ළඟම ලිපිය

Sunday, October 16, 2016

          දේශගුණය වෙනස් වෙමින් පවතියි.

             හැකි පමණ ආහාර හා වගාවන් බහුල කරමු.

www.fao.org
අපි කවුරුත් කැමතියි නීරෝගීව හා සෞඛ‍්‍යය සම්පන්නව ජීවත් වීමට. ඒ විදිහට නීරෝගීව ජීවත් වෙන්න නම් සෞඛ‍්‍යයවත් ආහාර ගත යුතුයි. අවුරුද්දේ දින අතරට ආහාර දිනය එකතු වෙන්නේ 1945 වර්ෂයේ සිටයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ඔක්තෝබර් 16 සෑම වසරකම ලෝක ආහාර දිනය ලෙස සමරනු ලබයි. ගෝලීය වශයෙන් සාගින්නෙන් හා දරිද්‍රතාවයෙන් පෙලෙන අයවලුන් කෙරෙහි අවධානය යොමු කරවීමට මෙම දිනයේ දී අවධාරණය කරවයි. මෙවර තේමාව වන්නේ  “Climate is changing. Food and agriculture must too” යන්න යි. ‘දේශගුණය වෙනස් වෙමින් පවතියි. හැකි පමණ ආහාර හා වගාවන් බහුල කරමු.’ එහි අරුතයි. ලෝක ආහාර අවශ්‍යතාවය සපුරාලීම උදෙසා මුලිකවම කෘෂිකර්මාන්තය වැදගත් කොටසක් හිමි කර ගැනීම ඊට හේතු වන බැවින් බොහෝ වසර වල තේමාව කෘෂිකර්මාන්තය මුල් කර ගනිමින් නිර්මාණය වී ඇත. සමස්ත එක්සත් ජාතීන්ගේ රටවල් මෙම දිනය සමරයි. ඒ ගෝලීය සාගින්න හා දරිද්‍රතාවය පිළිබද විවිධ ගැටලු නිරීක්ෂණය කිරීමට හා ඒ සදහා විසඳුම් මතුකර ගැනීම උදෙසාය.
ලෝකයේ සාගින්නෙන් පෙලෙන ජනයා ජීවත් වන රටවල් අතරින් සුඩානයේ සිදුවූ සිදුවීමක් අමතක කළ නොහැක. කෙවින් කාටර් නම් දකුණු අප්‍රිකානු ඡායාරූප ශිල්පියා විසින් ලබා ගත් ඡායාරූපයක සටහන් වන්නේ 1993 මාර්තු මාසයේ දිනයක් ඔහු දකුණු සුඩානයේ සංචාරයක නිරත වීමකදී තම කැමරා කාචයේ සටහන් වන්නේ ගිජුලිහිනියකුගෙ හා මන්දපෝෂණයෙන් පෙලෙන කුඩා දරුවකුගෙ රුවකි. දැඩි නියඟයෙන් පීඩා විදින සුඩාන වැසියන්ට වියළි සලාක ලබා  ගැනීමට සැතපුම් ගණනාවක් පයින් ඇවිද යා යුතු විය. ඒලෙස ඇවිද යන දරුවකු ගිමන් නිවා ගැනීමට නතර වූ අවස්ථාවක ගිජුලිහිනියකු ඒ දරුවාව ගොදුරක් කර ගැනීමට මාන බලන අවස්ථාවකි. අන්ත දූගී බවෙන් මිරිකුන සුඩානයේ සැබෑ ස්වරූපය තම කැමරා කාචයේ සටහන් කර ගැනීම ඔහුගේ අරමුණ වුවත් පසුව ඒ දරුවාට සිදුවන දෙය පිළිබඳව අවධානය යොමු වීමේදී ඡායාරූප ශිල්පියාට සියදිවි නසා ගැවීමට තරම් කම්පනයක් ඇති විය.
සාගින්නෙන් පෙලෙන ජනයා මෙලෙස පීඩා විඳිත්දී ලෝකයේ තව පිරිසක් බඩ කට පිරෙන්නට  ආහාර ගනී. මෙය ආර්ථික සමාජීය සංස්කෘතික අසමානතාවයේ ස්වභාවයයි. ලෝක ආහාර දිනයේ අරමුණ ඒ පිළිබඳව අවධානය යොමු කිරිමයි. පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම අප කාගේත් අවශ්‍යතාවයකි. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකකි. දේශගුණය වෙනස් වෙමින් පවතී. ආහාර සහ කෘෂිකර්මාන්තයට මෙයින් බලපෑම්  ඇති වේ. එබැවින්  එය නිසි පරිදි පවත්වාගත යුතුයි. වස විස රහිතව වගා කිරීම, පරිසරය ආරක්‍ෂා කිරීම, වන සත්ත්වයින් ආරක්‍ෂා කිරීම ආදිය පවා ආහාර දිනයේදී අවධානයට ගත යුතුය. ගොවියන්, මත්ස්‍ය වෙළඳුන් ග්‍රාමීය පරිසරයේ ජීවත් වන්නන් පරිසරය සමඟ ඍජුවම අර්බුදයට ලක් වන අතර මෙයට අමතරව සිටින වෙළඳ සහ පාරිභෝගික පිරිස වක්‍රාකාරව අර්බුදයේ සිටී. ලෝක ජනගහනය ඉහළ යාමේ ප්‍රමාණයත් සමඟ කෘෂිකාර්මික සහ ආහාර තාක්ෂණික ක්‍රියාවලියත් සක්‍රීයව වර්ධනය විය යුතුය. ඒ යහපත් අන්දමිනි. ආහාර ගබඩාකරණය, ඇසුරුම්කරණය, ප්‍රවාහනය, වෙළඳපල ආදී සියල්ල මේ හා බැඳී තිබේ.  කෙසේ වුවත් ලෝකයේ සාගින්නෙන් පෙලෙන්නන් අවම කිරීම සියල්ලන්ගේ ම අරමුණ විය යුතුයි.
 නලිනිකා ලක්ෂාණි