා හිටියා.
  • ඡායාරූප ශිල්පයට අමතරව ඔබව හඳුන්වන්න පුළුවන් කොයි විදිහට ?

පූර්ණකාලීන සේවා නියුක්තිකයෙක්, ස්වාමිපුරුෂයෙක් සහ පියෙක්
  • සංචාරක ඡායාරූපකරණ ක්ෂේත්‍රයටම යොමු වීමේ විශේෂ හේතුවක් තියනවාද?

මං කුඩා කාලයේ ඉඳලම ස්වාභාවික සුන්දරත්වයට, මිනිස්සුන්ට වගේම සුන්දර තැන් වලට ගොඩක් ආදරේ කළා. මං ජීවත් වුණු තැන්, ඇවිදපු තැන් වගේ ම ඇසුරු කරපු මිනිස්සුන්ගේ ස්වරූපය නිසා ම මාව සංචාරක ඡායාරූපකරණය පැත්තට යොමු වුණා කියලා කියන්න පුළුවන්.
  • මේ දවස්වල වැඩ කටයුතු මොනවාද?

මං සේවය කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් වන විදුලි සංදේශ සමාගමේ පූර්ණකාලීන සේවකයකු විදිහට. ඒ නිසා මගේ උපරිම අවධානය මං යොමු කරන්නේ රාජකාරියට. ඒ වගේ ම මගේ පවුලටයි. ඒත් මට පුළුවන්, ඉඩ ලැබෙන හැම වෙලාවකම මං කරන්නේ ළඟපාත හරි ඈත පළාත් වලට හරි ගිහිං ඡායාරූප ලබා ගන්න එක. මෑතකදී මං මගේ ම වෙබ් සයිට් එකක් ලෝන්ච් කළා. මේ වෙනකොට ඒකේ වැඩ කටයුතුත් සිදු කරනවා.
  • මෑතකදී ඔබ ලබපු ජයග්‍රහණය ගැන සඳහන් කළොත්?

ඇමරිකානු එක්සත් ජනපදයේ Topteny Lifestyle web magazine එකේ ලෝකයේ හොඳ ම සංචාරක ඡායාරූප ශිල්පීන් දහ දෙනාගේ නම් ඇතුළත් ලැයිස්තුවට මගේ නමත් ඇතුළත් වෙලා තියනවා. මේ විදිහට මාව හඳුන්වපු එක ගැන මට තියෙන්නේ නිරංකාර සතුටක්. ඒ මොකද කියනවනම් එක ම අවස්ථාවකදී මගේ හැකියාව ගැන විශ්වීය මට්ටමේ වේදිකාවක හඳුන්වාදීමත් එක්කම ශ්‍රී ලංකාවේ ස්වභාවික වටිනාකම ගැනත් හඳුන්වා දීමට ලැබුණු නිසා.
  • ඔබ සංචාරය කරමින් ඡායාරූප ලබා ගත් ස්ථාන අතරින් කැමතිම රටක් හරි ප්‍රදේශයක් තියනවාද? තියනවානම් එයට හේතු මොනවාද?

නකල්ස් කඳුවැටිය අයත් ප්‍රදේශයට මං වඩාත් කැමතියි. මොකද, ඒ පළාත අවටින් දැක ගන්න ලැබෙන බොහෝමයක් තැන් භූ දර්ශනය අතින් අදහගන්න බැරි තරම් අපූරු නිසා. 
  • ජීවිතේට වෙනසක් එකතු කරගන්න මොනවද කරන්න කැමති?
ගොඩක් දුර ප්‍රදේශ වල සංචාරය කරමින් විවිධ සංස්කෘති සහ ඒවාට අයිති දේවල් ඡායාරූපගත කරන්න පුළුවන් නම් මං ඒකට කැමතියි.
  • ඔබේ ප්‍රියතම ඡායාරූප ශිල්පියා කවුද?
ලෝකේ විශිෂ්ට ඡායාරූප ශිල්පීන් අතරින් මං කැමතියි ස්ටීව් මැක්කරිට Steve McCurry වගේ ම Sebastiao Salgado කියන දෙන්නටම. මේ අයගේ ඡායාරූපමය හැකියාව හරිම අපූරුයි. ඒ වගේම කැපවීම වගේ ම කලාවට තියන දැඩි බැඳීමයි මට හිතාගන්න බැරි. 
  • ඉදිරියේ දී සිදු වන අළුත් වැඩ කටයුතු සඳහන් කළොත්?
ඉදිරියේ දී ව්‍යාපාරික අංශයේ වැඩ කටුයුත්තු කිහිපයකට සහභාගී වීමට සූදානම් වෙනවා. ඒකෙන් පස්සේ තෝරාගත් විෂය යටතේ ඡායාරූප ව්‍යාපෘති කීපයක් කරන්නත් බලාපොරොත්තුවක් තියනවා. ඉදිරියේ දී සමාජ මාධ්‍ය හරහා ඔබටත් ඒ ගැන දැනගන්න ලැබේවි.
  • ඔබ හිතන්නේ ඡායාරූප ශිල්පියෙක් වෙන්න තියෙන්න ඕන මොන වගේ අවශ්‍යතා කියලද?

හැකියාවන් වැඩිදියුණු කරගැනීමට සහ නිරන්තරයෙන් self criticism (ස්වයං විවේචනය) කරගන්න කැපවීමක් තියෙන්න ඕන‍.
  •  ඡායාරූපකරණයට යොමු වන තරුණ තරුණියන්ට කියන්න තියෙන්නේ මොනවාද?
යම් කෙනෙක් ඡායාරූපකරණයට අළුතින් ම යොමු වෙනවානම් ඒ පුද්ගලයාට ඇති තරම් අනිත් අයව අනුකරණය කරන්න අවස්ථාව තියනවා. ඒත් ඔහුට වෙනස් කෙනෙක් වෙන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් ම ඔහු, ඔහුගේ ම ඡායාරූපකරණ විලාසයක් හොයා ගන්න ඕන. ඒ වගේම ඔහුට සිද්ද වෙනවා හැකියාවන් නිරන්තරයෙන් ඔපමට්ටම් කරගන්න. හැබැයි ඒ වෙනුවෙන් මොන උපකරණ යොදා ගන්නවාද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අවසානයේ දී අනිත් අය ඔහුව විනිශ්චය කරන්නේ ඔහුගේ ම ඡායාරූප වලින් නිසා.
Priyantha Bandara photography


Priyantha Bandara photography

Priyantha Bandara photography



 සංවාද සටහන -නලිනිකා ලක්ෂාණි


Thursday, October 27, 2016

දහස් ගණන් වැන්දඹුවෝ.......

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරයක් ලෙසින් සංජීව ගුණරත්නයන් දැනට සේවය කරයි. තරුණ නාට්‍යවේදියෙකු වශයෙන් හඳුනාගත හැකි මොහු විශ්වවිද්‍යාලයේ අවසාන වසර අධ්‍යාපනය ලබන විට දහස් ගණන් වැන්දඹුවෝ (පරිවර්තිත) නාට්‍ය අධ්‍යක්ෂණය කර ඇත්තේ නාට්‍ය හා රංග කලා අධ්‍යයන අංශයේ විෂයානුබද්ධ කණ්ඩායම් ප්‍රායෝගික පරීක්ෂණයක් වෙනුවෙනි. ඔහු සමඟ කළ කෙටි සංවාද සටහනක් මෙසේය.
ඡායාරූප : හේමන්ත අරුණසිරි

  •          මේ නාට්‍යයේ අන්තර්ගතය වන්නේ කුමන පසුබිමක් ?

දේශපාලන සන්දර්භයක් තුළින් බිහිවූ  මෙම නාට්‍යයේ  මුල් කෘතිය තමයි ඇමරිකානු නාට්‍ය රචක එරියල් ඩෝර්ෆ්මාන් විසින් රචිත Widows කෘතිය. 1970 දශකයේ දී චිලී දේශයේ සරුසාර කෙත්වතු වල ජීවත් වූ පාරම්පරික ගොවි ජනතාව ඇමරිකානු පාලකයන්ගේ අවශ්‍යතාවය මත සමූල ඝාතනය කර ගැනීමේ දේශපාලනික අර්බුදය මෙම නාට්‍යට පදනම වනවා. ඒකාධිපති හමුදා පාලක ඔගස්ටොපිනොවේ පාලන බලය අතට ගැනීමත් සමඟ එහි ප්‍රතිපලයක් ලෙස කොමියුනිස්ට්වාදීන්ව ඝාතනය කරනවා. පාලනයට හිතවත් ධනවාදීන්ගේ වුවමනාව මත ගොවියන් සතු ඉඩම් අත්පත් කර ගැනීමට ඉඩම් ප්‍රතිසංස්කරණ මුවාවෙන් වැඩපිළිවලක් ක්‍රියාත්මක වෙනවා. එයට එරෙහි වන ගොවි බගවේගය හමුදා බලය භාවිත කරලා මර්දනය කරනවා. එහිදී බොහෝ පිරිසක් මිය යන අතර තවත් බොහෝ පිරිසක් සිරගත කරනවා. ඇතැමුන් අතුරුදහන් වන අතර ඇතැමුන් අතුරුදහන් කරවනවා. මෙකී සියළු කාරණා සමඟ පශ්චාත් යුධ සමයක මිනිසා මුහුණ දෙන ඛේදනීය තත්වය තකමයි මේ නාට්‍යට පසුබිම් වෙලා තියෙන්නේ. 

  •        දහස් ගණන් වැන්දඹුවෝ නාට්‍යයේ ඉතිහාසය පිළිබඳ සඳහන් කළොත් ඔබට මොනවද කියන්න තියෙන්නේ?

2015 වසරේ දී ඒ කියන්නේ මගේ අවසන් වසර ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අපි කණ්ඩායමක් එකතු වෙලා මේ නාට්‍ය නිර්මාණය කළා. ඒ කාලේ ඒ හිටපු පිරිසෙන් කිහිප දෙනයි තාමත් නාට්‍යයේ ඉතිරි වෙලා ඉන්නේ. චරිත වලට අඩු අය වෙනුවට අලුත් පිරිසක් අරගෙනත් තියනවා. මේ නාට්‍ය හරහා සෑම දේශයකම තියෙන අධිකාරිත්වය මත පදනම් වුණු ලක්ෂණයන් සහ පාලකයන්ගේ පාලනයේ ලක්ෂණ ආදිය ඉස්මතු  වෙනවා.

  •        නාට්‍යයයේ මුල, මැද, අග කියන්නේ කුමක්ද යන්න මෙම නාට්‍ය ඇසුරෙන් කෙටියෙන් දැක්විය හැකිද?

මුල, මැද සහ අග කියලා කියන්නේ කතා වින්‍යාසයටයි. මේ නාට්‍යයේ ආරම්භයේ දී පිරිමින් නැති ගමක ජීවත් වන සොෆියා නම් කාන්තාවක් ඇතුළුව එදිනෙදා තමන්ගේ සාමාන්‍ය ජීවිතයට හුරු වී සිටින අනිත් ගැහැණුන්ගෙන් තමයි නාට්‍ය ආරම්භ වන්නේ. නාට්‍ය ආරම්භයේදී ගමට කුමක් සිදු වී තියෙනවාද කියන එක හොයාගන්න බෑ. නාට්‍ය විකාශනයේ දී තමයි පිරිමින් අහිමි කාන්තා පාර්ශවයේ ලක්ෂණ පේන්නේ. එහිදී අතීත සිදුවීම් හෙළිදරව් වීමත් එක්කම වර්තමාන සිදුවීම් ගෙන එනවා. නාට්‍ය අවසාන වන්නේ රජයේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වීම නිසා සොෆියා ඇතුළු සියළුම පිරිස ඝාතනය වීමෙන්.
ඡායාරූප : හේමන්ත අරුණසිරි
  •   නාට්‍ය සඳහා මුදල් ප්‍රතිපාදන හොයා ගන්නේ කුමන ක්‍රමයකින් ද?

කිව යුතු ම කාරණය නම් මූලික අදියරේදී විභාග අරමුණින් නාට්‍ය සකස් කරද්දි අපි අපේ කණ්ඩායමේ දොලොස් දෙනාම තමයි මුදල් හොයාගත්තේ. එතනදී අපි සාමාන්‍ය ආකාරයට සිසුන් මුදල් හොයන විදිහට ඒ කියන්නේ කැට ගිහිං, කෝච්චියේ සිංදු කියලා, ටිකටි විකුණලා තමයි මුදල් හොයාගත්තේ. හැබැයි දැන් නාට්‍යට සම්පූර්ණ වියදම මායි පෞද්ගලිකව දරන්නේ. එතකොට ඒක ටිකක් වෙහෙසකරයි. කලාවක් වෙනුවෙන් ඒක සතුටුදායක තත්වයක් නොවෙයි කියන එකයි මගේ හැඟීම. නමුත් අපේ අධ්‍යයන අංශයෙනුත්, ඇකඩමික් ප්ලේයර්ස් සංගමයෙනුත් ලැබෙන සහයෝගය නිසා දැනට නාට්‍ය කරගෙන යනවා.

  •        දේශීය නාට්‍ය කලාවක් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට තරුණ නාට්‍ය ශිලිපියෙක් විදිහට ලබා දිය හැකි දායකත්වය කුමක්ද?

අපි ශාස්ත්‍රාලීය පසුබිමකින් නාට්‍ය හදාරලා එයින් ක්ෂේත්‍රයට ආපු පිරිසක්. කළ යුත්තේ ලංකාවේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන දේ බලලා නාට්‍ය හදන එක නොවෙයි. හොඳ පේක්ෂකාගාරයක් නිර්මාණය කිරීම සඳහායි නාට්‍ය කරන්න ඕන. උදාහරණයක් විදිහට වර්තමානය වන විට හාස්‍ය කියලා නාට්‍ය රැල්ලක් ඇවිත් තියනවා. හාස්‍ය කිව්වම සිනහව විතරක් නෙවෙයි නාට්‍යයක තියෙන්න ඕන. නාට්‍ය ශාලාවෙන් එළියට ගියාම අර හිනාව ඇතුළෙන් හිතන්න යමක් ඉතුරු කරන්නයි අවශ්‍යය. කොමඩි කියන්නේ සමාජ දේශපාලන ආර්ථික ප්‍රශ්න හා තත්වයන් ගැන වගේ ම ජීවිතය ගැන ගැඹුරින් කතා කරන නාට්‍යය. හැම අවස්ථාවකදීම නිර්මාණකරුවා කරන්නේ සමාජ ප්‍රගමනය වෙනුවෙන් යමක් දායක කරන එක. අපේ හැදෑරීම ඇතුලෙන් අපට කරන්න පුළුවන් දේත් ඒකමයි.


සටහන තබන්නේ නලිනිකා ලක්ෂාණි