ළඟම ලිපිය

Showing posts with label ඔවුන්. Show all posts
Showing posts with label ඔවුන්. Show all posts

Thursday, June 15, 2017

" මාවතේ සරසවි- පෙරළුණේ පිටු ජීවිතේ"

2017 මැයි 11 (මව්බිම- පාරදිගේ හි පළ වූවක්)

දැනුම කියන්නේ තත්පරයෙන් තත්පරයට වේගයෙන් වෙනස් වෙන දෙයක්. පොත් ලියන අය බොහෝ කාලයක් අරගෙන මේ දැනුම අකුරු කරනවා. සමහරු පිස්සුවෙන් වගේ මේ ලියන පොත් විකුණනවා. හැමදේම වගේ ඉතින් මේකත් චක‍්‍රයක්. දැනුම කියන්නේ මේ ලෝකේ තියෙන වටිනාම සම්පතක්නේ. ඒ සම්පත හොයන්න කැලණි කන්ද නගින බහින අය අතරට එක්වෙන්නට වරම් ලැබෙන්නේ මීට අවුරුදු තුන හමාරකට කලින්. බොහෝ වෙලාවට අද දකින මූණු හෙට දකින්නට නැති වුණත් සමහර මූණු කිහිපයක් නම් හැමදාම සුදු යකඩ වැට දිගේ යන අපට දකින්නට පුළුවන්. කැලණි සරසවි මාවතේ උදේ සවස කාලය පුරා දකින්නට ඇත්තේ මහත් කලබලකාරී බවින් පිරි ඝෝෂාකාරී පරිසරයක්. මේ මාවත දිගේ මිල කළ නොහැකි දැනුම සොයාගෙන යන එන අය අතරට දැනුම බෙදා දෙන්නට එක් වෙන අයත් බොහෝමයක් ඉන්නවා.
සමහර මාවත් වගේම ගොඩනැගිලි අලළා එකින් එකට සුවිශේෂී වූ ඉතිහාස කතා ගොඩ නැගෙනවා. ලිවිය හැකි කිව හැකි තොරතුරු වගේම කතා රැසක් හිමි පුද්ගලයන් වටේත් ඒ වගේ කතන්දර ගොඩ නැගෙන්නේ අසීමිතව. මේ කතාවට පාදක වෙන ආරියපාල මහතාගේ කතාව කාලණි සරසවි මාවතේ ඉතිහාස කතාවට ම අතුරු කතාවක් වාගේයි. වසර තිස් හයක පමණ කාලයක් පුරා සරසවි මාවත එක්තරා ආකාරයේ නැවතුම්පලක් කරගත් ඔහු මහමග පොත් වෙළෙන්දෙක්.
කැලණි සරසවි මාවතේ කැලණි කන්ද පටන් ගනිද්දි ම ඉන්නේ මේ මාවතේ පොත් වෙළෙන්දා. සුදු යකඩ වැටට හේත්තු වෙන්නට, කිසිම ආවරණයක් නැතිව, බිමට ඉටි කොළයක් එළාගෙන තමයි මොහු පොත් තියාගෙන ඉන්නේ. වැහි මන්දාරමෙන් අහස බර වුණු දවසක නම් බාගෙට ඇරුණු කාඞ්බෝඞ් පෙට්ටි කිහිපය තමයි ඔහුගේ එකම ආධාරකය. අපි අතින් පොතක් බිම වැටුණත් ආයෙත් අහුලා ගන්නේ වැඳලානේ. සැබැවින්ම පොත්වලට ගෞරව දක්වන්නේ වන්දනාමාන කිරීමෙන් ද කියන එක කතාබහ කළ යුතු තවත් කාරණයක්.
අපේ රටේ ගුරු-ගෝලයින් පමණක් නොව විවිධ රටවලින් පැමිණෙන විදේශීය ශිෂ්‍යයින් ද ආරියරත්න මහතාගේ හොඳ ම ගැණුම්කරුවන්. සැබැවින් ම ඔහු මාවත අයිනට වී හිඳිමින් විශාල පිරිසකගේ ප‍්‍රඥාව වර්ධනය කරවන්නට බුද්ධිය ලබා දෙන්නෙක්.
ඔහු සතුව ඇති පත පොතින් සෙස්සන් පෝෂණය කරන ගමන් ම ඔහුත් පොතින් ම ඉගෙන ගෙන තිබෙන දේවල් අසීමිතයි. ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් මැද නොවෙනස්ව දිවි ගෙවන ආරියපාල මහතා, සමාජයට සිදු කරන සුවිසල් සේවාව අපමණයි.
මේ වෙනකොට ලෝකයේ මහා පරිමාණ ව්‍යාපාරික මධ්‍යස්ථාන ඉදිවෙනවා. අව්වෙන් වැස්සෙන් බැට කමින් නිතරම පාහේ පීඩා විඳගෙන මේ කරන ජීවිකාව සරලයි වගේ කාටත් හිතෙනවා. ඒත් ඒක එහෙම නෑ කියලා ඔහුගේ කතාබහ හොඳ ම සාක්ෂ්‍ය සපයනවා. මාස්පතා පොත් ගන්නවුන්, පුරුද්දකට පොත් ගන්නවුන් ආරියපාලට නිතර කතා බහ කර යන්න එන්නේ ගණුදෙනුවට එහා ගියපු හිතවත්කම නිසාවෙන්. ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින ආරියපාල විවාහකයි. ඔහුගේ බිරිඳත් සමහර දවසට මාවත අයිනේ පොත් වෙළදසලට එන්නේ ඔහුගේ අත් උදව්වට.
මුද්‍රණයන් කිහිපයක් ඇති පොත්වල ප‍්‍රථම මුද්‍රණය පවා ඔහුට ඉතා හොඳින් මතකයි. සමහර පාඩම් පවා කිවූ විට පොත දීමට තරම් ඔහුගේ අවබෝධය පෘථුලයි. මාවතේ ආ ගිය බොහෝ පිරිස අතරින් නිතර ඔහුව සොයා ඇවිත් පොත් අරන් ගිය අය ඒවායේ තිබුණ දැනුම අරගෙන අද සමාජයේ ඉහළම තැන වැජඹෙනවා.
අවුරුදු ගාණක් කරගෙන ආපු මේ ව්‍යාපාරයට කණ කොකා හඬමින් ඉන්නවා. ඒ තාක්ෂණය හේතුවෙන්. ලේසි පහසුවට මුද්‍රිත මාධ්‍ය පරිගණකගත කළත් එයින් පීඩා විඳින්නන් බොහෝමයි. බොහෝ ශිෂ්‍යයින් පිරිසක් වර්තමානය වෙද්දි දැනුම සොයා යන්නේ අන්තර්ජාලයෙන්. අලූතින් පොතක් මිලදී අරගෙන කියවන ප‍්‍රවණතාවය බොහෝම අවමයි.තාක්ෂණික දියුණුව අතින් ක‍්‍රමිකව ලෝකය ඉදිරියට යද්දී පොත් වෙළ`දාමට අසුබ කාලයක් දවසක් අද උදා වෙලා. කාලය ඉන්නේ බොහෝ දේ වෙනස් කරමින් නොනවතින ගමනක. සෑම දෙයක් ම මේ වන විට දැවැන්ත පරිවර්තනයකට ලක් වෙලා හමාරයි. ඒත් එදා ඉඳන් තමන් තවමත් පරණ මිනිසකු ලෙස ජීවත්වෙලා ඉන්න එක ගැන මාවතේ පොත් වෙළෙන්දා සතුව කිසිදු පසුතැවීමක් හෝ කලකිරීමක් නම් නෑ.

සටහන සහ ඡායාරූප
-නලිනිකා ලක්ෂාණි-
http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16495.jpg

චිකාගෝ නුවරදී...

මානව දයාවෙන් අග තැම්පත් පුද්ගලයන් බොහෝ පිරිසක් සමාජයේ හොයාගන්නට ලැබෙන්නේ නෑ. හොඳයි යැයි කිව හැකි මිනිසුන් ලොව අඩුයි. අපට පුළුවන් නම් තමන් ඉදිරියේ සිටින අයෙක් ඔහු හෝ ඇය ඉදිරියේ අගය කරන්න, නිසැකයෙන් තමන් සතු හොඳම ගුණාංගය එය වේවි. පිදිය යුත්තන් පිදීම වගේම අගය කළ යුත්තන් අගය කිරීම ද උතුම් ගුණධර්මයක්. මේ දිනවලදී වැඩිපුර කතාබහට ලක්වන පුද්ගලයෙක් ගැනයි මේ කතා බහ ගෙන එන්නේ.
ඇමරිකානු පාලන තන්ත‍්‍රය තුළ හතලිස් හතරවන ජනාධිපතිවරයා වූ බැරැක් ඔබාමා මහතා මානව දයාවෙන් පිරිපුන් බව මාධ්‍යයෙන් නිරන්තර අවධානයට ලක් වුණා. ඇමරිකාවේ ප‍්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ද වන ඔහු වසර අටක පාලන ධූරයක් දැරුවා. එළඹුණු 2017 වසරේ ජනවාරි 10 වන දින චිකාගෝ නුවර පැවති උත්සව සභාවක ඔහු කළ ප‍්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා පැතිරෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා ලෙසින් සමුගැනීමට පෙර ඔහු කළ සමුගැනීමේ කතාව එයයි. ජනාධිපති ධූරය දරමින් සිට සිය ජනතාව අමතමින් අවසන් කතාව සිදු කිරීමට චිකාගෝ නුවර තෝරා ගත්තේ ද සිය ජීවිතයේ මුල් කාලයේ සිදුවීම් රැසක් සමග ඒ නගරය සමීප නිසාය.
ඒ ගැන කතා කරන්න කලින් බැරැුක් ඔබාමාගේ ළමා කාලය ගැන කතා කළොත් ඔහුගේ ජීවිතයත් දුක් කම්කටොලූ මැදින් ආ ජීවිතයක් බවයි අදුරගන්න පුළුවන් වෙන්නේ. හවායි දූපතේ හොනලූලූවලදී ඔහු ඉපදෙනකොට පුංචි ඔබාමාගේ පියා හවායි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් තමයි පසු වෙලා තියෙන්නේ. ඔබාමාට වයස අවුරුදු දෙක සම්පූර්ණ වන විට ඔහුගේ පියා වෙනත් විවාහයක් සිදු කරගන්නවා. පුංචි ඔබාමා සිය මව සමග ඉන්දුනීසියාවට යන්නේ මවගේ දෙවනි විවාහයත් සමගයි. මේ විදිහට වයස දහයේදී නැවත වාරයක් හවායි දූපතට පැමිණෙන ඔහු 1993 වසරේදී ක්‍රෙන්ස් දිකාගෝ බිස්නස් සමාගම විසින් වයස අවුරුදු 40ට අඩු බලවත්ම පුද්ගලයින් දසදෙනා අතරට ඔබාමා නම් කරනවා. මේ විදිහට ඔහු හාවර්ඞ් නීති විද්‍යාලයට ඇතුලත් වෙනවා. මේ ආකාරයට තමයි ඔබාමා ක‍්‍රමයෙන් දේශපාලනයට යොමු වෙන්නේ.
සංවේදී වෙනවා නම් සංවේදී වෙන්න අවශ්‍ය වන්නේ යම් කෙනෙකුගේ දුක්බර අතීතයට නොවේ. අපිට පුළුවන් නම් සංවේදී කාරණාවකින් අපේ ජීවිතයටත් ශක්තියක් ගන්න, ඒ තරම් වටිනා දෙයක් ලොව තවත් නැති වේවි. ජීවිතය කියන්නේම අලූත් පාඩම් උගන්වන පාඩම් පොතක් කියලයි ඒ කාරණාවේදි අපි හිතන්න ඕන. දැන් ඔබාමාගේ කතාවට ආයෙත් අපි යමු.
කලින් කියපු සිදුවීම ගැන කතා කළොත් ඔහු පසුගිය දිනකදී චිකාගෝ නුවරදී කළ කතාවේ එක් අවස්ථාවක් මුළු පේ‍්‍රක්ෂකාගාරයම හඩවනවා. ඔබාමාගේ බිරිඳ මිචෙල් ඔබාමා සහ මාලියා ඔබාමා කියන එක් දුවෙකුත් පේ‍්‍රක්ෂකාගාරයේ ඉදිරි පෙළ අසුන් ගෙන සිටිනවා. ‘මගේ බිරිඳ, මගේ දරුවන්ගේ මව පමණක් නොවෙයි, මගේ හොඳම මිතුරියත් ඔබයි’. ඒ වගේම මාලියා සහ සාෂා කියන දියණියන් දෙදෙනා ගැනත් ඔහු සඳහන් කරන්නේ හැගුම්බරවයි. මාලියාගේ සහ සාෂාගේ පියා වීම ආඩම්බරයක් බවත් ඔවුන් දෙදෙනාට ප‍්‍රණාමය පුද කරන බවත් ඔබාමාගේ කතාවට ඇතුළත් වුණා. මේ අවස්ථාව ඉතාමත් සංවේදි අවස්ථාවක් වන්නේ ලොව කිසිදු ජනාධිපතිවරයෙක් මෙවැනි ආකාරයේ කතාබහක යෙදී නොමැති නිසාවෙන් විය හැකියි. කාර්යබහුල වූ ජනාධිපති ජීවිතයේදී ඒ සියල්ල ඉවසා දරා සිටියාට බැරැක් ඔබාමා සිය පවුලට හදවතින්ම ප‍්‍රණාමය පළ කළා. මේ කතාව මාධ්‍ය පුරා විසිරී ගියේ දේශපාලන ප‍්‍රචාරන ක‍්‍රියාවලිය අභිබවා ගිය සංවේදී මොහොතක් වූ නිසාය.
නලිනිකා ලක්ෂාණි

ප‍්‍රශ්න එන්නේ ම ජීවිතය දිනවන්න..

ප‍්‍රශ්න එන්නේ ම ජීවිතය දිනවන්න...........

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියලා කියන්නේ කට කහනවට නෙවෙයි. අපිට එකපාරටම පේන්නෙ නැති දේවල් ගොඩක් හොඳට ඇස් ඇරලා බැලූවොත් හොයාගන්න පුළුවන්. එහෙම හොයාගත්ත අයත් ජීවත්ව ඉන්නවා වගේම නොනවතින ගමනක ගිහින් ජීවිතය දිනපු අයත් මේ ලෝකේ ඉන්නවා. සරලවම කිවුවොත් ජීවිතය අපි හිතන තරම් ලේසියෙන් දිනන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි උත්සහවන්න බව වගේම වාසනා ගුණ මහිමය කියන දෙකටම පුළුවන් අපිව ඉහළටම අරන් යන්න. නිහඬ සිනමා යුගය අවදි කළ ඒ වගේ පුද්ගලයෙක් අපට හමුවෙනවා. අපි කතා කරමු ඔහු ගැන.
දුප්පත්කම දෝතට අරගෙන ඉපදුණු චාලිගේ කුඩා කාලය අති දුෂ්කර විදිහට තමයි ගෙවෙන්නේ. 1889 අපේ‍්‍රල් මාසයේ 16 වන දින එංගලන්තයේ ලන්ඩන් නුවර චාල්ස් ස්පෙන්සර් චැප්ලින් සහ හැනා හිල් චැප්ලින්ට දාවයි චාලි උපදින්නේ. දෙමාපියන් සංගීත ශාලාවල ගීත ගායනා කර මුදල් සෙවූ අතර චාලිගේ පියා බීමත්කමට ඇබ්බැහි වන්නේ අකාලයේය. ඔහු චාලි, චාලිගේ මව සහ චාලිගේ සහෝදරයා අත්හැර යන්නේ ඉන්පසුවය. චාලිගේ අම්මා සංගීත ශාලාවල ගීත ගායනා කරමින් සිටියදී ඇගේ හඬ දුර්වල වී යන්නේ නොසිතූ පරිද්දෙන්. මේක ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ සිද්ධියක් බවට පත් වෙනකොට චාලිගේ අම්මා මානසික වියවුලකට පත් වෙනවා. චාලිටත්, අම්මාටත්, සහෝදරයාටත් මාසයේ අන්තිම සතිය වෙනකොට ඉන්න කුලී ගෙදරින් එළියට බහින් සිද්ධ වෙන්නේ කුලිට ගෙවා ගන්න බැරිවන විටයි. ඔවුන් උද්‍යාන බංකුවල, මාවත් අයිනේ දිවි ගෙවන්නටත් හුරු වෙනවා. කොහොම වුණත් චාලිට සහ සොයුරා වන සිඞ්නිට සිද්ධ වන්නේ අනාථ නිවාසයකට යාමටයි. බොහෝ කාලයක් ඔවුන්ට සිදු වූයේ කුසගින්නේ වේලෙන්න. පාසල් යාමත් අත්හරින චාලි ඉන්පසුව ක‍්‍රමයෙන් කලාවට යොමු වෙනවා. චාලි රංගනයෙන් දායකත්වය දක්වපු චිත‍්‍රපට අතර The Kid, The woman in Paris, The Gold rush, The circus, City Lights, Modern Times, The Great Dictator, Limelight ආදී චිත‍්‍රපට ප‍්‍රධානයි. 1917 පමණ වෙනකොට චාලි, ස්වාධීන චිත‍්‍රපට නිශ්පාදකවරයෙක් වීමට තීරණය කරනවා. චාලි චැප්ලින් ජනප‍්‍රිය වන විට ඔහු පැළඳූ තොප්පියේ විලාසිතාව, චැප්ලින් බෝනික්කන්, චැප්ලින් සෙල්ලම් බඩු, පැළඳූ ටයි එක, මේස් එකේ විලාසිතාව ඉතාමත් ප‍්‍රසිද්ධ වුණා. ලෝ සුපතළ චාලි චැප්ලින් ලක්ෂපතියෙක් වන්නේ චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ රැඳීමෙන්. නළුවෙක්. චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, තිර පිටපත් රචකයෙක් විදිහට ඔහු ලොවට කළ සේවාව ඉතාමත් වටිනවා.
අපි දන්න දේවල් ඇතුළේ නොදන්න දේවල් ගොඩක් තියෙන බව ඉගෙන ගන්න චාලිගේ කතාව වටිනවා. ඒ වගේම වැටී වැටී ජීවිතය දිනන්න හයියක් හොයන වුන් වැටී වැටීම ජීවිතය හොයා ගනීවි මේ වගේ ජීවිත කතා දිහා බලලා. හැබැයි හැමදේම දැන ඉගෙන ගන්න එකයි සේරටම වැඩියෙන් වටින්නේ. දුෂ්කරතා එන්නේම ජීවිතය දිනවන්න බව චාලි උගන්වා හමාරයි.
නලිනිකා ලක්ෂාණි

Thursday, January 26, 2017

ශක්තිමත්ව නැගී සිටින්න....



කාර්යබහුල වෙලාවක ඔබට ඔබේ අත් පා අහිමි වූවා යැයි සිතන්න. මැවී පෙන්නේ ඇවිදීමට හෝ අත්‍යවශ්‍ය කිසිදු කාර්යක් ඉටු කර ගැනීමට නොහැකිව ලතැවෙන ස්වරූපයක් නේද? එහෙම වුණොත් කොතරම් නම් අපහසුතාවයකට වගේම වියවුලකට ඔබ පත් වේවිද? නමුත් කාලානුරූපව මේ තත්වයට හුරු වේවි කියා හිතන්නත් පුළුවන්. හැබැයි ජීවිතේ සාර්ථකභාවය කෙසේ වේවිද කියා නම් හිතන්න ටිකක් අමාරුයි නේද මේ කතා කරන්නේ උපතින්ම අත් පා අහිමි වූ පුද්ගලයෙක් ගැනයි. මෙවැනි මිනිසුන් කොතෙක් නම් මේ ලොව ඇතිද? 
Nicholas James Vujicic කියන්නේ ධෛර්යවන්තව කතා කිරීමට දක්ෂ පුද්ගලයෙක්. මොහුව මාධ්‍ය හරහා ලෝකෙට හඳුන්වලා දුන්නේ Nick Vujicic  කියලා. Nick කියන්නේ අන්වර්ථ නාමය. ඔහුට පුළුවන් මිනිසුන්ගේ හිත් දිනාගන්න පුළුවන් විදිහට කතා කරන්න. අන්තර්ජාලය පුරා සහ මාධ්‍ය පුරා මොහුගේ වීඩියෝ ප‍්‍රචාරය වෙනවා. ඒ වගේම මහජන කථනය වගේ පාඩම් මාලා වලට මේ කතා උපයෝගි කරගන්න තරම් නික්ගේ කතා කිරීමේ හැකියාව ප‍්‍රබලයි. 

ආබාධිත තත්වයක් කියන්නේ නොහැකියාවක් නොවෙයි. බාහිර ශරීරාංගයන්ගෙන් පර්පූර්ණ මිනිසෙකුට කරන්න බැරි බොහෝමයක් දේවල් උපතින්ම ශරීරාවයව අහිමි වූවන් කරන බවට හො`දම සාක්ෂිය නික්.  ඕස්ෙටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ඉපදෙන නික් ඉපදෙන්නත් කලින් ඔහුගේ මව දැනගෙන ඉදලා තියනවා නික් ඉපදෙන්නේ බාහු සහ කකුල් නොමැතිව කියලා. නික්ගේ කුඩා අවධිය ගෙවිලා තියෙන්නේ දුෂ්කරතා ගොඩක් මැද්දෙන්. රජයේ පාසලකට ඔහුව ඇතුළත් කර ගැනීමට පවා නොහැකි වෙලා තියෙන්නේ මේ ආබාධිත තත්වය හේතුවෙන්. නීති විෂය මාලාවෙන් අධ්‍යාපනය හදාරන්න ආසාවෙන් හිටපු නික්ට සිදුවෙන්නේ වාණිජ විෂයෙන් අධ්‍යාපනය ලබන්න. අවසානයේදී ඔහු ගණකාධිකරණය සහ මූල්‍යමය සැලසුම්කරණයෙන්  ඕස්ටේ‍්‍රලියාවේ ග‍්‍රිෆිත් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගන්නවා. අවුරුදු 19 වනවිට ඔහුගේ ජීවිතය ආශ‍්‍රය කරගනිමින් ලෝකය වටා සිටින මිනිසුන් සිය කතාවෙන් ධෛර්යවන්තව නගා සිටුවීමට නික් පටන් ගන්නවා.
දෙවියන් වහන්සේගෙන් ඔහු ඇයැද සිටියේ සාමාන්‍ය මිනිස්සන්ට වගේම ඔහුටත් අත් සහ කකුල් ලබා දෙන ලෙසයි. දිනක් ඔහුගේ මව පුවත්පතක තිබූ තවත් ආබාධිත පුද්ගලයකු පිළිබඳ ලියවුණු ලිපියක් නික් අතට දෙන්නේ ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරමින්. ජීවිතය වෙනස් කරගන්නට නික් හිතන්නේ ඉන් අනතුරුවයි. පාදවල ඇගිලි කිහිපයක් පමණක් ඇති නික් එහි උදව්වෙන් මිනිත්තුවට වචන 45ක් ටයිප් කිරීමට තරම් දක්ෂයකු බවට පත් වෙනවා. ඔහුගේ හිස පීරා ගැනීමට, පිහිනීමට, වතුර වීදුරුවක් අල්ලා ගැනීමට, ඩ‍්‍රම්ස් පෙඞ්ල් එකක් වාදනය කිරීමට, දත් මැද ගැනීමට, දුරකථනයෙන් ඇමතීමට ආදි කාර්යන් කිරීමට නික්ට ක‍්‍රමයෙන් හුරු පුරුදු වෙනවා. 

2005 වසරේදී Young Australian of the year  බවට පත් වන්නේද නික්. 2012 වසරේදී ඔහු තම ආදරවන්තිය සමග විවාහ ගිවිස ගන්නවා. ඇය තමයි  Kanae Miyahara. ඔවුන්ට මේ වනවිට දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔහු විසින් ලියූ පොත් අතර Life Without Limbs: The Incredible Power of Faith in Action, Love Without Limits: A Remarkable Story of True Love Conquering All and Stand Strong  ආදිය ඉතාමත් වේගයෙන් ජනතාව වැළඳ ගත්තා. ලෝකය පුරා රටවල් 58ක මේ වන විට ඔහු සංචාරය කරලා තියනවා.Attitude In Altitude (AIA)  කියන්නේ නික්ගේ වෙබ් සයිට් එක. 2007දී ඔහු මෙය ආරම්භ කරන්නේ ලෝකය වටා සිටින මිනිසුන්ගේ ධනාත්මක චින්තනය දල්වාලන අරමුණින්. 

ජීවිතය පුරාවටම අපට නොයෙක් මිනිසුන් හමු වේවි. ඒ මිනිසුන් ළඟත් අපි මොහොතක් හරි නැවතුණොත් ජීවිතේටම අමතක නොවෙන දේවල් ගොඩක් ඔවුන්ගෙන් ඉගෙන ගන්න ලැබෙනවා නියතයි.

නලිනිකා ලක්ෂාණි
(මව්බිම යං හි පළ වූවකි)


Saturday, November 12, 2016

පිහිනීමට උපන් හපන් යුස්රා මර්දිනී ....

bbc.co.uk
“සරණාගතයින් සාමාන්‍ය මිනිසුන්ය”'
-යුස්රා මර්දිනි-

දේශ සීමාවන් නොමැතිව තරඟ බිමට පැමිණි ඇය යුස්රා මර්දිනී (Yusra Mardini) ය. මැය ගැන හැමෝම කතා කරන්න පටන් ගන්නේ 2016 රියෝ ඔලිම්පික් තරඟ බිමට ආ ගමනත් සමඟයි. ඒත් ඒ වන විටත් ඇය සිය ජීවිතය නම් දිනා අවසන්. මුහුදු රළ සමඟ තරඟ වදිමින් අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරා ගත් යුස්රා මර්දිනි සැබැවින් ම ආත්මාර්ථයෙන් හිස උදුම්මාගත් තාරුණ්‍යයට ආදර්ශයක් වූ චරිතයක්. ‍මේ කතාව යුස්රාගේ ජීවිතය ගැනයි.
කාලයක් පුරා සිරියානු යුධ ගැටුම් වලින් පීඩා විඳින සිය දහස් ගණනක් මිනිසුන් යුරෝපයට එන්න පටන් ගන්නවා. බෝම්බ ප්‍රහාරයකින් උන් හිටි තැන් අහිමි වූ යුස්රා සහ ඇගේ නැගණිය සාරා, 2015 අගෝස්තු මාසයේ දී සිරියාවේ ඩමස්කස් නුවර ඉඳලා තුර්කියට ඒමට තීරණය කරනවා.  එතැන් සිට මේ දෙදෙනා ඇතුළු තවත් පිරිසක් බෝට්ටුවකට නඟින්නේ මධ්‍යධරණී මුහුද හරහා ග්‍රීසියට යන අරමුණින්. ඒත් මඳ දුරක් විතරයි ඔවුන්ට යාමට හැකි වන්නේ. මුහුදු රළ මොවුන් සිටි බෝට්ටුව පෙරළා දමන්නේ කුරිරු ආකාරයට. පිහිනීමට උපන් හපන් යුස්රා සහ ඇගේ නැගණිය මෙතැන් සිට ගන්නේ අපූරු තීරණයක්. ඒ පෙරළුණු බෝට්ටුවේ සිටි තවත් පිහිනීමට හැකි කාන්තාවක් ද එකතු කර ගනිමින් බෝට්ටුව ඇදගෙන ග්‍රීසිය කරා පිහිනීමයි. තමන්ට විතරක් ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබිය දී ඔවුන් ගත් පරාර්ථකාමී තීරණයේ වටිනාකම නිසා සියළුම දෙනා ද රැගෙන ග්‍රීසියට යාමට හැකි වනවා.
1998 මාර්තු 05 වන දින උපත ලබන යුස්රා සිය පිහිනුම් කටයුතු අරඹන්නේ කුඩා කාලයේ පටන්ය. ග්‍රීසියට සංක්‍රමණය වී ජර්මනියට යන මැය නැවත සිය පිහිනුම් පුහුණුවීම් අරඹන්නේ 2020 දී ඔලිම්පික් තරඟාවලිය අරමුණු කර ගනිමින්. නමුත් 2016 දී ඇයට රියෝ ඔලිම්පික් තරඟයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙන්නේ විස්මය දනවන ආකාරයටයි.  ඒ සිය නිජබිම අතැර අවතැන් වූ සරණාගතයින් ලෙසින් වෙනත් රටවලට සංක්‍රමණය වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායමක් සෑදීමට ප්‍රථම වරට ඔලිම්පික් කමිටුව ගන්නා තීරණයත් සමඟයි. මේ තරඟකරුවන් දස දෙනා අතරට යුස්රා එක් වන්නේ මීටර් 100 නිදහස් ආර සහ මීටර් 200 සමණල ආර පිහිනුම් ඉසව් සඳහා ය.

රියෝ ඔලිම්පික් හි අවසන් තරඟයෙහි ජය ලැබීමට නොහැකි වුව ද ඔලිම්පික් ධජය යටතේ තරඟ වදිමින් ලෝකයට ම ආදර්ශයක් වූ මේ තරුණියගේ අරමුණ ලෝකයේ සතර දෙසින් අවතැන් වූවන් බවට පත් වන ජනයාට උදව් උපකාර කිරීමයි. ඇය වෙර දරමින් සිටියේ කවරදාක හෝ ඔලිම්පික් තරඟාවලියකට සහභාගී වීමටයි. නොසිතූ පරිදි යුස්රාට මේ අවස්ථාව උදා වූයේ ඇගේ පරාර්ථකාමීත්වයේ සහ වාසනා ගුණ මහිමයෙනි. ඇදි වත පමණක් රැගෙන ග්‍රීසියට පා තබන ඇය සැබැවින් ම අද වන විට ජීවිතය ජයගත් ශ්‍රේෂ්ඨ තරුණියක් වී හමාරයි. අද වන විට සිරියානුවෙක් ලෙසින් ජර්මනියේ ජීවත් වන ඇය පිහිනුම් සමාජයක සාමාජිකාවකි. මේ වන විටත් 2020 දී පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් තරඟය සඳහා ඇගේ පුහුණුවීම් කටයුතු සිදු වෙමින් පවතියි. 

Saturday, November 5, 2016

නොබෙල් සාම ත්‍යාගය දිනූ “තිරිගු  මල”

timestalks.com

“එක පොතකින්, එක පෑනකින්, එක ශිෂ්‍යයකුගෙන් සහ එක් ගුරුවරයෙකුගෙන් ලෝකය වෙනස් කළ හැකිය”
-මලාලා යුසෆ්සායි-

මලාලා යුසෆ්සායි දැනට නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ළාබාලතම තැනැත්තියයි. කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඬ නැගූ මලාලාට සහ ඉන්දියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයකු වූ කයිලාෂ් සත්‍යාර්තිට 2014 දී නොබෙල් සාම ත්‍යාගයේ සම ස්ථානය හිමි වුණා. එ ඇයට වයස අවුරුදු 17 දීයි. 1997 ජූලි 12 වන දින වයඹ දිග පාකිස්තානයේ ස්වොට් නිම්නයේ‍්, මින්ගෝරා නගරයේ තමයි මලාලා උපත ලබන්නේ. ඇගේ හැම දෙයකදීම මලාලාගේ පසුපස ඇති ශක්තිය සියා උද්දීන් වන ඇගේ පියායි.

මලාලා වෙනස් ම චරිතයක් වූ අතර ඇය තම හිස ආවරණය කළේ නෑ. ඇයට ඕනෑ වුණේ ඇගේ අනන්‍යතාවය ඔප්පු කරන්නයි. බොහෝමයක් දේවල් ගෑණු ළමයින්ට තහනම් වෙද්දී මලාලා ඒ දේවල් කරන්නට පටන් ගත්තා. ඇයගේ මේ ගති ලක්ෂණ හඳුනාගත් ඇගේ පියා ඇයව විශ්වාස කළා වගේ ම අනුමත කළා. 2009 දී පමණ කාලෙදී  ස්වොට් නිම්නයේ බලය පැතිරවූ තලේබාන් සංවිධානයේ සාමාජිකයින් පැවසුවේ ගෑණු ළමයින්ට ඉගෙන ගන්න තියන අවස්ථාව අහිමි කර ඔවුන් පාසල් නොයැවිය යුතු බවයි. තව ද තද වර්ණයේ ඇඳුම් නොඅඳින ලෙසට වගේ ම සාප්පු සවාරි නොයන ලෙසට, රූපවාහිනී නැරඹීම තහනම් කරන ලෙසින් තර්ජනය කළා.

ඇය කුඩා කාලයේ ඉඳන් ම ලබපු අමිහිරි යුදමය අත්දැකීම් එක්ක ඇයට තිබු‍ණේ අපූරු ආත්ම ශක්තියක්. බී බී සීයේ පාකිස්ථාන වාර්තාකරු අබ්දුල් හයිට මේ කාලය වන විට අවශ්‍ය වන්නේ මෙවැනි දුක්ඛිත තත්වයක් අතිවිඳි අයෙකු ලවා මේ සිදුවීම් ලොවට හෙළිදරව් කිරීමටයි. ඒ අනුව මලාලාගේ පියාට අබ්දුල් ගෙන එන ඇරයුමත් එක්ක මලාලා මේ කර්තව්‍යට යොමු වෙනවා. තලේබානුවන් නිසා ඒ ප්‍රදේශයේ වෙසෙන්නන් බියෙන් ජීවත් වන ආකාරය, පාසල් කදවුරු බවට පත් වූ ආකාරය ගැන, ඔවුන් බියෙන් පාසල් ගිය ආකාරය ගැන වගේ ම ඔවුන් වැගිරවූ  කදුලු මලාලා සිය අතින් අකුරු බවට පත් කරනවා. ‘තිරිගු මල’ කියලා මලාලාව හඳුන්වන්නේ" ඒ අර්ථය ඇතිව ‘ගුල්මකායි’ කියන නමින් මැය බී බී සීයේ උර්දු සේවය වෙනුවෙන් බ්ලොග් සටහන් ලියූ නිසායි. මලාලා බීබීසීයට ඒ නමින් ලිපි ලිවූවත් ඇයගේ සැබෑ නම සමඟ තොරතුරු හෙළි වීමත් සමඟ ඇයට තලේබානුවන්ගෙන් මරණ තර්ජන එල්ල වෙන්න ගත්තා. මේ තර්ජන වල ප්‍රතිපලයක් විදිහට තමයි 2012 ඔක්තෝම්බර් 09 වන දින පාසල අවසන් වී පාසල් ළමුන් රැගත් වාහනයකින් නිවසට යමින් සිටි මලාලාට තලේබානුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වීමයි. ඒ වන විට ඇය සිටියේ පහළොස් වියේය.

කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සහ නිදහස සම්බන්ධයෙන් ඇය සිදු කළේ අපූරු හඬ නැගීමක්. ඒ හේතුවෙන් දරුණු අන්දමට තුවාල ලැබූ මලාලාට ජාත්‍යන්තරයේ සහය ලැබුණු අතර  මේ වන විට ඇය ලෝකයේ ම ගෞරවයට පත් වෙලා. ක්‍රිස්ටිනා ලෑමුබ්ගේ සම කතෘත්වයෙන් යුතුව “මම මලාලා” (Im Malala: The girl who stood up for Education and was shot by Taliban) නමින් ඇයගේ ජීවිත කතාව පොතකින් ප්‍රකාශයට පත් කරනවා. 2013 ටයිම්ස් සඟරාවෙන් සහ යුරෝපා සංගමයෙන් පිරිනමන සම්මානයන්ගෙන් මලාලා සම්මානයට පත් වෙනවා. 2011 දී පාකිස්තානු රජය විසින් එරට ප්‍රථම වරට සාමය සඳහා වූ ජාතික තරුණ සම්මානයෙන් මලාලා  පිදුම් ලබනවා. ඇගේ ජයග්‍රහණ මේ විදිහට දක්වද්දී ඇය  නිසා ලෝකය ලැබූ ජයග්‍රහණයන් බොහෝමයක් ඇති බව අප අමතක නොකළ යුතුයි. මලාලා පදනම මඟින් උදවු උපකාර අවශ්‍ය ගැහැණු දරුවන්ට උපකාර ලබා දෙන අතර කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ලෝක සමුළු වලට සහභාගී වෙනවා. විවිධ විවේචන මධ්‍යයේ ඇයගේ ගමන යන මලාලා සැඟවී සිටි ස්ත්‍රී චරිත වලට අසාධාරණකම් හමුවේ නැගී සිටීමට උත්තේජනයක් වී හමාරයි.

නලිනිකා ලක්ෂාණි


Friday, November 4, 2016

අමරදේවයාණනි ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කරාවී සදාකල්....
lankamusicchannel.com

කලා ලොවට සදා ගෞරවනීය චරිතයක් වූ ඩබ්ලිව්.ඩී. පණ්ඩිත් අමරදේව නම් යුගයේ දැල්වුණු පහන් වැට නිවී ගොස් හමාරය‍. සංගීතය නැමති විශ්වීය භාෂාවට සුවහසක් දරු පරපුරට අත්පොත් තැබූ ඔහු උත්තර භාරතීය සංගීත කලාවෙන් සිංහල ගීත ක්ෂේත්‍රය පෝෂණය කළ හෙළයේ කලාකරුවාය. “අමරදේව” නම් ආරෝපිත නාමයෙන් හඳුන්වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනි. සැබෑ නාමය වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ය. 1927 වර්ෂයේ මොරටුවේ දී උපත ලද මොහු දරුවන් සය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ අතර සංගීතයට ආභාසය ලබන්නේ තම පියාගෙනි.

උත්තර භාරතීය සංගීතයට අමතරව අමරදේවයන් සිංහල ජන සංගීතය සහ භාරතීය ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ සඳහා මූලාශ්‍ර කරගන්නා ලදි.  ශ්‍රී ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය ආදිය විමසන මොහු සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට සමත් වූවේය. මොහොමඩ් ගවුස් මාස්ටර් අමරදේවයන් සම්බන්ධ කර ගන්නේ සිය සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන් වාදකයා ලෙසිනි. වාසනා ගුණය සහ ප්‍රතිභාව මිනිසෙකුට ජන්මයෙන් ම මිස සතතාභ්‍යාසයෙන් ලැබෙන්නේ නැත. අමරදේවයන් සතුව භාෂාව කෙරෙහි තිබූ සංවේදීතාවය හේතුවෙන් සංගීතමය භාෂාවේ ඇති සුන්දර ගති ලක්ෂණ හඳුනාගන්නට ඔහුට හැකි විය.  ඔහුගේ සංගීත කලාව ශබ්ද මාධූර්යයෙන් අර්ථ මාධූර්ය ජනිත කරවන්නේ ඒ නිසාය. මුල් යගයේ ගීත අතරින් “පීනමුකෝ කළු ගඟේ”, “වඳිමු සුගත ශාක්‍ය  සිංහ”, “සීගිරියේ සිතුවම් රමණී” යන ගීත අමරදේවයන් අතින් විරචිත ගීත වේ. ඔහු සුනිල් ආරියරත්නයන්, මහගමසේකරයන්, ඩෝල්ටන් අල්විස් ශූරීන්, මඩවල එස් රත්නායකයන්, සුනිල් සරත් පෙරේරා ශූරීන් ආදීන් ඇතුළු ප්‍රවීණ ගීත රචකයින්ගේ ගී පද රචනාවන්ට තනු නිර්මාණය කරන්නේ පද ලාලිත්‍ය අතිශයින් ගීතයේ රසයට වැදගත් වන නිසාවෙනි.

ආදර හැඟුම්... ආදර හැඟුම්... ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි..... (පද රචනය-දයානන්ද ගුණවර්ධනයන්)

නුහුරු ආදර හැඟීමක් සිත්හි දරමින් දෙතැනකට වී ළං වෙන්න ප්‍රාර්ථනා කරන හිත් වලට දැනෙන හැඟීමක් ඒ ආකාරයෙන් ම මේ ගීතයේ ‍මූර්තිමත්ය.

මළහිරු බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගෙන මා යන්නම්...
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී 
ඔබගෙන් සමුගන්නම්.... (මහගමසේකර-අමරදේව සුසංයෝගයේ ප්‍රථම ගීය)

සැඟවී යන්නේ මළ හිරු බසිනා කාල හෝරාවකය. දරාගත නොහැක්කේ ද එයයි. ප්‍රේමයක් සොයන්නාට එය හමු වූ පසු වෙන්ව යාමට සිදු වේ. ඒ ලෝක ධර්මයයි. ඔබ ද අප හැර ගියේ  එලෙසමයි.  

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා... (පද-කුලරත්න ආරියවංශ, තනු- ආචාර්ය කේමදාසයන්)

සඳ සැඟවී සිටින්නේ වළා රොදකය. සීතලෙන් වෙලා ගත් මා ඇය දෙස බලා සිටී. ඇගේ දෑස් සඳ එළියට කාන්තිමත් වී ඇත. ඒ ඇස් හා මා කතා කරම්. සඳ සැඟවී හිඳ අපේ පෙම් කතා අසා සිටියි. මා වත කිති කවන්නේ සුළඟේ දඟ කරන ලිහී ගිය ඒ කෙහෙරැල්ය.

මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
නන්නාදුනනා ඔබගේ අත් අකුරින්
දුක් ගීයක් ගියනු මැනව...

මේ ලොව යම් කිසිවකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවී... (පද රචනය-මහගමසේකරයන්)

කාගේදෝ ආදරයක් බලාපොරොත්තු වෙමින් මුළු ජීවිත කාලය ම ගෙවා එහෙත් එය නොලැබී ගිය මිනිසෙකුගේ සිතුවිල්ලක් මෙහි ධ්වනිතය. කවරදාක හෝ හීන් හඬින් කියාවී..... ප්‍රේම කළ බව...

අමරදේවයාණනි ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කරාවී සදාකල්....


නලිනිකා ලක්ෂාණි

Sunday, November 29, 2015

සිතුවමට නව පණක් ලබා දෙන තරුණියක්. . .


1995 වර්ෂයේදී උපත ලද ඇය නමින් ක්‍රිස්ටිනා වෙබ් ය. නවසීලන්තය ඇයගේ මවු රටයි. සිතුවමි කලාවට නව අරුතක් ඈ එක් කරන්නේ මුලු මහත් ලොවක් මවිත කරමිනි. ලොව බිහිවී සිටින ශ්‍රේෂ්ඨ සිතුවම්කරුන්ට ඔවුන්ගේ අනන්‍යතාවය ස්ථාවර කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වෙද්දී මැය ළාබාල වියෙහිදිම නිර්මාණකාරිනියක ලෙසින් ඇයගේ අනන්‍යතාවය හෙළි කරගෙන හමාරය. බහක් නොතේරෙන දෙහැවිරිදි වියේ සිටන්ම ඇය සිතුවම් ඇදීමට ආශා කළ බව අන්තර්ජාලයේ සදහන් වේ. 2012 දී ඇයගේ සිතුවම් අන්තර්ජාලයට මුදා හැරීමත් සමග සිතුවම් කලාවට නව ප්‍රවේශයක් එක් වීය. ක්‍රිස්ටිනා වෙබ් සිතුවම් ඇදීමට පමණක් නොව  ඡායාරූපකරණයට හා රටින් රට සංචාරයටද බොහො ඇලුම් කරන්නියකි. මැයගේ සිහිනය වී ඇත්තේ සියලුම සිතුවම් වලින් මිනිසුන් ආකර්ෂණය කර ගැනීමයි.

ඇයගේ සිතුවම් ජීවමාන බවක් උසුලයි. ඇය සිතුවම් කලාවේදී වැඩි අවධානයක් යොමු කරනුයේ  වර්ණ සංකලනයටයි. ක්‍රිස්ටිනා වෙබ්ගේ සිතුවම් වල සුවිශේෂිත්වය වන්නේ ඇය තම සිතුවම් සදහා යොදා ගනු ලබන්නේ ඉවතලන ද්‍රව්‍ය වීමයි. පැන්සල් ද්‍රව්‍ය වර්ණවත් මල් පෙති ආදියෙන් මවන වර්ණ සංයෝජනය සිතුවම් වලට අපුරු ආකර්ෂණීය බවක් එක් කරයි. මැයගේ සිතුවම් අධික මිලකට අළෙවි වන බවත් වාර්තා වෙයි. intagram හරහා ඇයට අනුගාමිකයන් මිලියන 300ක් පමණ වන බවත් වාර්තා වෙයි. ඇයගේ සිතුවමි කලාව ආශ්‍රිත පොත් රැසක් ද අන්තර්ජාලය හරහා මේ වන විට අළෙවි වෙමින් පවතී.ඇය විසින් නිර්මාණය කළ ත්‍රිමාණ සිතුවම් සදහාද ඩිස්නි කාටුන්මය සිතුවම් සදහාද ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි. ස්වාභාවික අයුරින් ප්‍රතිනිර්මාණය කරන ඇයගේ සිතුවම් හදවත් ආකර්ෂණීය කර ගන්නේ නිරායාසයෙනි.

අන්තර්ජාලය ඇසුරිනි