ළඟම ලිපිය

Saturday, September 26, 2015

ජීවිතයට වර්ණයක් දෙන හෝලී උත්සවය.


Festival of Colors ජීවිතයට වර්ණයක් දෙන හෝලී උත්සවය. 



සෑම මානව සංස්කෘතියකම සූර්යයාට ලැබෙනුයේ අතිශය වැදගත් ස්ථානයකි. සූර්යයාගේ බලපෑම පිළිබඳ සංකල්පය ශිෂ්ට – අශිෂ්ඨ සෑම මානව සමාජයකම අඩුවැඩි වශයෙන් දැකිය හැකිය. භාරතීය ජනතාව අතර සූර්යයා හා සබැඳුණු උත්සව රාශියක් දක්නට ලැබුණ ද, හෝලී උත්සවයේදී අවධානය යොමු වන්නේ සූර්යයාගේ ගමන හා සම්බන්ධ වී ආරම්භ වන නව වසර සැමරීම කෙරෙහිය.
හෝලී උත්සවය හින්දු ආගමික දෘෂ්ටියට අනුව ශිව දෙවියන් හා සම්බන්ධ යැයි සැලකේ. භාරතීය ජ්‍යොතිෂයට අනුව බක් මාසයේදී ‘හෝලී දැවීම’ පැවැත්වූ දිනට පසු දින සිට ‘නව වසර’ ඇරඹෙන බව විශ්වාස කෙරේ. පුරාවෘත්තයට අනුව හිරන්‍යකාශ්‍යප නම් ඉතා බලසම්පන්න වූ අසුර රජුගේ හෝලිකා නම් සොහොයුරිය දැවී පිළිස්සී මිය යාම සිහි කිරීම සඳහා හෝලී උත්සවය පැවැත්වෙන බව කියවේ.
හෝලී යනු ආගමික පසුබිමක් ඇති වසන්ත උත්සවයක් මෙන්ම වර්ණයන් හා සම්බන්ධ උත්සවයකි. මෙහිදී පුද්ගලයාගේ විවිධ පැහැති වර්ණ පිටි වලින් එකිනෙකාට ගැසීම, තැවරීම මෙන්ම, වර්ණ ජලයෙන් එකිනෙකා නැහැවීම සිදු කරනු දැකීමට හැකිය. කෙටියෙන්ම කිවහොත් මෙය වර්ණයන්ගෙන් පිරි උළෙලකි.
හෝලී උත්සවය පැවැත්වීම සඳහා බාල මහලු සැවොම එක සේ උනන්දුවකින් සහභාගි වීම මෙහි ඇති විශේෂ ලක්‍ෂණයකි. ගැමි ගෙවල් වල ගොම මැටි ගා නව මුහුණුවරක් ලබාදීම සිදු කෙරේ. මිදුලේ විවිධ වර්ණවලින් සැරසූ ‘රංගෝලි’ හෙවත් ‘රගොලි’ සකස් කෙරේ. පාට වර්ග විදීම සඳහා උණ බට තුවක්කුවක් වැනි උපකරණයක් යොදා ගැනේ. මේවා හින්දි බසින් හැඳින්වෙන්නේ ‘පිච්කාරී’ ලෙසිනි. ‘ගුලාල්’ නමින් හැඳින්වෙන වර්ණවත් කුඩු වර්ගය ගැමි නිවෙස්වලදී ම  සකස් කර ගැනේ. හාල් පිටි, කහ, කපුරු යනාදිය මිශ‍්‍ර කර අනා, ‘ගුලාල්’ නම් කුඩු වර්ගය නිපදවා ගැනේ. මේවා ජලයේ දිය කර එකිනෙකාට විද ගැනීම සඳහා ගැමි දරුවෝ පිච්කාරි හෙවත් උණ බට තුවක්කුව සාදා ගනී. සමහර ප‍්‍රදේශවල හෝලී සැමරීම සඳහා කෙටි සහ දිගටි පොලූ කැබලි සාදා ගැනීම අනිවාර්යය කාර්යයක් ලෙස සැලකේ.
හෝලී උත්සවය හා සම්බන්ධ ජන නැටුම් අතර උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ප‍්‍රචලිත ‘බර්සානාහි හෝලී නැටුම’ , ‘නට්වරී නැටුම’, ‘ධෝබියා නැටුම’ ආදියද රාජස්ථාන් ප‍්‍රාන්තයේ ප‍්‍රචලිත ‘ජංග් නැටුම’ , ගෑර් නැටුම’ ද ප‍්‍රමුඛය. හෝලී ක‍්‍රීඩා කරන ජනයා ඉන් පසුව රසවත් ආහාර වලින් සන්තර්පණය වෙති. බොහෝ විට වර්තමාන නාගරික ජනයා කැවිලි පෙවිලි මිලදී ගන්නේ රසකැවිලි වෙළඳසැල් වලිනි. නමුත් ගම්මාන වල කැවිලි පෙවිලි සාදනු ලබන්නේ තවමත් නිවෙස්වලදීම ය.
සාමාන්‍යයෙන් හෝලී උත්සවය දින දෙකක් පැවැත්වේ. පළමු දිනයේදී හෝලී ගින්න දල්වනු ලබන අතර දෙවැනි දිනයේදී වර්ණ කුඩු උපයෝගී කර ගනිමින් ක‍්‍රීඩා කිරීම සිදු කෙරේ. මෙම දෙවැනි දිනය හැඳින්වෙන්නේ ධූරේඩි නමිනි. වර්තමානයේ නාගරික ප‍්‍රදේශවල හෝලී උත්සවය පවත්වන්නේ එක් දිනක් පමණි. උදෑසන අටට පමණ ආරම්භ වන හෝලී ක‍්‍රීඩාව දහවල් දෙක , තුන පමණ වන තුරු මහාමාර්ගවල, කුඩා අඩි පාරවල්වල පැවැත්වෙනු දක්නට ඇත. වර්ණවත් ජලයෙන් තෙමී ගිය ඇඳුම් වලින් යුත් පිරිස් ඪෝල හා වෙනත් සංගීත භාණ්ඩ වයමින්, නටමින් සැරිසරති. එමෙන්ම තමන්ගේ හිතෛෂිවන්තයින්ගේ නිවස් වලට ගොස් වර්ණවත් කුඩු ඉසිමින් සිරුරු පුරා වර්ණවත් ජලය විසුරුවති. සවස තුන පමණ පසු දිය නා පිරිසිදු වී ආහාර අනුභව කරති. පසුව සැන්දෑ කාලයේදී ගැයුම් වැයුම් ආරම්භ වේ. භාරතයේ පැවැත්වෙන හෝලී උත්සව අතරින් ප‍්‍රධාන ස්ථානය හිමිවන්නේ උත්තර භාරතයේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ හින්දි භාෂක කලාපයට අයත් බ‍්‍රජ් ප‍්‍රාන්තයේහි පැවැත්වෙන හෝලී උත්සවයටයි. එයට හේතුව වී ඇත්තේ මේ උත්සවය ක‍්‍රිෂ්ණගේ ජීවිතය හා සම්බන්ධ වී තිබීමයි.
මේ ආකාරයට හෝලී උළෙල පැවැත්වීමෙන් ජනයා අතර සංහිඳියාව තව තවත් තහවුරු කර ගැනීමට ඉමහත් අනුබලයක් ලැබෙයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දී අධ්‍යන අංශයේ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතාන ගමගේ සහ කථිකාචාර්ය ආනන්ද අබේසුන්දර සමඟ කළ සංවාදයක් ඇසුරින් සටහන් කරන ලද්දකි.
  නලිනිකා ලක්‍ෂාණි
විශේෂවේදි ප‍්‍රථම වසර, ජන සන්නිවේදන අධ්‍යන අංශය