ළඟම ලිපිය

Thursday, January 26, 2017

ශක්තිමත්ව නැගී සිටින්න....



කාර්යබහුල වෙලාවක ඔබට ඔබේ අත් පා අහිමි වූවා යැයි සිතන්න. මැවී පෙන්නේ ඇවිදීමට හෝ අත්‍යවශ්‍ය කිසිදු කාර්යක් ඉටු කර ගැනීමට නොහැකිව ලතැවෙන ස්වරූපයක් නේද? එහෙම වුණොත් කොතරම් නම් අපහසුතාවයකට වගේම වියවුලකට ඔබ පත් වේවිද? නමුත් කාලානුරූපව මේ තත්වයට හුරු වේවි කියා හිතන්නත් පුළුවන්. හැබැයි ජීවිතේ සාර්ථකභාවය කෙසේ වේවිද කියා නම් හිතන්න ටිකක් අමාරුයි නේද මේ කතා කරන්නේ උපතින්ම අත් පා අහිමි වූ පුද්ගලයෙක් ගැනයි. මෙවැනි මිනිසුන් කොතෙක් නම් මේ ලොව ඇතිද? 
Nicholas James Vujicic කියන්නේ ධෛර්යවන්තව කතා කිරීමට දක්ෂ පුද්ගලයෙක්. මොහුව මාධ්‍ය හරහා ලෝකෙට හඳුන්වලා දුන්නේ Nick Vujicic  කියලා. Nick කියන්නේ අන්වර්ථ නාමය. ඔහුට පුළුවන් මිනිසුන්ගේ හිත් දිනාගන්න පුළුවන් විදිහට කතා කරන්න. අන්තර්ජාලය පුරා සහ මාධ්‍ය පුරා මොහුගේ වීඩියෝ ප‍්‍රචාරය වෙනවා. ඒ වගේම මහජන කථනය වගේ පාඩම් මාලා වලට මේ කතා උපයෝගි කරගන්න තරම් නික්ගේ කතා කිරීමේ හැකියාව ප‍්‍රබලයි. 

ආබාධිත තත්වයක් කියන්නේ නොහැකියාවක් නොවෙයි. බාහිර ශරීරාංගයන්ගෙන් පර්පූර්ණ මිනිසෙකුට කරන්න බැරි බොහෝමයක් දේවල් උපතින්ම ශරීරාවයව අහිමි වූවන් කරන බවට හො`දම සාක්ෂිය නික්.  ඕස්ෙටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ඉපදෙන නික් ඉපදෙන්නත් කලින් ඔහුගේ මව දැනගෙන ඉදලා තියනවා නික් ඉපදෙන්නේ බාහු සහ කකුල් නොමැතිව කියලා. නික්ගේ කුඩා අවධිය ගෙවිලා තියෙන්නේ දුෂ්කරතා ගොඩක් මැද්දෙන්. රජයේ පාසලකට ඔහුව ඇතුළත් කර ගැනීමට පවා නොහැකි වෙලා තියෙන්නේ මේ ආබාධිත තත්වය හේතුවෙන්. නීති විෂය මාලාවෙන් අධ්‍යාපනය හදාරන්න ආසාවෙන් හිටපු නික්ට සිදුවෙන්නේ වාණිජ විෂයෙන් අධ්‍යාපනය ලබන්න. අවසානයේදී ඔහු ගණකාධිකරණය සහ මූල්‍යමය සැලසුම්කරණයෙන්  ඕස්ටේ‍්‍රලියාවේ ග‍්‍රිෆිත් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගන්නවා. අවුරුදු 19 වනවිට ඔහුගේ ජීවිතය ආශ‍්‍රය කරගනිමින් ලෝකය වටා සිටින මිනිසුන් සිය කතාවෙන් ධෛර්යවන්තව නගා සිටුවීමට නික් පටන් ගන්නවා.
දෙවියන් වහන්සේගෙන් ඔහු ඇයැද සිටියේ සාමාන්‍ය මිනිස්සන්ට වගේම ඔහුටත් අත් සහ කකුල් ලබා දෙන ලෙසයි. දිනක් ඔහුගේ මව පුවත්පතක තිබූ තවත් ආබාධිත පුද්ගලයකු පිළිබඳ ලියවුණු ලිපියක් නික් අතට දෙන්නේ ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරමින්. ජීවිතය වෙනස් කරගන්නට නික් හිතන්නේ ඉන් අනතුරුවයි. පාදවල ඇගිලි කිහිපයක් පමණක් ඇති නික් එහි උදව්වෙන් මිනිත්තුවට වචන 45ක් ටයිප් කිරීමට තරම් දක්ෂයකු බවට පත් වෙනවා. ඔහුගේ හිස පීරා ගැනීමට, පිහිනීමට, වතුර වීදුරුවක් අල්ලා ගැනීමට, ඩ‍්‍රම්ස් පෙඞ්ල් එකක් වාදනය කිරීමට, දත් මැද ගැනීමට, දුරකථනයෙන් ඇමතීමට ආදි කාර්යන් කිරීමට නික්ට ක‍්‍රමයෙන් හුරු පුරුදු වෙනවා. 

2005 වසරේදී Young Australian of the year  බවට පත් වන්නේද නික්. 2012 වසරේදී ඔහු තම ආදරවන්තිය සමග විවාහ ගිවිස ගන්නවා. ඇය තමයි  Kanae Miyahara. ඔවුන්ට මේ වනවිට දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔහු විසින් ලියූ පොත් අතර Life Without Limbs: The Incredible Power of Faith in Action, Love Without Limits: A Remarkable Story of True Love Conquering All and Stand Strong  ආදිය ඉතාමත් වේගයෙන් ජනතාව වැළඳ ගත්තා. ලෝකය පුරා රටවල් 58ක මේ වන විට ඔහු සංචාරය කරලා තියනවා.Attitude In Altitude (AIA)  කියන්නේ නික්ගේ වෙබ් සයිට් එක. 2007දී ඔහු මෙය ආරම්භ කරන්නේ ලෝකය වටා සිටින මිනිසුන්ගේ ධනාත්මක චින්තනය දල්වාලන අරමුණින්. 

ජීවිතය පුරාවටම අපට නොයෙක් මිනිසුන් හමු වේවි. ඒ මිනිසුන් ළඟත් අපි මොහොතක් හරි නැවතුණොත් ජීවිතේටම අමතක නොවෙන දේවල් ගොඩක් ඔවුන්ගෙන් ඉගෙන ගන්න ලැබෙනවා නියතයි.

නලිනිකා ලක්ෂාණි
(මව්බිම යං හි පළ වූවකි)