ළඟම ලිපිය

Thursday, October 27, 2016

දහස් ගණන් වැන්දඹුවෝ.......

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරයක් ලෙසින් සංජීව ගුණරත්නයන් දැනට සේවය කරයි. තරුණ නාට්‍යවේදියෙකු වශයෙන් හඳුනාගත හැකි මොහු විශ්වවිද්‍යාලයේ අවසාන වසර අධ්‍යාපනය ලබන විට දහස් ගණන් වැන්දඹුවෝ (පරිවර්තිත) නාට්‍ය අධ්‍යක්ෂණය කර ඇත්තේ නාට්‍ය හා රංග කලා අධ්‍යයන අංශයේ විෂයානුබද්ධ කණ්ඩායම් ප්‍රායෝගික පරීක්ෂණයක් වෙනුවෙනි. ඔහු සමඟ කළ කෙටි සංවාද සටහනක් මෙසේය.
ඡායාරූප : හේමන්ත අරුණසිරි

  •          මේ නාට්‍යයේ අන්තර්ගතය වන්නේ කුමන පසුබිමක් ?

දේශපාලන සන්දර්භයක් තුළින් බිහිවූ  මෙම නාට්‍යයේ  මුල් කෘතිය තමයි ඇමරිකානු නාට්‍ය රචක එරියල් ඩෝර්ෆ්මාන් විසින් රචිත Widows කෘතිය. 1970 දශකයේ දී චිලී දේශයේ සරුසාර කෙත්වතු වල ජීවත් වූ පාරම්පරික ගොවි ජනතාව ඇමරිකානු පාලකයන්ගේ අවශ්‍යතාවය මත සමූල ඝාතනය කර ගැනීමේ දේශපාලනික අර්බුදය මෙම නාට්‍යට පදනම වනවා. ඒකාධිපති හමුදා පාලක ඔගස්ටොපිනොවේ පාලන බලය අතට ගැනීමත් සමඟ එහි ප්‍රතිපලයක් ලෙස කොමියුනිස්ට්වාදීන්ව ඝාතනය කරනවා. පාලනයට හිතවත් ධනවාදීන්ගේ වුවමනාව මත ගොවියන් සතු ඉඩම් අත්පත් කර ගැනීමට ඉඩම් ප්‍රතිසංස්කරණ මුවාවෙන් වැඩපිළිවලක් ක්‍රියාත්මක වෙනවා. එයට එරෙහි වන ගොවි බගවේගය හමුදා බලය භාවිත කරලා මර්දනය කරනවා. එහිදී බොහෝ පිරිසක් මිය යන අතර තවත් බොහෝ පිරිසක් සිරගත කරනවා. ඇතැමුන් අතුරුදහන් වන අතර ඇතැමුන් අතුරුදහන් කරවනවා. මෙකී සියළු කාරණා සමඟ පශ්චාත් යුධ සමයක මිනිසා මුහුණ දෙන ඛේදනීය තත්වය තකමයි මේ නාට්‍යට පසුබිම් වෙලා තියෙන්නේ. 

  •        දහස් ගණන් වැන්දඹුවෝ නාට්‍යයේ ඉතිහාසය පිළිබඳ සඳහන් කළොත් ඔබට මොනවද කියන්න තියෙන්නේ?

2015 වසරේ දී ඒ කියන්නේ මගේ අවසන් වසර ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අපි කණ්ඩායමක් එකතු වෙලා මේ නාට්‍ය නිර්මාණය කළා. ඒ කාලේ ඒ හිටපු පිරිසෙන් කිහිප දෙනයි තාමත් නාට්‍යයේ ඉතිරි වෙලා ඉන්නේ. චරිත වලට අඩු අය වෙනුවට අලුත් පිරිසක් අරගෙනත් තියනවා. මේ නාට්‍ය හරහා සෑම දේශයකම තියෙන අධිකාරිත්වය මත පදනම් වුණු ලක්ෂණයන් සහ පාලකයන්ගේ පාලනයේ ලක්ෂණ ආදිය ඉස්මතු  වෙනවා.

  •        නාට්‍යයයේ මුල, මැද, අග කියන්නේ කුමක්ද යන්න මෙම නාට්‍ය ඇසුරෙන් කෙටියෙන් දැක්විය හැකිද?

මුල, මැද සහ අග කියලා කියන්නේ කතා වින්‍යාසයටයි. මේ නාට්‍යයේ ආරම්භයේ දී පිරිමින් නැති ගමක ජීවත් වන සොෆියා නම් කාන්තාවක් ඇතුළුව එදිනෙදා තමන්ගේ සාමාන්‍ය ජීවිතයට හුරු වී සිටින අනිත් ගැහැණුන්ගෙන් තමයි නාට්‍ය ආරම්භ වන්නේ. නාට්‍ය ආරම්භයේදී ගමට කුමක් සිදු වී තියෙනවාද කියන එක හොයාගන්න බෑ. නාට්‍ය විකාශනයේ දී තමයි පිරිමින් අහිමි කාන්තා පාර්ශවයේ ලක්ෂණ පේන්නේ. එහිදී අතීත සිදුවීම් හෙළිදරව් වීමත් එක්කම වර්තමාන සිදුවීම් ගෙන එනවා. නාට්‍ය අවසාන වන්නේ රජයේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වීම නිසා සොෆියා ඇතුළු සියළුම පිරිස ඝාතනය වීමෙන්.
ඡායාරූප : හේමන්ත අරුණසිරි
  •   නාට්‍ය සඳහා මුදල් ප්‍රතිපාදන හොයා ගන්නේ කුමන ක්‍රමයකින් ද?

කිව යුතු ම කාරණය නම් මූලික අදියරේදී විභාග අරමුණින් නාට්‍ය සකස් කරද්දි අපි අපේ කණ්ඩායමේ දොලොස් දෙනාම තමයි මුදල් හොයාගත්තේ. එතනදී අපි සාමාන්‍ය ආකාරයට සිසුන් මුදල් හොයන විදිහට ඒ කියන්නේ කැට ගිහිං, කෝච්චියේ සිංදු කියලා, ටිකටි විකුණලා තමයි මුදල් හොයාගත්තේ. හැබැයි දැන් නාට්‍යට සම්පූර්ණ වියදම මායි පෞද්ගලිකව දරන්නේ. එතකොට ඒක ටිකක් වෙහෙසකරයි. කලාවක් වෙනුවෙන් ඒක සතුටුදායක තත්වයක් නොවෙයි කියන එකයි මගේ හැඟීම. නමුත් අපේ අධ්‍යයන අංශයෙනුත්, ඇකඩමික් ප්ලේයර්ස් සංගමයෙනුත් ලැබෙන සහයෝගය නිසා දැනට නාට්‍ය කරගෙන යනවා.

  •        දේශීය නාට්‍ය කලාවක් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට තරුණ නාට්‍ය ශිලිපියෙක් විදිහට ලබා දිය හැකි දායකත්වය කුමක්ද?

අපි ශාස්ත්‍රාලීය පසුබිමකින් නාට්‍ය හදාරලා එයින් ක්ෂේත්‍රයට ආපු පිරිසක්. කළ යුත්තේ ලංකාවේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන දේ බලලා නාට්‍ය හදන එක නොවෙයි. හොඳ පේක්ෂකාගාරයක් නිර්මාණය කිරීම සඳහායි නාට්‍ය කරන්න ඕන. උදාහරණයක් විදිහට වර්තමානය වන විට හාස්‍ය කියලා නාට්‍ය රැල්ලක් ඇවිත් තියනවා. හාස්‍ය කිව්වම සිනහව විතරක් නෙවෙයි නාට්‍යයක තියෙන්න ඕන. නාට්‍ය ශාලාවෙන් එළියට ගියාම අර හිනාව ඇතුළෙන් හිතන්න යමක් ඉතුරු කරන්නයි අවශ්‍යය. කොමඩි කියන්නේ සමාජ දේශපාලන ආර්ථික ප්‍රශ්න හා තත්වයන් ගැන වගේ ම ජීවිතය ගැන ගැඹුරින් කතා කරන නාට්‍යය. හැම අවස්ථාවකදීම නිර්මාණකරුවා කරන්නේ සමාජ ප්‍රගමනය වෙනුවෙන් යමක් දායක කරන එක. අපේ හැදෑරීම ඇතුලෙන් අපට කරන්න පුළුවන් දේත් ඒකමයි.


සටහන තබන්නේ නලිනිකා ලක්ෂාණි