ළඟම ලිපිය

Saturday, November 19, 2016

ලෝකයේ හොඳ ම සංචාරක ඡායාරූප ශිල්පීන් අතරට ප්‍රියන්ත බණ්ඩාර

අද අපිත් එක්ක කතා බහට එක් වන්නේ මෑත කාලයේ දී ඡායාරූපකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගෞරවයක් එක් කර දුන් පුද්ගලයෙක්. ඔහු තමයි ප්‍රියන්ත බණ්ඩාර. මොහු ඇමරිකානු එක්සත් ජනපදයේ Topteny Lifestyle web magazine එකේ ලෝකයේ හොඳ ම සංචාරක ඡායාරූප ශිල්පීන් දහ දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වෙලා ඉන්නවා.

  • ඔබ සංචාරක ඡායාරූපකරණයට යොමු වන්නේ කොයි කාලයේ ?
මට වයස අවුරුදු 12 දී විතර තමයි මං සංචාරක ඡායාරූපකරණයට යොමු වෙන්න පටන් ගන්නේ. ඒ කාලේ වෙනකොට යාළුවෝ එක්ක හැමතැනම ඇවිදින ගමන් ලංකාවේ එක එක තැන් නරඹන්න මං පුරුදු වෙලා හිටියා.
  • ඡායාරූප ශිල්පයට අමතරව ඔබව හඳුන්වන්න පුළුවන් කොයි විදිහට ?

පූර්ණකාලීන සේවා නියුක්තිකයෙක්, ස්වාමිපුරුෂයෙක් සහ පියෙක්
  • සංචාරක ඡායාරූපකරණ ක්ෂේත්‍රයටම යොමු වීමේ විශේෂ හේතුවක් තියනවාද?

මං කුඩා කාලයේ ඉඳලම ස්වාභාවික සුන්දරත්වයට, මිනිස්සුන්ට වගේම සුන්දර තැන් වලට ගොඩක් ආදරේ කළා. මං ජීවත් වුණු තැන්, ඇවිදපු තැන් වගේ ම ඇසුරු කරපු මිනිස්සුන්ගේ ස්වරූපය නිසා ම මාව සංචාරක ඡායාරූපකරණය පැත්තට යොමු වුණා කියලා කියන්න පුළුවන්.
  • මේ දවස්වල වැඩ කටයුතු මොනවාද?

මං සේවය කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් වන විදුලි සංදේශ සමාගමේ පූර්ණකාලීන සේවකයකු විදිහට. ඒ නිසා මගේ උපරිම අවධානය මං යොමු කරන්නේ රාජකාරියට. ඒ වගේ ම මගේ පවුලටයි. ඒත් මට පුළුවන්, ඉඩ ලැබෙන හැම වෙලාවකම මං කරන්නේ ළඟපාත හරි ඈත පළාත් වලට හරි ගිහිං ඡායාරූප ලබා ගන්න එක. මෑතකදී මං මගේ ම වෙබ් සයිට් එකක් ලෝන්ච් කළා. මේ වෙනකොට ඒකේ වැඩ කටයුතුත් සිදු කරනවා.
  • මෑතකදී ඔබ ලබපු ජයග්‍රහණය ගැන සඳහන් කළොත්?

ඇමරිකානු එක්සත් ජනපදයේ Topteny Lifestyle web magazine එකේ ලෝකයේ හොඳ ම සංචාරක ඡායාරූප ශිල්පීන් දහ දෙනාගේ නම් ඇතුළත් ලැයිස්තුවට මගේ නමත් ඇතුළත් වෙලා තියනවා. මේ විදිහට මාව හඳුන්වපු එක ගැන මට තියෙන්නේ නිරංකාර සතුටක්. ඒ මොකද කියනවනම් එක ම අවස්ථාවකදී මගේ හැකියාව ගැන විශ්වීය මට්ටමේ වේදිකාවක හඳුන්වාදීමත් එක්කම ශ්‍රී ලංකාවේ ස්වභාවික වටිනාකම ගැනත් හඳුන්වා දීමට ලැබුණු නිසා.
  • ඔබ සංචාරය කරමින් ඡායාරූප ලබා ගත් ස්ථාන අතරින් කැමතිම රටක් හරි ප්‍රදේශයක් තියනවාද? තියනවානම් එයට හේතු මොනවාද?

නකල්ස් කඳුවැටිය අයත් ප්‍රදේශයට මං වඩාත් කැමතියි. මොකද, ඒ පළාත අවටින් දැක ගන්න ලැබෙන බොහෝමයක් තැන් භූ දර්ශනය අතින් අදහගන්න බැරි තරම් අපූරු නිසා. 
  • ජීවිතේට වෙනසක් එකතු කරගන්න මොනවද කරන්න කැමති?
ගොඩක් දුර ප්‍රදේශ වල සංචාරය කරමින් විවිධ සංස්කෘති සහ ඒවාට අයිති දේවල් ඡායාරූපගත කරන්න පුළුවන් නම් මං ඒකට කැමතියි.
  • ඔබේ ප්‍රියතම ඡායාරූප ශිල්පියා කවුද?
ලෝකේ විශිෂ්ට ඡායාරූප ශිල්පීන් අතරින් මං කැමතියි ස්ටීව් මැක්කරිට Steve McCurry වගේ ම Sebastiao Salgado කියන දෙන්නටම. මේ අයගේ ඡායාරූපමය හැකියාව හරිම අපූරුයි. ඒ වගේම කැපවීම වගේ ම කලාවට තියන දැඩි බැඳීමයි මට හිතාගන්න බැරි. 
  • ඉදිරියේ දී සිදු වන අළුත් වැඩ කටයුතු සඳහන් කළොත්?
ඉදිරියේ දී ව්‍යාපාරික අංශයේ වැඩ කටුයුත්තු කිහිපයකට සහභාගී වීමට සූදානම් වෙනවා. ඒකෙන් පස්සේ තෝරාගත් විෂය යටතේ ඡායාරූප ව්‍යාපෘති කීපයක් කරන්නත් බලාපොරොත්තුවක් තියනවා. ඉදිරියේ දී සමාජ මාධ්‍ය හරහා ඔබටත් ඒ ගැන දැනගන්න ලැබේවි.
  • ඔබ හිතන්නේ ඡායාරූප ශිල්පියෙක් වෙන්න තියෙන්න ඕන මොන වගේ අවශ්‍යතා කියලද?

හැකියාවන් වැඩිදියුණු කරගැනීමට සහ නිරන්තරයෙන් self criticism (ස්වයං විවේචනය) කරගන්න කැපවීමක් තියෙන්න ඕන‍.
  •  ඡායාරූපකරණයට යොමු වන තරුණ තරුණියන්ට කියන්න තියෙන්නේ මොනවාද?
යම් කෙනෙක් ඡායාරූපකරණයට අළුතින් ම යොමු වෙනවානම් ඒ පුද්ගලයාට ඇති තරම් අනිත් අයව අනුකරණය කරන්න අවස්ථාව තියනවා. ඒත් ඔහුට වෙනස් කෙනෙක් වෙන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් ම ඔහු, ඔහුගේ ම ඡායාරූපකරණ විලාසයක් හොයා ගන්න ඕන. ඒ වගේම ඔහුට සිද්ද වෙනවා හැකියාවන් නිරන්තරයෙන් ඔපමට්ටම් කරගන්න. හැබැයි ඒ වෙනුවෙන් මොන උපකරණ යොදා ගන්නවාද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අවසානයේ දී අනිත් අය ඔහුව විනිශ්චය කරන්නේ ඔහුගේ ම ඡායාරූප වලින් නිසා.
Priyantha Bandara photography


Priyantha Bandara photography

Priyantha Bandara photography



 සංවාද සටහන -නලිනිකා ලක්ෂාණි


No comments:

Post a Comment

Thank You!