ළඟම ලිපිය

Thursday, December 22, 2016

ප්‍රේමවන්ත කුමාරයෝ....

ඡායාරූප -හේමන්ත අරුණසිරි
 නාට්‍යවේදී ප්‍රියංකර රත්නායකයන්ගේ ප්‍රේමවන්ත කුමාරයෝවේදිකා නාට්‍ය පිළිබඳ  පසුගිය දිනක එතුමන් සමග කළ කතා බහක සටහනක්....
  • මේ නාට්‍යයේ පිටපත තෝරා ගනිද්දී ඔබට විශේෂ නිර්ණායකයන් තිබුණාද?

ඔව්. විලියම් ශේක්ස්පියර් නම් මහා නාට්‍යකරුවාගේ A Midsummer Night’s Dream නාට්‍යයේ ජයවතී ජයසිංහ මහත්මියගේ  සිංහලය පරිවර්තනය ඇසුරින් තමයි ප්‍රේමවන්ත කුමාරයෝ නාට් නිර්මාණය කළේ. නමුත් මේ පිටපත මුද්‍රණය වෙලා නෑ. මං විලියම් ෂේක්ස්පියර්ගේ මැක්බත් නාට්‍ය නිශ්පාදනය කරන්න සූදානම් වෙලා ඉන්න අතරතුර තමයි ප‍්‍රවීණ රංගන ශිල්පී දයාදේව එදිරිසිංහයන් මට මේ පරිවර්තන අත් පිටපත ගැන කියන්නේ. පිටපත තෝරා ගනිද්දී මට විශේෂ නිර්ණායක තිබුණේ නෑ. පරිවර්තන පිටපතක් තෝරගන්න කොට විවිධ අයට නොයෙක් විදිහේ හේතූන් තියෙන්න පුළුවන්. මං මීට පෙර නිර්මාණය කළ අද වගේ දවසක ඇන්ටිගනි, ඊඩිපස්, තටු ඇවිත්, විසේකාරියෝ වගේ හැම නාට්‍යකදී ම පිටපත තේරීමේ දී ඒ පිටපත මුල් කරගෙන වර්තමාන සමාජ ජීවිතය කොයි තරම් කියවන්න ඉඩ ලැබෙනවාද කියන දේ වැදගත් වුණා. ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍යට මුල් වුණු නාට්‍ය පරිවර්තන පිටපත සර්වකාලීනයි. එහි කතා කරන මනුෂ්‍ය අත්දැකීමේ තියන ගැඹුර හැම රටකට ම, හැම දේශයකට ම අර්ථකථනය කරන්න පුළුවන් හැකියාව මේ පෙළටත් තියන බව මං දැක්කා. මේ නාට්‍යයේ ප‍්‍රධාන තේමාව පේ‍්‍රමය. පේ‍්‍රමයත් එක්ක සිදු වන සාධනීය සිදුවීම් සහ නිෂේධනාත්මක සිදුවීම් මේ නාට්‍යයේ තියනවා. පේ‍්‍රමය ගැන මතු කරන ගැඹුරු සාකච්ඡාව තමයි මූලික හේතුව වුණේ මේ පිටපත තෝරා ගන්න.
ඡායාරූප -හේමන්ත අරුණසිරි

  •  ප‍්‍රහසනයත්, පේ‍්‍රමයත්, සංගීතයත් අපූරුවට ගළපගත්තේ කොහොමද?
ප්‍රේමවන්ත කුමාරයෝ කොමඩියක්. ඒ කියන්නේ සුඛාන්තයක්. ප‍්‍රහසනය සහ සුඛාන්තය අතර තියන වෙනස තමයි ප‍්‍රහසනයේ හාස්‍ය උත්පාදනය අපිව ගැඹුරු ජීවන දර්ශනයකට යොමු කරන්නේ නෑ. නමුත් සුඛාන්තයෙන් ජීවිතය ගැන ගැඹුරු කියවීමක් ඉදිරිපත් කරනවා. ප‍්‍රහසනය තියෙන නාට්‍ය බලලා ප‍්‍රහර්ෂයෙන් යුතුව ආවට ජීවිතය සම්බන්ධයෙන් අත්දැකීම් ලෝකය පුළුල් වෙන්නේ නෑ. පේ‍්‍රමය ප‍්‍රකාශ කරන්න පුළුවන් ප‍්‍රබල මාධ්‍යක් තමයි ගීතය. ඒ වගේ ම ගීතය මිනිස්සුන්ට සමීපයි. අපි දකින දෙයක් තමයි පේ‍්‍රමය ප‍්‍රකාශ කරන්න භාවිත කරලා තියන බහුල මාධ්‍ය සංගීතය කියලා. නාට්‍යයේ කෙතරම් ගැඹුරු අත්දැකීමක් තිබුණත් මේක සාමාන්‍ය රසවිඳින්නන්ට සමීප කරන්න  ඕන. මං හිතුවා මෙයට හොඳ ම දේ සංගීතය කියලා. ශේක්ස්පියර්ගේ නාට්‍ය වල ම ඒක තියනවා. මං කළේ ඒ සංගීත භාවිතය වර්තමාන මුහුණුවරකට අනුවර්තනය කර ගැනීම පමණයි. ලංකාවේ සිනමාවට අදාළ පේ‍්‍රම කතාවක් සමග ඊට අදාල සංගීතය යොදා ගන්නෙත් ඒ නිසයි. 
  • සාමාන්‍ය පරිවර්තනයක් නාට්‍යක් බවට පත් කරලීමේ දී  ඇති වන දුෂ්කරතා මොනවාද?

බොහෝ අය හිතන්නේ පරිවර්තනයක් නිශ්පාදනය කරන එක හරි ලේසියි කියලා. මුල් කෘතිය ඒ ආකාරයෙන් ම නිශ්පාදනය කරනවා නම් විතරයි ඒ ආකාරය පහසු වන්නේ. හැබැයි පරිවර්තනයක් ස්වතන්ත‍්‍ර අර්ථකථනයක් බවට පත් කරලීම තමයි අමාරු ම. A Midsummer Night’s Dream ශේක්ස්පියර්ගේ නාට්‍යයක් වුණාට ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍යයේ තියෙන්නේ මගේ ස්වතන්ත‍්‍ර අර්ථකථනයක්. ඒක දෙන්න නම් නාට්‍ය කලාව ගැන, අපි ජීවත් වන සමාජව ගැන, හොඳ සවිඥානිකභාවයක් තියෙන්න  ඕන. වඩා සාර්ථක පරිවර්තනයක් හෝ අනුවර්තනයක් සෑම විට ම ස්වතන්ත‍්‍ර අර්ථකථනයෙන් යුක්තයි. ස්වතන්ත‍්‍ර අර්ථකථනයක් නැත්නම් ඒක හොඳ නිශ්පාදනයක් නෙවෙයි. ඒක තමයි පරිවර්තනයක් නාට්‍යක් බවට පත් කරලීමේ දී  ඇති වන ලොකු ම අභියෝගය.
  • ජන සමාජයේ පවතින මතයක් තමයි උසස් නාට්‍ය සාමාන්‍ය ජනතාවට රසවිඳින්න බෑ කියන එක. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

ජන සමාජය තුළ තියන මේ අදහස සීයට සීයක් ම සාවද්‍ය අදහසක්. මොකද උසස් නාට්‍ය කියන හැම නාට්‍යක් ම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ලියපු නාට්‍ය. ග‍්‍රීක නාට්‍ය බැලූවේ සාමාන්‍ය මිනිස්සු. ශේක්ස්පියර්ගේ නාට්‍ය බැලූවේ සාමාන්‍ය මිනිස්සු. නෝ, කබුකි බලන්නේ සාමාන්‍ය මිනිස්සු. එලෙස ගත් විට සම්භාව්‍යයි කියන නාට්‍ය හැම එකක් ම සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් ලියපු සහ ඒ අය නරඹපු නාට්‍ය. පසු කාලයක දී අපේ රටේ එක්තරා විදග්ධ පන්තියක් විසින් යම් බයක් ඇති කරලා තියනවා සාමාන්‍ය මිනිස්සුන්ට විදග්ධ නාට්‍ය රසවිඳින්න බෑ කියලා. මේක සම්පූර්ණයෙන් ම සාවද්‍ය අදහසක්. නමුත් නාට්‍යක් රසවිඳින්න නම් හොඳ නාට්‍ය රසිකයෙක් වෙන්න  ඕන. ඒ කියන රසිකයා හැම සාමාන්‍ය මිනිසෙක් තුළ ම නෑ. මේක  ඕනෑ ම කලා මාධ්‍යකටත් අදාළයි. අපේ රටේ තියන ප‍්‍රශ්නය තමයි මේ තත්වයට අදාළ අභ්‍යාසයන් වල කවුරුත් යෙදෙන්නේ නෑ. සරච්චන්ද්‍රයන්ගේ ඉඳලා අපේ මහා නාට්‍යවේදීන් කිසි කෙනෙක් උසස් නාට්‍ය සාමාන්‍ය පේ‍්‍රක්ෂකයාට දැනෙන විදිහට නිශ්පාදනය කිරීම සඳහා උත්සහ දරලා නෑ. නමුත් මේ අය උසස් නාට්‍යවල ආභාසය ලබලා තියනවා. සිංහබාහු නාට්‍යයේ ඊඩිපස් හෝ ඇන්ටිගනිවල ආභාසයත්, ලෝමහංස නාට්‍යයේ ඉපලොටෙස් වගේ ග‍්‍රීක නාට්‍ය ආභාසයත්, හෙන්රි ජයසේනයන්ගේ කුවේනි නාට්‍යයේ මීඩියා නම් ග‍්‍රීක නාට්‍යයේ ආභාසයත් තියනවා. හොඳ සෑම නාට්‍යකරුවෙකුට ම සම්භාව්‍ය නාට්‍ය කලාවේ බලපෑම ලැබිලා තියනවා. එහෙම නැතිව විශිෂ්ට ස්වතන්ත‍්‍ර නාට්‍යක් ලියන්න බෑ. මේ කාරණාවේ දී සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචර වන රසය කුමක්ද යන්න සොයා ගැනීම ඉතා වැදගත් කාරණයක්.
ඡායාරූප -හේමන්ත අරුණසිරි
සටහන-නලිනිකා ලක්ෂාණි


No comments:

Post a Comment

Thank You!