ළඟම ලිපිය

Sunday, August 14, 2016

මාස්ටර් සර් ගීතය...

විෂම වූ සමාජ ප‍්‍රවාහයක් තුළ ජීවත් වන සංස්කෘතිකගත මිනිසාට නොයෙක් ආකාරයේ පීඩාකාරී සිදුවීම් සහ අත්දැකීම් වලට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. මිනිසාට ගෞරවයෙන් ජීවත් වීමට අවකාශය  නැත්තේ සමාජමය කාරණා රැුසක් ඔවුන් වටා එතී ඇති හෙයිනි. විෂම සමාජ පසුබිමක් මතින් උත්පාදනය වන පීඩනය , නිමල් මෙන්ඩිස් නම අසහාය ගීත රචකයා අතින් අරුත් ගැන්වෙන්නේ අපූර්ව වස්තූක්ෂමා ප‍්‍රතිභාවකිනි. සිය පෞද්ගලික අත්දැකීමක් වස්තුවිෂය කරගනිමින් රචිත ගීතයෙන් සමාජ විවේචනාත්මක බව නිරූපනය කරන්නේ කම්පනය සිත්හි පෙරදැරි කරගෙනය. ඉංග‍්‍රීසි බසින් ඔහු රචනා කරන ගීතය කරුණාරත්න අබේසේකරයන් ගේය පද සංකල්පනාවෙන් සිංහලයට පරිවර්ථනය වන්නේ 1975 දී තිරගත වූ මණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ කළු දිය දහර සිනමා සිත්තම වෙනුවෙනි. සිනමාපටයේ නෙවිල් ප‍්‍රනාන්දු ශූරින්ගේ  ඉංග‍්‍රීසි මධුර මනෝරම්‍ය සුගායනයෙන් ආලම්බිත පද සංරචනය සිංහලයට පරිවර්ථනය වන්නේ 
පනම් අටෙන් මට වැඩි කර දුන්න
හැකි වුණත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාද
                                  අනේ සර් අනුකම්පා නොසිතේදෝ....!                 ලෙසිනි.

කම්කරු ජනතාවගේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සහ ඔවුන්ට හිමි ගෞරවය වෙනුවෙන් නගන හඬ ගීතයේ වස්තුබීජයයි. අත්දැකීමක් පරිකල්පනය කිරීමේදී පොත පතින් මෙන් ම ජීවිතානුභූතියෙන් ද ලබන දැනුම හෙවත් ව්‍යුත්පත්ති ඥානය ඉතාමත් වැදගත් වන බවට මෙම ගීතය සන්නිදර්ශකයකි. නිමල් මෙන්ඩිස් මහතා එංගලන්තයේ සිටි කාලයේදී ඔහුට සිය කළු හම හේතු කොට ගෙන එරට පිරිසක් විසින් පහර දුන් කම්පනකාරී සිද්ධිය සහ හෙතෙම  නිරන්තරයෙන් සමාජය සමඟ බද්ධ වීමෙන් ලද ආභාසය මෙම ගීතයට උත්පාදක ශක්තිය වී ඇති බව විද්‍යමාන වේ. පනමට හිමි වන්නේ අවම වටිනාකමකි. අවප‍්‍රමාණය වූ සොච්චම් මුදලකින් කුටුම්භය පෝෂණය කළ හැකි ආකාරය ප‍්‍රබල උපහාසයකින් මෙහි කුලූගන්වා ඇත. හම්බ කර ගන්නා සුළු වේතනයෙන් මහා පරිමාණයේ රස බොජුන් මිළදී ගත නොහැක. "බත්  මිටක් යන යෙදුමෙන් උපහාසත්මක බව ප‍්‍රබලව ඉස්මතු වී පෙනේ.

මෙම ගීතයේ තනු නිර්මාණය සුභාවිත ගීත කලාවට සදාතනික වටිනාකමක් එක් කරන ලදි. නිමල් මෙන්ඩිස් ශූරින් මෙම ගීත තනුව විවිධ ගායකයන්ගේ සහ ගායිකාවන්ගේ හඬ පෞර්ෂයය සමඟ සුසංයෝජනය කළ අපූර්ව සංගීතවේදියෙකි. නීලා වික‍්‍රමසිංහ, නෙවිල් ප‍්‍රනාන්දු සහ තවත් ගායකයින් කිහිප දෙනෙකු ම මෙම ගීතය බටහිර ශෛලිය ඇතුලූ විවිධ ධාරා ඔස්සේ ගායනා කර ඇත. ගේය පද සංකල්පනාව මෙන්ම මනරම් සංගීතය සහ තනු නිර්මාණයෙන් ද ප‍්‍රතීයමාන වන්නේ වැඩවසම් සමාජ ක‍්‍රමය තුළ පීඩිත පන්තියේ ආයාචනාත්මක හ`ඩ ස්වරයයි.  සමාජයේ පවත්නා  යම් දුර්මතයන් හඬ නගා පැවසීමට නොහැකි තැන්හි දී ගීතයන් බිහිවේ. විරෝධාකල්පක් ඉදිරිිපත් වන  ඕනෑම නිර්මාණයකදී පවතින සමාජ සම්මත සහ සමාජ සංස්කෘතික කාරණා  විවේචනයට ලක් කිරීම සිදුවේ. පවතින සමාජයේ කඨෝර අනුභූතින් ප‍්‍රකට කර ඊට ප‍්‍රතිපක්ෂ නව ජීවිතයක් උදෙසා නව පුරුෂාර්ථ විවරණය කරන්නේ කර්කශ හෝ සියුම් අන්දමේ ව්‍යංග්‍යාර්ථවත් සහ උපහාසාත්මක වාග් මාලාවෙනි. කුමන ආකාරයෙන් ඉදිරිපත් කල ද සිදු වන්නේ  සමාජය පිළිබඳ විරෝධාකල්පයක් ඉදිරිපත් කිරීමකි.
නිමල් මෙන්ඩිස් ශූරීන්

එංගලන්තයේ පමණක් නොව මෙරට ද වර්තමානය වන විටත් පවතින වර්ග භේදය සහ වර්ණ භේදය පිළිබඳව මාස්ටර් සර් ගීයෙන් ඉදිරිපත් කරයි. නිමල් මෙන්ඩිස් ශූරීන් එංගලන්තයේ සිට පැමිණ කාලයක් වතුකරයක වගාවක යෙදී සිටි අතරවාරයේදී ලද අත්දැකීම් මෙම ගීතයේ අපූර්වාකාරයෙන් සංයෝජනය කර ඇත. වතුකරයේ දෙමළ ජනතාව ඔහුට මාස්ටර්  යනුවෙන් ද සිංහල ජනතාව සර් යනුවෙන් ද ආමන්ත‍්‍රණය කරන ආකාරය යොදා ගන්නා අතරම සර්වභෞමික, සර්වකාලීන සහ සර්වපුද්ගල බද්ධ කාරණයක් වශයෙන් එය පැවතගෙන එන අයුරු මෙහි නිරූපිතය. බැගෑපත්ව සහ ආයාචනාත්මකව කම්කරුවා තමන්ට හිමි නිසි තැන අයදියි. උච්ච ස්වර පරාසයක විහිදෙන තනු රටාව කඹ අදින අවස්ථාවක ඇති උණුසුම්කාරී සහ උද්වේගකර ස්වරූපය චිත‍්‍රණය කරවයි. සේවකයා සහ ස්වාමියා අතර ඇති ද්විපාර්ශවික ගණුදෙනුව යහපත් අන්දමින් අවසන් වීමක් දකිනුයේ කෙදින ද යන්න ප‍්‍රශ්න කරයි. එමෙන් ම ප‍්‍රශ්න කිරීම බලාපොරොත්තුවක් කර ගැනීම ද මෙහිදි කැපී පෙනේ. 
අප අතරේ කඹ ඇදිල්ලේ තරඟෙ මේ
නිම වෙන්නට කල් ගත වීදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ....!
ධනේෂ්වර නිෂ්පාදන ක‍්‍රමය තුළ දේපළින් මුළුමනින් ම වියෝජනය කරනු ලැබ සිටින නිර්ධන පන්තිය ඒ හේතුවෙන් ම සකලවිධ සංස්කෘතියෙන් වියෝ කෙරුණු පන්තියකි. සිය දිවි පැවැත්ම උදෙසා තම ශ‍්‍රම ශක්තිය ධනපති පන්තියට විකිණීමට කම්කරුවාට බල කෙරී ඇත. ධනේෂ්වර ක‍්‍රමය යටතේ සකලවිධ ශ‍්‍රමය වැටුප් ශ‍්‍රමය බවට පරිවර්ථනය වී ඇත. කම්කරු පන්තියේ පරිපූර්ණ විමුක්තිය ළඟා කර ගත හැක්කේ පන්ති සංස්කෘතිය ඉක්මවා ගිය ගැළපෙන සංස්කෘතික රටාවක් ඇති කළහොත් පමණි. එනම් කම්කරුවාට ගැළපෙන මට්ටමකට නැඹුරු කරවා ගැනීමකි. "මාස්ටර් සර්ගීතයෙන් කියවෙන්නේ එය ම පව විද්‍යමාන වේ. කවදා කොයි මොහොතක මෙම එකිනෙකට පරස්පර විරෝධී ක‍්‍රියාවලිය නැවතී සුන්දර අනාගතයක් උදා වේදෝ යන ප‍්‍රශ්නාර්ථය රසික හෘද සන්තානයේ තැම්පත් කරවයි. සිය ජීවක අත්දැකීම සමාජ සම්මතයට ආරෝපණය කරන විලාසය විශිෂ්ටය. විදේශීය රටකදී සුදු ජාතිකයන්ගෙන් තමාගේ සමේ වර්ණය හේතුවෙන් ඔවුන්ගෙන් පහර කෑමට ලක්වීම මෙන් ම අතීතයේ පටන් ම ශ‍්‍රී ලංකාව ඈත බදු මුදල් ආදියෙන් රටවැසියා පීඩාවට පත් වූ ආකාරය මෙහිදී ව්‍යංග්‍යාර්ථවත් කරන බව පසක් වේ. අධිරාජ්‍යවාදින්ට යටත් වෙමින් ඔවුන් ඉදිරියේ දණින් වැටී සිටිමින් ඔවුන්ගේ අන්තේවාසිකයින් ලෙසින් සිටි ආකාරය මෙහි ප‍්‍රබලවම ව්‍යංග්‍යාර්ථවත් කරයි. පද සංඝටනාව කෙතරම් අපූර්වත්වයකින් යුක්ත දැයි විමසීමේදී සිය ජීවන අත්දැකීම අතීත සිදුවීම් සමඟ සමාන්තරව ගැළපෙන අයුරින් ගේය පද සංයෝජනය කිරීම අපූරු වස්තූක්ෂමා ප‍්‍රතිභාවයි. මේ සියල්ල චිත්තරූප මැවෙන ආකාරයේ පද සංකල්පනාවන්ය. මෙම සියළු කාරණා තුළින් නැවත ආගමනය වන්නේ පීඩිත පන්තියේ කම්කරුවාගේ ආයාචනය වෙතයි. කම්කරුවා සහ ස්වාමියා යන තත්වයන් මිත‍්‍රත්වය දක්වා පරිණාමය වන්නේ දෙපාර්ශවය අතර තිබූ දැඩි දුරස්ථ බව සහ පරස්පරතාවයයි. නිමල් මෙන්ඩිස් ශූරීන් සිය ගීත සඳහා වස්තුවිෂය කරගනු ලබන්නේ සිය පෞද්ගලික අත්දැකීම්ය. ශ‍්‍රාවකයාට සියුම්ව සංස්පර්ශ කළ හැකි මානව හැඟීම්, සංකල්පනාවන් හඳුනාගැනීමේ විරල ම හැකියාව මොහු සතුවීම කැපී පෙනේ. වැඩවසම් යුගය තුළ කුමන දේශයක වුව ද ඇති වන පීඩිත තත්වයන් සජීවී ආකාරයෙන්  ඉදිරිපත් කිරීම අපූර්වයය. නිර්මාණකරුවකු සිය භාවමය හැඟීම් ඉදිරිපත් කිරීමේදී එම හැඟීම පොදුභාවයට පත් වන්නේ නම් එය ඔහු සමඟ සැන්ඩ‍්‍රා එඞීමා ඉංග‍්‍රීසි බසින් ගායනා කරන මෙම ගීතය අබේසේකරයන්ගේ පද මාලාවට ගෙන ඒම කෘතහස්තය. නිර්මාණයක උත්කෘෂ්ට බව මෙයින් ගම්‍ය වන බව කිව යුතුමය.

There's a long long way for us to go -
Before this tug a war can come to an end- 
and when that day will be
Oh I don't know master
When can I call you friend…

It's not the extra fifty cents you pay me
Even tho 'I can feed my child one more spoonful of rice
Master sir, would you give me dignity
Master sir, will you treat me kind and nice..

ගීතයක ධ්වනිපූර්ණත්වයට පද සංරචනය මෙන් ම අර්ථාන්විත ස්වර රටා, ඖචිත්‍යවත් මධුර වූ සංගීත සංයෝජනයන් ප‍්‍රබුද්ධ රසිකයෝ අපේක්ෂා කරති. නෙවිල් ප‍්‍රනාන්දු ශූරීන්ගේ කළු දිය දහර සිනමා සිත්තමේ ගයන්නාවූ "මාස්ටර් සර්ගීතය ආරම්භයේදී ආමුඛ සංගීත ඛණ්ඩයේ යොදා ගන්නා සිතාරයේ සහ ගිටාරයේ ස්වර සංයෝජනය කම්කරු පන්තියේ ආයාචනාත්මක හඬ තීව‍්‍ර කිරීමට සමත්ය. ගීතය පුරාම ඇසෙන ගිටාරයේ තත් හඬ තාල වාද්‍ය භාණ්ඩයක හඩට වඩා ඉස්මතු වී ඇසේ. අතුරු වාදනයේදී යොදන වයලීන ස්වරය ගීතයේ බටහිර ශෛලිය මනාව තීව‍්‍ර කරයි. මෙය කම්කරුවාගේ ගෞරවය  සහ නිසි තැන  ආයාචනය කරන්නාක් බඳුය. විරෝධාකල්ප සාහිත්‍යයේ මූලික ලක්ෂණය වූ පවතින සමාජ ක‍්‍රමයක ජීවිත පරිපීඩනයට ප‍්‍රතිවිරුද්ධව පොදු ජනයාගේ වේදනා ගීතයට නැගීම මෙහිලා කැපී පෙනේ. නිර්මාණයක බාහිර අලංකරණ විධි වලට වඩා අන්තර්ගත දෘෂ්ටිය වඩාත් වැදගත් වන බව විරෝධාකල්පයේදී ඉස්මතු වී පෙනේ. ද්‍රව්‍යමය භාවිතයෙන් ජීවත්වීම අගය කොට සලකන සමාජයේ දයාවට කරුණාවට අනුකම්පාවට ඉඩක් නොමැත. පරාර්ථය සඳහා ස්වාර්ථය කැප කිරීම ද ධනපති සමාජයේ නොමැති ගුණ ධර්මයකි. මෙම ගුණදහම් වර්ධනය විය යුතුය. සමේ වර්ණයෙන් පෙනුමෙන් ආදියෙන් මිනිසුන් ඇගයීම සුදුසු නොවේ. සංවර්ධනය වී ඇතැයි සලකන දියුණු රටවල පවා අදටත් සමේ වර්ණය හේතුවෙන් සමාජය විභේදනය වී ඇත.

එබදු සිදුවීමක් මත ගොඩ නැගුණු නිර්මාණයක් හරහා ලෝකයට ප‍්‍රකාශ කළ හැකි සහ මිනිසාට සිතීමට කරුණු කාරණා රැුසක් ඇති බව පැවසීමට ගන්නා ප‍්‍රයත්නයට මෙම ගීතය සාක්ෂ්‍ය දරයි. ගීතයේ සමාජ මෙහෙවර අපූර්වයය. සමාජයේ පවතින තීරණාත්මක තත්වයක් කෙරෙහි ගීත රචකයා, ගායකයින්, තනු සහ සංගීත නිර්මාණ ශිල්පීන් දක්වා ඇති අනුපමේය කැප කිරීම අගනා බැව් පසක් වේ.

ගීතය:                පණම් අටෙන් මට වැඩි කර දුන්න.... (මාස්ටර් සර් ගීතය)
මුල් පද රචනය:  නිමල් මෙන්ඩිස් ශූරින් (ඉංගී‍්‍රසි බසින්)
පරිවර්තනය:      කරුණාරත්න අබේසේකර ශූරින් (සිංහල)
ගායනය:            නෙවිල් ප‍්‍රනාන්දු මහතා, නීලා වික‍්‍රමසිංහ මහත්මිය (සිංහල)
                          නිමල් මෙන්ඩිස් ශූරින් (ඉංග‍්‍රීසි)
 
නීලා වික්‍රමසිංහ මිය

නෙවිල් ප්‍රනාන්දු ශූරීන්