ළඟම ලිපිය

Showing posts with label හිතෙන දේ. Show all posts
Showing posts with label හිතෙන දේ. Show all posts

Saturday, January 7, 2017

අසම්මත වුවත් පේ‍්‍රමය, පේ‍්‍රමයමයි....


ජීවිතේ සමහර සිදුවීම් තියනවා අපේ හිත් හාරලා අවුස්සන. මේ සිදුවීම්වලට පුළුවන් අපේ ජීවිත වෙනස් කරන්න. ඒ වෙනස් කිරීම් සියල්ල හොඳ විදිහටම වෙනවා නම් තමයි වඩාත් හොඳ. ඒත් හොඳම විදිහට සිදු නොවී නොහිතන විදිහටත් සිද්ධ වෙන එකයි සාමාන්‍ය ලෝක ස්වභාවය. මේ එක එක සිදුවීම්වලදී අපි ගන්න තීරණ අපිට විතරක් නෙවෙයි, අනිත් අයටත් බලපානවාද කියන එකයි අපි හිතන්න අවශ්‍යය. 

පේ‍්‍රමය ගැන කියවෙන කතා බොහෝමයක් තියනවා. මේ අතරින් සත්‍ය කතා, පුරාණෝක්ති, සුරංගනා කතා, ප‍්‍රබන්ධමය කතා, ඉතිහාසමය කතා අහලා පුරුදුයි. අලුත් පරම්පරාව ඇතුළුව මුලූ සමාජ පන්තියම ගත්තම පේ‍්‍රමයට සමීප නොවුණු කෙනෙක් අහම්බකාරකයෙක් මිසක් වෙන නාමයකින් නම් හඳුන්වන්න බෑ කියලයි  මට හිතෙන්නේ. 
වචනයෙන් ඍජුව ප‍්‍රකාශ කරන්නට නොහැකි හැඟීම් ගීතයෙන් එළියට එන්නේ අමුතුම ආකාරයට. ‘ගීතය’ භාවයන් හෙළි කරනවා. හැගුම් පුබුදුවනවා. සොදුරු මිනිසුන්ගේ ආත්මයන් අවදි කරනවා. මේ කතා කරන්න යන්නේ පේ‍්‍රමයේත්, අසම්මත පේ‍්‍රම කතාවක් ගැන.... ඒ ‘දස්කොන් ප‍්‍රමිලා ප්‍රේමය’.

ගීත නිර්මාණවලට නොයෙකුත් කතා පුවත් තේමා වන්නට පුළුවන්. ඒ ජීවිතානුභූතීන්, සමාජ සිදුවීම් ආදිය. මේ අතරිනුත් ජනශ‍්‍රැතියේ පුරාණෝක්ති ඇසුරින් නිර්මාණය වන ගීත නිර්මාණයන් ද තියනවා. දස්කොන් සහ ප‍්‍රමිලාවන් අපේ රටේ ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ සිටි යුවළක්. මොවුන් සම්බන්ධයෙන් සමාජීය වටිනාකමක් නැති බව හැඟුණත්, කලා නිර්මාණයන් රැුසකට දස්කොන් සහ ප‍්‍රමිලාවන්ගේ කතා පුවත් අනුභූතින් වෙලා තියනවා. ප‍්‍රමිලාවන් ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ බිසව වෙද්දි දස්කොන්, ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රජසිංහ රජුගේ මහාධිකාරම් වෙනවා. දස්කොන් මහාධිකාරම් කවියෙහි දක්ෂයකු බවයි සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ප‍්‍රමිලාවන් සහ දස්කොන් අසම්මත ප්‍රේමයකින් බැඳී සිටි බව ද ඒ හා සමවම ප‍්‍රකටයි. මේ පේ‍්‍රමය හෙමින් දළුලා වැඩුණු බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ප‍්‍රමිලාවන් හමුවීම දුෂ්කර වුණත් කෙසේ හෝ මේ දෙදෙනා කවි හුවමාරු කර ගන්නවා. පේ‍්‍රමයත් කවියෙන්. මේ පේ‍්‍රමය ගීත නිර්මාණ අතරට ගත් නිර්මාණකරුවන් රැසක් ඉන්නවා. දස්කොන්- ප‍්‍රමිලා පේ‍්‍රමයට අනතුරු ඇගවෙන්නේ රජුට මේ රහස් පෙම සැලවූ වහායි. අවසානයේ දස්කොන්ට මරණ දඩුවම හිමි වීමෙන් මේ සෙල්ලම කෙලවර වෙනවා. ප‍්‍රමිලාවනුත් නියගලා අල මතින් දිවි තොර කරගන්නේ පේ‍්‍රම වියෝව දරාගත නොහැකි තැනදීයි.

මේ පේ‍්‍රමය මේ තරම් ප‍්‍රකට වෙන්නේ දස්කොන්ගේ මරණය නිසාදැයි විටක මට හැගෙනවා. මරණයෙන් කෙලවර නොවුණා නම් මෙතරම් ප‍්‍රකට නොවන්නටත්  ඉඩ තිබුණා වෙන්න පුළුවන්. මරණයෙන් කෙලවර නොවුණු මෙවැනි පෙම් කතා කොතෙක් නම් මේ ලොව ඇතිද? ‘නැත ලොවේ අන් රසඳුනා- ආදරේ සේ සුවදෙනා’ සරච්චන්ද්‍රයන් විලාසිනියකගේ පේ‍්‍රමය කෘතියේ ලියන්නේ එසේයි.

රාත‍්‍රිය අපෙයි දස්කොන්... තවත් නෑ හිතේ අස්කොන්
පෙම් සිනා තෙපුල් අස්කොන්...පිච්ච මල් සුදුයි දස්කොන් 
ආදරේ රහයි දස්කොන්...
ආදරේ දෙතොල් පිරිලා..රෝස මල් රතුයි ප‍්‍රමිලා
වද මලින් ගෙතූ මල්දම්.. තිස් පැයේ පෙනේ මැවිලා
ආදරේ රුදුයි ප‍්‍රමිලා...

විප‍්‍රයෝගය...... කෙතරම් වේදනාකාරීද? වෙන්වීම නොවෙද මේ තරම් අපූරු ගී බිහි කරේ. සම්ප‍්‍රයෝගය සුමිහිරියි... එය විඳින තුරු විප‍්‍රයෝගය සිහියට නොනඟේ. අසම්මත වුවත් පේ‍්‍රමය, පේ‍්‍රමයමයි. අසම්මත හෝ අසම්මත බව තීරණය වන්නේත් සමාජය එය පිළිගන්නා හෝ නොගන්නා ආකාරය මතයි. අපිට අසම්මත දේ ලොව අන් රටකට සම්මත වෙන්න පුළුවන්. මෙයයි ලෝක ධර්මය. 

නලිනිකා ලක්ෂාණි.

Saturday, June 4, 2016

සිහින දකින්නෝ...

සිහින දකින්නෝ...



බිළිඳකු මෙලොව එළිය දකින්නේ කිසිවක් නොදැනය. හය හතර තේරීමට පටන් ගන්නා වියේ සිටම වැඩිහිටියෝ ඔහුට සිහින දකින්නට කියා දෙති. ඒ නින්ද්‍රාවෙන් සිහින දකින්නට නොව සැබැවින්ම ජීවිතය දිනා ගැනීමට අපේක්ෂා කරන සිහිනයන් දැකීමටය. සෑම අයෙකුම එක් සිහිනයක් හෝ සිහින කිහිපයක් තම සිත්හි දරයි. එබැවින් අපි සියල්ලෝම සිහින දකින්නෙමු.
බලාපොරොත්තු පොදි බැඳන් තම ආශාවක් ඉෂ්ට කර ගැනීමට තැත් කරන්නාට එය ඉටු කර ගන්නා තුරු ඉවසිල්ලක් නොමැත. තම හීනය කරා ළඟා වනතුරු ඔහු හෝ ඇය තුළ පවතින්නේ නොතිත් ආශාවකි. මෙරට අධ්‍යාපන ක්‍රමයේ විභාග ක්‍රමය දෙස විමසූ විට ශිෂ්‍යත්වය සමත් වීමට, සාමාන‍්‍ය පෙළ විභාගය සමත් වීමට, උසස් පෙළ සමත් වීමට සහ සරසවි වරම් ලැබීමට අධ්‍යාපනය හදාරන්නන් තුළ පවතින සිහිනයන්ය. ඉන්පසුව ඇත්තේ රැකියාවක් කිරීමේ හීනයකි. නමුත් වර්තමානයේදී උපාධිධාරීන් ද සිටින්නේ තම රැකියා සිහිනය ඉටු කර ගැනීමට නොහැකිවය. මෙය මහත් බරපතල අර්බුදයකි. වසරකට විශ්‍රාම යන ප්‍රමාණයට සාපේක්ෂව රැකියා සඳහා බඳවා ගන්නා ප්‍රමාණයක් ද පැවතිය යුතුය. එසේම ඒ සඳහා යම් ක්‍රියා පටිපාටියක් තිබිය යුතුය. නමුත් එය සිදු නොවීම මහත් ගැටලුවක් වී ඇත.

ඇතැම් පුද්ගලයෙක් තම අධ්‍යාපනය නිසි අයුරින් නිම කරවා රැකියාවක නියැලීමේ අරමුණින් නොසිටී. ජීවන බර කර මතට ගැනීමට ඔවුන් පසුබට නොවන්නේ සමාජමය, පුද්ගලබද්ධ, සංස්කෘතිකමය, ආර්ථිකමය ආදී විවිධ කරුණු කාරණා හේතුවෙනි. හීනයන් කරා ළඟා වීමට අත් උදව් සපයන්නන් සීමිතය. නමුත් එවැනි වන සිවුපාවුන් මධ්‍යයේ දෙවි දේවතාවුන් ද නැත්තේ නොවේ. අධිෂ්ඨානය, වීර්යය, උත්සහය, කැපවීම ආදී සියල්ල යෙදවූවත් සිහිනය කරා ළඟා වීමට වාසනා ගුණ මහිමය ද තිබිය යුතු යැයි පැවසේ. සිහින තරුවක්, සිහින කුමාරියක්, සිහින කුමාරයෙක් වීමද ප්‍රබල මෙන්ම ජනප්‍රිය හීනයන්ය. අතීතයේ පටන් නායකත්වය දිනීමට සිහින මැවූවෝ සිටියහ. එය අදටත් එසේමය. සිහින මැවීමත් සිහින දැකීමත් සර්වකාලීන, සර්ව පුද්ගලබද්ධ මෙන්ම සර්ව භෞමික කාරණාවක් බැව් පසක් වන්නේ එබැවිනි.