ළඟම ලිපිය

Sunday, November 29, 2015

සිතුවමට නව පණක් ලබා දෙන තරුණියක්. . .


1995 වර්ෂයේදී උපත ලද ඇය නමින් ක්‍රිස්ටිනා වෙබ් ය. නවසීලන්තය ඇයගේ මවු රටයි. සිතුවමි කලාවට නව අරුතක් ඈ එක් කරන්නේ මුලු මහත් ලොවක් මවිත කරමිනි. ලොව බිහිවී සිටින ශ්‍රේෂ්ඨ සිතුවම්කරුන්ට ඔවුන්ගේ අනන්‍යතාවය ස්ථාවර කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වෙද්දී මැය ළාබාල වියෙහිදිම නිර්මාණකාරිනියක ලෙසින් ඇයගේ අනන්‍යතාවය හෙළි කරගෙන හමාරය. බහක් නොතේරෙන දෙහැවිරිදි වියේ සිටන්ම ඇය සිතුවම් ඇදීමට ආශා කළ බව අන්තර්ජාලයේ සදහන් වේ. 2012 දී ඇයගේ සිතුවම් අන්තර්ජාලයට මුදා හැරීමත් සමග සිතුවම් කලාවට නව ප්‍රවේශයක් එක් වීය. ක්‍රිස්ටිනා වෙබ් සිතුවම් ඇදීමට පමණක් නොව  ඡායාරූපකරණයට හා රටින් රට සංචාරයටද බොහො ඇලුම් කරන්නියකි. මැයගේ සිහිනය වී ඇත්තේ සියලුම සිතුවම් වලින් මිනිසුන් ආකර්ෂණය කර ගැනීමයි.

ඇයගේ සිතුවම් ජීවමාන බවක් උසුලයි. ඇය සිතුවම් කලාවේදී වැඩි අවධානයක් යොමු කරනුයේ  වර්ණ සංකලනයටයි. ක්‍රිස්ටිනා වෙබ්ගේ සිතුවම් වල සුවිශේෂිත්වය වන්නේ ඇය තම සිතුවම් සදහා යොදා ගනු ලබන්නේ ඉවතලන ද්‍රව්‍ය වීමයි. පැන්සල් ද්‍රව්‍ය වර්ණවත් මල් පෙති ආදියෙන් මවන වර්ණ සංයෝජනය සිතුවම් වලට අපුරු ආකර්ෂණීය බවක් එක් කරයි. මැයගේ සිතුවම් අධික මිලකට අළෙවි වන බවත් වාර්තා වෙයි. intagram හරහා ඇයට අනුගාමිකයන් මිලියන 300ක් පමණ වන බවත් වාර්තා වෙයි. ඇයගේ සිතුවමි කලාව ආශ්‍රිත පොත් රැසක් ද අන්තර්ජාලය හරහා මේ වන විට අළෙවි වෙමින් පවතී.ඇය විසින් නිර්මාණය කළ ත්‍රිමාණ සිතුවම් සදහාද ඩිස්නි කාටුන්මය සිතුවම් සදහාද ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි. ස්වාභාවික අයුරින් ප්‍රතිනිර්මාණය කරන ඇයගේ සිතුවම් හදවත් ආකර්ෂණීය කර ගන්නේ නිරායාසයෙනි.

අන්තර්ජාලය ඇසුරිනි 
 




වැරදීම !















සහතිකය
කෝ
උප්පැන්න ?
නේක ගැරහුම්
ලොවෙන් විඳින්නට
නුඹට
උරුම වූයේ
අහෝ !
වැරදීමක්….
ගන්ධබ්බ
වූ කලම
හැකි වුණි නම්
චුත කරන්නට
පිළිතුරු
අවැසි නැත

කිසිවකුට උත්තර බදින්නට……


නලිනිකා ලක්ෂාණි

Saturday, November 28, 2015

 ඔබ මිස වෙන නැති යශෝදරා....



 
















නොමියෙන සෙනෙහස හදෙහි හොවා      ගත්
ආදර සියපත ළය මඩලට                         ගත්
මිහිමත ජනිතවු අරුත වටහා                    ගත්
ඔබ මිස වෙන නැති                                 යශෝදරා

විටකදි දෙනෙතේ කඳුලැල්                    පුරවා
ලොවට පෙනෙන්නට මුව මල               සරසා
හද කුසුමේ දුක තනිවම                         ඉවසා
සිනා වුණා ඔබ                                      යශෝදරා

සසරක් පාසා පසුපස                             ඇවිදින්
වෙන්වෙන්නට නොව ළංවි                   හිඳිමින්
සිටියා දුක සැප සමව                            බෙදාගෙන
නුඹ වැනි වෙන නැති                            යශෝදරා

ලේන කුලේ සිට නිවන් දකින                 තුරු
පහන් සිලක් වුණි සසරක්                        පාසා
සෙනෙහස නොසිඳෙන උල්පත නුඹ        විය
සෙනෙහස් ග`ගුලේ අරුත                       කියා

කල්ප කාලයක් පෙරුම්                         පුරාගෙන
ආවා නොසැලෙන සෙවණැල්ලක්          වී
නොකැලැල් පේ‍්‍රමය හදෙහි                    දරාගත්
යශෝදරාවෙනි ලොවට අගෙයි               ඔබ

 පෙරුම් පුරාගෙන ඔබ ආ වග                   තුග
දේව මිනිස් කැල දනිති ඔබේ                    වග
හැම සංසාරෙම සිටියා පස                        පස
පෑව සෙනේ ලොව සිහින                         කුමාරිය

උපදින සසරේ පැතුම                              දරා ආ
හදමල දැවුණා ගිය පසු                            හැරදා
ආත්ම ගණනේ සිතුවිලි                           අහුරා
සසර නිමාවුණි පැතුම                              ලබා



නලිනිකා ලක්ෂාණි

Thursday, October 1, 2015

මල් කියන්නේ කාට කාට. . . ළමයින්ටයි පාට පාට. . .


මල් කියන්නේ කාට කාට. . .
                             ළමයින්ටයි පාට පාට. . .



ළමා විය තරමටම සුන්දර කාලයක් කිසිදු අයකුට ජීවිතයේදී නැවත ලබා ගත නොහැකි තරම්ය. වැඩිහිටියන්ගේ ආදරය  ආරක්ෂාව මධ්‍යයේ ළමයා වර්ධනය විය යුත්තේ ජීවිතයේ බහ තොරන වියෙහිදිමය.ලෝක ළමා දිනය සමරනු පිණිස ශ්‍රී ලංකාව මෙවර එක් කළ තේමාව ‘ළමා ‍මිතුරු පරිසරයක ලොව බබළන සොඳුරු දැයක්’ යන්නයි. ‘සොඳුරු දැයක්’ යන්න සුණු විසුණු වී යන්නේ දරුවන් කාමතුර යක්ෂයන්ගේ ගොදුරු බවට පත්වීමේ ඛේදවාචකය දිනෙන් දින ඉහළ යමින් පවතින අද වන් අවාසනාවන්ත සමාජ  පසුබිමකදීය. වර්තමානයේ මරණ දඩුවම ලබා දිය යුතුය යන්න පිළිබදව වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන්නේ ළමා අපයෝජකයින්ට එරෙහිවය. සිත් පිත් නොමැති වූවන් සේ හැසිරෙමින් පෙති ඇහැරෙන්නට පෙරාතුව පෙති ඇහැරවාලන මෘගයින්ට ගත යුතු ඉහළම ක්‍රියාමාර්ගය ගැනීමට අවැසි කාලය පැමිණ ඇත.

"අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය." ඉතාමත් සුන්දර අයුරින් ළමයා යන්න මෙලෙසින් අර්ථදක්වද්දී එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුව 'ළමයා යනු අවුරුදු 18 ට අඩු සෑම අයෙක්ම වේ'. එසේම ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට අනුව ඉතාමත් සරළම අදහස නම් "නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය" ලෙසිනි .

එක් දිනකට පමණක් දරුවන් සතුටු කරවීම විශ්ව ළමා දිනයේ අරමුණ විය යුතු නොවේ. සෑම දිනයක්ම ඔවුනගේ විය යුතුය. දෙමාපියන් තම දරුවන්ව ආරක්ෂා කර ගන්නා අතරම විශේෂයෙන්ම මෙරට දරුවන්ට රැකවරණය හා ආරක්ෂාව සැපයීම, ඔවුන්ගේ පැවැත්ම හා සංවර්ධනය යනාදී කරුණු රැසක් සම්බන්ධව රාජකාරි කරනු ලබන ආයතන රැසකි. ඒ අතර ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ප්‍රමුඛතම ආයතනය වේ. ඒ යටතේ ක්‍රියාත්මක වන තවත් ආයතන තුනකි. එනම් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂණ අධිකාරිය හා ළමා ලේකම් කාර්යාලයයි. ඊට අමතරව ද දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතන රැසකි. අපරාධකරුට නීතිය ක්‍රියාත්මක කිරීම, දඬුවම් දීම, වින්දිතයාට උපරිම සාධාරණය ඉටුකිරීම පිළිබඳ මෙන්ම එකී අපරාධ වළක්වා ගැනීම පිළිබඳ පුළුල් කථිකාවක් ගොඩනැඟීම අද දවසේ අත්‍යවශ්‍ය කාරණාවකි.එහිදී පෙර කී ආයතන, ජනමාධ්‍යයේ හා සමාජයේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇත. එසේ වුවද ඒ වගකීමෙන් මිදීමට මාධ්‍යයට හෝ සමාජයට නුපුළුවන.

ළමයා සහ මාධ්‍ය අතර පවතින්නේ අති සමීප සම්බන්ධතාවකි. සන්නිවේදන මාධ්‍ය හිතකර සහ අහිතකර ලෙස බලපාන අතර ඒවා භාවිත කරන ආකාරය අනුව යහපත් හා අයහපත් බව තීරණය වේ. රූප මාධ්‍ය ළමයාට ඝෘජුවම බලපෑමක් ඇති කරවන අතර මාධ්‍ය සංදේශ ළමයා වෙත සංස්කෘතික බලපෑමක් ඇති කරවන බව විද්‍යමාන වේ. ඒ අතරින් වීඩියෝ ක්‍රීඩා සහ ඩිජිටල් ඡායාරූප මගින් දැඩි බලපෑමක්‌ එල්ල කරනු ලබයි. මාධ්‍ය මගින් ඉදිරිපත් කරන සංදේශ වල ප්‍රචණ්ඩත්වය සහ ලිංගිකත්වය ගැබ් වී ඇති අතර ඒවා ළමයාගේ හැසිරීම්, ආකල්ප සහ හැඟීම් කෙරෙහි බලපෑම් ඇති කරවයි. මාධ්‍ය තුළින් සිදුවන ඵලදායී බලපෑම් සම්බන්ධයෙන් සලකා බලන විට ළමයා නව ලෝකයක් කෙරෙහි යොමු කරවීමේ අසහාය බලයක් මාධ්‍යට ඇති බව පැහැදිලිය.
ලෝක ළමා දිනයෙදී පමණක් ළමයින් ගැන උනන්දු වී අත් සෝදා ගැනීමක් නොකොට ඉබි යතුරු දැමූ සත්‍ය ළමා ලෝකය ඔවුනට විවර කර දීමට මුළු මහත් සමාජය ම දායක විමට අවැසි කාලය පැමිණ ඇත.

නලිනිකා ලක්ෂාණි

Saturday, September 26, 2015

ජීවිතයට වර්ණයක් දෙන හෝලී උත්සවය.


Festival of Colors ජීවිතයට වර්ණයක් දෙන හෝලී උත්සවය. 



සෑම මානව සංස්කෘතියකම සූර්යයාට ලැබෙනුයේ අතිශය වැදගත් ස්ථානයකි. සූර්යයාගේ බලපෑම පිළිබඳ සංකල්පය ශිෂ්ට – අශිෂ්ඨ සෑම මානව සමාජයකම අඩුවැඩි වශයෙන් දැකිය හැකිය. භාරතීය ජනතාව අතර සූර්යයා හා සබැඳුණු උත්සව රාශියක් දක්නට ලැබුණ ද, හෝලී උත්සවයේදී අවධානය යොමු වන්නේ සූර්යයාගේ ගමන හා සම්බන්ධ වී ආරම්භ වන නව වසර සැමරීම කෙරෙහිය.
හෝලී උත්සවය හින්දු ආගමික දෘෂ්ටියට අනුව ශිව දෙවියන් හා සම්බන්ධ යැයි සැලකේ. භාරතීය ජ්‍යොතිෂයට අනුව බක් මාසයේදී ‘හෝලී දැවීම’ පැවැත්වූ දිනට පසු දින සිට ‘නව වසර’ ඇරඹෙන බව විශ්වාස කෙරේ. පුරාවෘත්තයට අනුව හිරන්‍යකාශ්‍යප නම් ඉතා බලසම්පන්න වූ අසුර රජුගේ හෝලිකා නම් සොහොයුරිය දැවී පිළිස්සී මිය යාම සිහි කිරීම සඳහා හෝලී උත්සවය පැවැත්වෙන බව කියවේ.
හෝලී යනු ආගමික පසුබිමක් ඇති වසන්ත උත්සවයක් මෙන්ම වර්ණයන් හා සම්බන්ධ උත්සවයකි. මෙහිදී පුද්ගලයාගේ විවිධ පැහැති වර්ණ පිටි වලින් එකිනෙකාට ගැසීම, තැවරීම මෙන්ම, වර්ණ ජලයෙන් එකිනෙකා නැහැවීම සිදු කරනු දැකීමට හැකිය. කෙටියෙන්ම කිවහොත් මෙය වර්ණයන්ගෙන් පිරි උළෙලකි.
හෝලී උත්සවය පැවැත්වීම සඳහා බාල මහලු සැවොම එක සේ උනන්දුවකින් සහභාගි වීම මෙහි ඇති විශේෂ ලක්‍ෂණයකි. ගැමි ගෙවල් වල ගොම මැටි ගා නව මුහුණුවරක් ලබාදීම සිදු කෙරේ. මිදුලේ විවිධ වර්ණවලින් සැරසූ ‘රංගෝලි’ හෙවත් ‘රගොලි’ සකස් කෙරේ. පාට වර්ග විදීම සඳහා උණ බට තුවක්කුවක් වැනි උපකරණයක් යොදා ගැනේ. මේවා හින්දි බසින් හැඳින්වෙන්නේ ‘පිච්කාරී’ ලෙසිනි. ‘ගුලාල්’ නමින් හැඳින්වෙන වර්ණවත් කුඩු වර්ගය ගැමි නිවෙස්වලදී ම  සකස් කර ගැනේ. හාල් පිටි, කහ, කපුරු යනාදිය මිශ‍්‍ර කර අනා, ‘ගුලාල්’ නම් කුඩු වර්ගය නිපදවා ගැනේ. මේවා ජලයේ දිය කර එකිනෙකාට විද ගැනීම සඳහා ගැමි දරුවෝ පිච්කාරි හෙවත් උණ බට තුවක්කුව සාදා ගනී. සමහර ප‍්‍රදේශවල හෝලී සැමරීම සඳහා කෙටි සහ දිගටි පොලූ කැබලි සාදා ගැනීම අනිවාර්යය කාර්යයක් ලෙස සැලකේ.
හෝලී උත්සවය හා සම්බන්ධ ජන නැටුම් අතර උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ප‍්‍රචලිත ‘බර්සානාහි හෝලී නැටුම’ , ‘නට්වරී නැටුම’, ‘ධෝබියා නැටුම’ ආදියද රාජස්ථාන් ප‍්‍රාන්තයේ ප‍්‍රචලිත ‘ජංග් නැටුම’ , ගෑර් නැටුම’ ද ප‍්‍රමුඛය. හෝලී ක‍්‍රීඩා කරන ජනයා ඉන් පසුව රසවත් ආහාර වලින් සන්තර්පණය වෙති. බොහෝ විට වර්තමාන නාගරික ජනයා කැවිලි පෙවිලි මිලදී ගන්නේ රසකැවිලි වෙළඳසැල් වලිනි. නමුත් ගම්මාන වල කැවිලි පෙවිලි සාදනු ලබන්නේ තවමත් නිවෙස්වලදීම ය.
සාමාන්‍යයෙන් හෝලී උත්සවය දින දෙකක් පැවැත්වේ. පළමු දිනයේදී හෝලී ගින්න දල්වනු ලබන අතර දෙවැනි දිනයේදී වර්ණ කුඩු උපයෝගී කර ගනිමින් ක‍්‍රීඩා කිරීම සිදු කෙරේ. මෙම දෙවැනි දිනය හැඳින්වෙන්නේ ධූරේඩි නමිනි. වර්තමානයේ නාගරික ප‍්‍රදේශවල හෝලී උත්සවය පවත්වන්නේ එක් දිනක් පමණි. උදෑසන අටට පමණ ආරම්භ වන හෝලී ක‍්‍රීඩාව දහවල් දෙක , තුන පමණ වන තුරු මහාමාර්ගවල, කුඩා අඩි පාරවල්වල පැවැත්වෙනු දක්නට ඇත. වර්ණවත් ජලයෙන් තෙමී ගිය ඇඳුම් වලින් යුත් පිරිස් ඪෝල හා වෙනත් සංගීත භාණ්ඩ වයමින්, නටමින් සැරිසරති. එමෙන්ම තමන්ගේ හිතෛෂිවන්තයින්ගේ නිවස් වලට ගොස් වර්ණවත් කුඩු ඉසිමින් සිරුරු පුරා වර්ණවත් ජලය විසුරුවති. සවස තුන පමණ පසු දිය නා පිරිසිදු වී ආහාර අනුභව කරති. පසුව සැන්දෑ කාලයේදී ගැයුම් වැයුම් ආරම්භ වේ. භාරතයේ පැවැත්වෙන හෝලී උත්සව අතරින් ප‍්‍රධාන ස්ථානය හිමිවන්නේ උත්තර භාරතයේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ හින්දි භාෂක කලාපයට අයත් බ‍්‍රජ් ප‍්‍රාන්තයේහි පැවැත්වෙන හෝලී උත්සවයටයි. එයට හේතුව වී ඇත්තේ මේ උත්සවය ක‍්‍රිෂ්ණගේ ජීවිතය හා සම්බන්ධ වී තිබීමයි.
මේ ආකාරයට හෝලී උළෙල පැවැත්වීමෙන් ජනයා අතර සංහිඳියාව තව තවත් තහවුරු කර ගැනීමට ඉමහත් අනුබලයක් ලැබෙයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දී අධ්‍යන අංශයේ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතාන ගමගේ සහ කථිකාචාර්ය ආනන්ද අබේසුන්දර සමඟ කළ සංවාදයක් ඇසුරින් සටහන් කරන ලද්දකි.
  නලිනිකා ලක්‍ෂාණි
විශේෂවේදි ප‍්‍රථම වසර, ජන සන්නිවේදන අධ්‍යන අංශය