ළඟම ලිපිය

Saturday, November 19, 2016

ලෝකයේ හොඳ ම සංචාරක ඡායාරූප ශිල්පීන් අතරට ප්‍රියන්ත බණ්ඩාර

අද අපිත් එක්ක කතා බහට එක් වන්නේ මෑත කාලයේ දී ඡායාරූපකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගෞරවයක් එක් කර දුන් පුද්ගලයෙක්. ඔහු තමයි ප්‍රියන්ත බණ්ඩාර. මොහු ඇමරිකානු එක්සත් ජනපදයේ Topteny Lifestyle web magazine එකේ ලෝකයේ හොඳ ම සංචාරක ඡායාරූප ශිල්පීන් දහ දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වෙලා ඉන්නවා.

  • ඔබ සංචාරක ඡායාරූපකරණයට යොමු වන්නේ කොයි කාලයේ ?
මට වයස අවුරුදු 12 දී විතර තමයි මං සංචාරක ඡායාරූපකරණයට යොමු වෙන්න පටන් ගන්නේ. ඒ කාලේ වෙනකොට යාළුවෝ එක්ක හැමතැනම ඇවිදින ගමන් ලංකාවේ එක එක තැන් නරඹන්න මං පුරුදු වෙලා හිටියා.
  • ඡායාරූප ශිල්පයට අමතරව ඔබව හඳුන්වන්න පුළුවන් කොයි විදිහට ?

පූර්ණකාලීන සේවා නියුක්තිකයෙක්, ස්වාමිපුරුෂයෙක් සහ පියෙක්
  • සංචාරක ඡායාරූපකරණ ක්ෂේත්‍රයටම යොමු වීමේ විශේෂ හේතුවක් තියනවාද?

මං කුඩා කාලයේ ඉඳලම ස්වාභාවික සුන්දරත්වයට, මිනිස්සුන්ට වගේම සුන්දර තැන් වලට ගොඩක් ආදරේ කළා. මං ජීවත් වුණු තැන්, ඇවිදපු තැන් වගේ ම ඇසුරු කරපු මිනිස්සුන්ගේ ස්වරූපය නිසා ම මාව සංචාරක ඡායාරූපකරණය පැත්තට යොමු වුණා කියලා කියන්න පුළුවන්.
  • මේ දවස්වල වැඩ කටයුතු මොනවාද?

මං සේවය කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් වන විදුලි සංදේශ සමාගමේ පූර්ණකාලීන සේවකයකු විදිහට. ඒ නිසා මගේ උපරිම අවධානය මං යොමු කරන්නේ රාජකාරියට. ඒ වගේ ම මගේ පවුලටයි. ඒත් මට පුළුවන්, ඉඩ ලැබෙන හැම වෙලාවකම මං කරන්නේ ළඟපාත හරි ඈත පළාත් වලට හරි ගිහිං ඡායාරූප ලබා ගන්න එක. මෑතකදී මං මගේ ම වෙබ් සයිට් එකක් ලෝන්ච් කළා. මේ වෙනකොට ඒකේ වැඩ කටයුතුත් සිදු කරනවා.
  • මෑතකදී ඔබ ලබපු ජයග්‍රහණය ගැන සඳහන් කළොත්?

ඇමරිකානු එක්සත් ජනපදයේ Topteny Lifestyle web magazine එකේ ලෝකයේ හොඳ ම සංචාරක ඡායාරූප ශිල්පීන් දහ දෙනාගේ නම් ඇතුළත් ලැයිස්තුවට මගේ නමත් ඇතුළත් වෙලා තියනවා. මේ විදිහට මාව හඳුන්වපු එක ගැන මට තියෙන්නේ නිරංකාර සතුටක්. ඒ මොකද කියනවනම් එක ම අවස්ථාවකදී මගේ හැකියාව ගැන විශ්වීය මට්ටමේ වේදිකාවක හඳුන්වාදීමත් එක්කම ශ්‍රී ලංකාවේ ස්වභාවික වටිනාකම ගැනත් හඳුන්වා දීමට ලැබුණු නිසා.
  • ඔබ සංචාරය කරමින් ඡායාරූප ලබා ගත් ස්ථාන අතරින් කැමතිම රටක් හරි ප්‍රදේශයක් තියනවාද? තියනවානම් එයට හේතු මොනවාද?

නකල්ස් කඳුවැටිය අයත් ප්‍රදේශයට මං වඩාත් කැමතියි. මොකද, ඒ පළාත අවටින් දැක ගන්න ලැබෙන බොහෝමයක් තැන් භූ දර්ශනය අතින් අදහගන්න බැරි තරම් අපූරු නිසා. 
  • ජීවිතේට වෙනසක් එකතු කරගන්න මොනවද කරන්න කැමති?
ගොඩක් දුර ප්‍රදේශ වල සංචාරය කරමින් විවිධ සංස්කෘති සහ ඒවාට අයිති දේවල් ඡායාරූපගත කරන්න පුළුවන් නම් මං ඒකට කැමතියි.
  • ඔබේ ප්‍රියතම ඡායාරූප ශිල්පියා කවුද?
ලෝකේ විශිෂ්ට ඡායාරූප ශිල්පීන් අතරින් මං කැමතියි ස්ටීව් මැක්කරිට Steve McCurry වගේ ම Sebastiao Salgado කියන දෙන්නටම. මේ අයගේ ඡායාරූපමය හැකියාව හරිම අපූරුයි. ඒ වගේම කැපවීම වගේ ම කලාවට තියන දැඩි බැඳීමයි මට හිතාගන්න බැරි. 
  • ඉදිරියේ දී සිදු වන අළුත් වැඩ කටයුතු සඳහන් කළොත්?
ඉදිරියේ දී ව්‍යාපාරික අංශයේ වැඩ කටුයුත්තු කිහිපයකට සහභාගී වීමට සූදානම් වෙනවා. ඒකෙන් පස්සේ තෝරාගත් විෂය යටතේ ඡායාරූප ව්‍යාපෘති කීපයක් කරන්නත් බලාපොරොත්තුවක් තියනවා. ඉදිරියේ දී සමාජ මාධ්‍ය හරහා ඔබටත් ඒ ගැන දැනගන්න ලැබේවි.
  • ඔබ හිතන්නේ ඡායාරූප ශිල්පියෙක් වෙන්න තියෙන්න ඕන මොන වගේ අවශ්‍යතා කියලද?

හැකියාවන් වැඩිදියුණු කරගැනීමට සහ නිරන්තරයෙන් self criticism (ස්වයං විවේචනය) කරගන්න කැපවීමක් තියෙන්න ඕන‍.
  •  ඡායාරූපකරණයට යොමු වන තරුණ තරුණියන්ට කියන්න තියෙන්නේ මොනවාද?
යම් කෙනෙක් ඡායාරූපකරණයට අළුතින් ම යොමු වෙනවානම් ඒ පුද්ගලයාට ඇති තරම් අනිත් අයව අනුකරණය කරන්න අවස්ථාව තියනවා. ඒත් ඔහුට වෙනස් කෙනෙක් වෙන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් ම ඔහු, ඔහුගේ ම ඡායාරූපකරණ විලාසයක් හොයා ගන්න ඕන. ඒ වගේම ඔහුට සිද්ද වෙනවා හැකියාවන් නිරන්තරයෙන් ඔපමට්ටම් කරගන්න. හැබැයි ඒ වෙනුවෙන් මොන උපකරණ යොදා ගන්නවාද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අවසානයේ දී අනිත් අය ඔහුව විනිශ්චය කරන්නේ ඔහුගේ ම ඡායාරූප වලින් නිසා.
Priyantha Bandara photography


Priyantha Bandara photography

Priyantha Bandara photography



 සංවාද සටහන -නලිනිකා ලක්ෂාණි


Saturday, November 12, 2016

පිහිනීමට උපන් හපන් යුස්රා මර්දිනී ....

bbc.co.uk
සරණාගතයින් සාමාන්‍ය මිනිසුන්ය'
-යුස්රා මර්දිනි-

දේශ සීමාවන් නොමැතිව තරඟ බිමට පැමිණි ඇය යුස්රා මර්දිනී (Yusra Mardini). මැය ගැන හැමෝම කතා කරන්න පටන් ගන්නේ 2016 රියෝ ඔලිම්පික් තරඟ බිමට ආ ගමනත් සමඟයි. ඒත් ඒ වන විටත් ඇය සිය ජීවිතය නම් දිනා අවසන්. මුහුදු රළ සමඟ තරඟ වදිමින් අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරා ගත් යුස්රා මර්දිනි සැබැවින් ම ආත්මාර්ථයෙන් හිස උදුම්මාගත් තාරුණ්‍යයට ආදර්ශයක් වූ චරිතයක්. ‍මේ කතාව යුස්රාගේ ජීවිතය ගැනයි.
කාලයක් පුරා සිරියානු යුධ ගැටුම් වලින් පීඩා විඳින සිය දහස් ගණනක් මිනිසුන් යුරෝපයට එන්න පටන් ගන්නවා. බෝම්බ ප්‍රහාරයකින් උන් හිටි තැන් අහිමි වූ යුස්රා සහ ඇගේ නැගණිය සාරා, 2015 අගෝස්තු මාසයේ දී සිරියාවේ ඩමස්කස් නුවර ඉඳලා තුර්කියට ඒමට තීරණය කරනවා.  එතැන් සිට මේ දෙදෙනා ඇතුළු තවත් පිරිසක් බෝට්ටුවකට නඟින්නේ මධ්‍යධරණී මුහුද හරහා ග්‍රීසියට යන අරමුණින්. ඒත් මඳ දුරක් විතරයි ඔවුන්ට යාමට හැකි වන්නේ. මුහුදු රළ මොවුන් සිටි බෝට්ටුව පෙරළා දමන්නේ කුරිරු ආකාරයට. පිහිනීමට උපන් හපන් යුස්රා සහ ඇගේ නැගණිය මෙතැන් සිට ගන්නේ අපූරු තීරණයක්. ඒ පෙරළුණු බෝට්ටුවේ සිටි තවත් පිහිනීමට හැකි කාන්තාවක් ද එකතු කර ගනිමින් බෝට්ටුව ඇදගෙන ග්‍රීසිය කරා පිහිනීමයි. තමන්ට විතරක් ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබිය දී ඔවුන් ගත් පරාර්ථකාමී තීරණයේ වටිනාකම නිසා සියළුම දෙනා ද රැගෙන ග්‍රීසියට යාමට හැකි වනවා.
1998 මාර්තු 05 වන දින උපත ලබන යුස්රා සිය පිහිනුම් කටයුතු අරඹන්නේ කුඩා කාලයේ පටන්ය. ග්‍රීසියට සංක්‍රමණය වී ජර්මනියට යන මැය නැවත සිය පිහිනුම් පුහුණුවීම් අරඹන්නේ 2020 දී ඔලිම්පික් තරඟාවලිය අරමුණු කර ගනිමින්. නමුත් 2016 දී ඇයට රියෝ ඔලිම්පික් තරඟයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙන්නේ විස්මය දනවන ආකාරයටයි.  ඒ සිය නිජබිම අතැර අවතැන් වූ සරණාගතයින් ලෙසින් වෙනත් රටවලට සංක්‍රමණය වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායමක් සෑදීමට ප්‍රථම වරට ඔලිම්පික් කමිටුව ගන්නා තීරණයත් සමඟයි. මේ තරඟකරුවන් දස දෙනා අතරට යුස්රා එක් වන්නේ මීටර් 100 නිදහස් ආර සහ මීටර් 200 සමණල ආර පිහිනුම් ඉසව් සඳහා ය.

රියෝ ඔලිම්පික් හි අවසන් තරඟයෙහි ජය ලැබීමට නොහැකි වුව ද ඔලිම්පික් ධජය යටතේ තරඟ වදිමින් ලෝකයට ම ආදර්ශයක් වූ මේ තරුණියගේ අරමුණ ලෝකයේ සතර දෙසින් අවතැන් වූවන් බවට පත් වන ජනයාට උදව් උපකාර කිරීමයි. ඇය වෙර දරමින් සිටියේ කවරදාක හෝ ඔලිම්පික් තරඟාවලියකට සහභාගී වීමටයි. නොසිතූ පරිදි යුස්රාට මේ අවස්ථාව උදා වූයේ ඇගේ පරාර්ථකාමීත්වයේ සහ වාසනා ගුණ මහිමයෙනි. ඇදි වත පමණක් රැගෙන ග්‍රීසියට පා තබන ඇය සැබැවින් ම අද වන විට ජීවිතය ජයගත් ශ්‍රේෂ්ඨ තරුණියක් වී හමාරයි. අද වන විට සිරියානුවෙක් ලෙසින් ජර්මනියේ ජීවත් වන ඇය පිහිනුම් සමාජයක සාමාජිකාවකි. මේ වන විටත් 2020 දී පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් තරඟය සඳහා ඇගේ පුහුණුවීම් කටයුතු සිදු වෙමින් පවතියි. 

Saturday, November 5, 2016

නොබෙල් සාම ත්‍යාගය දිනූ තිරිගු  මල

timestalks.com

එක පොතකින්, එක පෑනකින්, එක ශිෂ්‍යයකුගෙන් සහ එක් ගුරුවරයෙකුගෙන් ලෝකය වෙනස් කළ හැකිය
-මලාලා යුසෆ්සායි-

මලාලා යුසෆ්සායි දැනට නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ළාබාලතම තැනැත්තියයි. කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඬ නැගූ මලාලාට සහ ඉන්දියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයකු වූ කයිලාෂ් සත්‍යාර්තිට 2014 දී නොබෙල් සාම ත්‍යාගයේ සම ස්ථානය හිමි වුණා. එ ඇයට වයස අවුරුදු 17 දීයි. 1997 ජූලි 12 වන දින වයඹ දිග පාකිස්තානයේ ස්වොට් නිම්නයේ‍්, මින්ගෝරා නගරයේ තමයි මලාලා උපත ලබන්නේ. ඇගේ හැම දෙයකදීම මලාලාගේ පසුපස ඇති ශක්තිය සියා උද්දීන් වන ඇගේ පියායි.

මලාලා වෙනස් ම චරිතයක් වූ අතර ඇය තම හිස ආවරණය කළේ නෑ. ඇයට ඕනෑ වුණේ ඇගේ අනන්‍යතාවය ඔප්පු කරන්නයි. බොහෝමයක් දේවල් ගෑණු ළමයින්ට තහනම් වෙද්දී මලාලා ඒ දේවල් කරන්නට පටන් ගත්තා. ඇයගේ මේ ගති ලක්ෂණ හඳුනාගත් ඇගේ පියා ඇයව විශ්වාස කළා වගේ ම අනුමත කළා. 2009 දී පමණ කාලෙදී  ස්වොට් නිම්නයේ බලය පැතිරවූ තලේබාන් සංවිධානයේ සාමාජිකයින් පැවසුවේ ගෑණු ළමයින්ට ඉගෙන ගන්න තියන අවස්ථාව අහිමි කර ඔවුන් පාසල් නොයැවිය යුතු බවයි. තව ද තද වර්ණයේ ඇඳුම් නොඅඳින ලෙසට වගේ ම සාප්පු සවාරි නොයන ලෙසට, රූපවාහිනී නැරඹීම තහනම් කරන ලෙසින් තර්ජනය කළා.

ඇය කුඩා කාලයේ ඉඳන් ම ලබපු අමිහිරි යුදමය අත්දැකීම් එක්ක ඇයට තිබු‍ණේ අපූරු ආත්ම ශක්තියක්. බී බී සීයේ පාකිස්ථාන වාර්තාකරු අබ්දුල් හයිට මේ කාලය වන විට අවශ්‍ය වන්නේ මෙවැනි දුක්ඛිත තත්වයක් අතිවිඳි අයෙකු ලවා මේ සිදුවීම් ලොවට හෙළිදරව් කිරීමටයි. ඒ අනුව මලාලාගේ පියාට අබ්දුල් ගෙන එන ඇරයුමත් එක්ක මලාලා මේ කර්තව්‍යට යොමු වෙනවා. තලේබානුවන් නිසා ඒ ප්‍රදේශයේ වෙසෙන්නන් බියෙන් ජීවත් වන ආකාරය, පාසල් කදවුරු බවට පත් වූ ආකාරය ගැන, ඔවුන් බියෙන් පාසල් ගිය ආකාරය ගැන වගේ ම ඔවුන් වැගිරවූ  කදුලු මලාලා සිය අතින් අකුරු බවට පත් කරනවා. තිරිගු මල කියලා මලාලාව හඳුන්වන්නේ" ඒ අර්ථය ඇතිව ගුල්මකායි කියන නමින් මැය බී බී සීයේ උර්දු සේවය වෙනුවෙන් බ්ලොග් සටහන් ලියූ නිසායි. මලාලා බීබීසීයට ඒ නමින් ලිපි ලිවූවත් ඇයගේ සැබෑ නම සමඟ තොරතුරු හෙළි වීමත් සමඟ ඇයට තලේබානුවන්ගෙන් මරණ තර්ජන එල්ල වෙන්න ගත්තා. මේ තර්ජන වල ප්‍රතිපලයක් විදිහට තමයි 2012 ඔක්තෝම්බර් 09 වන දින පාසල අවසන් වී පාසල් ළමුන් රැගත් වාහනයකින් නිවසට යමින් සිටි මලාලාට තලේබානුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වීමයි. ඒ වන විට ඇය සිටියේ පහළොස් වියේය.

කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සහ නිදහස සම්බන්ධයෙන් ඇය සිදු කළේ අපූරු හඬ නැගීමක්. ඒ හේතුවෙන් දරුණු අන්දමට තුවාල ලැබූ මලාලාට ජාත්‍යන්තරයේ සහය ලැබුණු අතර  මේ වන විට ඇය ලෝකයේ ම ගෞරවයට පත් වෙලා. ක්‍රිස්ටිනා ලෑමුබ්ගේ සම කතෘත්වයෙන් යුතුව මම මලාලා (Im Malala: The girl who stood up for Education and was shot by Taliban) නමින් ඇයගේ ජීවිත කතාව පොතකින් ප්‍රකාශයට පත් කරනවා. 2013 ටයිම්ස් සඟරාවෙන් සහ යුරෝපා සංගමයෙන් පිරිනමන සම්මානයන්ගෙන් මලාලා සම්මානයට පත් වෙනවා. 2011 දී පාකිස්තානු රජය විසින් එරට ප්‍රථම වරට සාමය සඳහා වූ ජාතික තරුණ සම්මානයෙන් මලාලා  පිදුම් ලබනවා. ඇගේ ජයග්‍රහණ මේ විදිහට දක්වද්දී ඇය  නිසා ලෝකය ලැබූ ජයග්‍රහණයන් බොහෝමයක් ඇති බව අප අමතක නොකළ යුතුයි. මලාලා පදනම මඟින් උදවු උපකාර අවශ්‍ය ගැහැණු දරුවන්ට උපකාර ලබා දෙන අතර කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ලෝක සමුළු වලට සහභාගී වෙනවා. විවිධ විවේචන මධ්‍යයේ ඇයගේ ගමන යන මලාලා සැඟවී සිටි ස්ත්‍රී චරිත වලට අසාධාරණකම් හමුවේ නැගී සිටීමට උත්තේජනයක් වී හමාරයි.

නලිනිකා ලක්ෂාණි


Friday, November 4, 2016

අමරදේවයාණනි ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කරාවී සදාකල්....
lankamusicchannel.com

කලා ලොවට සදා ගෞරවනීය චරිතයක් වූ ඩබ්ලිව්.ඩී. පණ්ඩිත් අමරදේව නම් යුගයේ දැල්වුණු පහන් වැට නිවී ගොස් හමාරය‍. සංගීතය නැමති විශ්වීය භාෂාවට සුවහසක් දරු පරපුරට අත්පොත් තැබූ ඔහු උත්තර භාරතීය සංගීත කලාවෙන් සිංහල ගීත ක්ෂේත්‍රය පෝෂණය කළ හෙළයේ කලාකරුවාය. අමරදේව නම් ආරෝපිත නාමයෙන් හඳුන්වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනි. සැබෑ නාමය වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ය. 1927 වර්ෂයේ මොරටුවේ දී උපත ලද මොහු දරුවන් සය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ අතර සංගීතයට ආභාසය ලබන්නේ තම පියාගෙනි.

උත්තර භාරතීය සංගීතයට අමතරව අමරදේවයන් සිංහල ජන සංගීතය සහ භාරතීය ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ සඳහා මූලාශ්‍ර කරගන්නා ලදි.  ශ්‍රී ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය ආදිය විමසන මොහු සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට සමත් වූවේය. මොහොමඩ් ගවුස් මාස්ටර් අමරදේවයන් සම්බන්ධ කර ගන්නේ සිය සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන් වාදකයා ලෙසිනි. වාසනා ගුණය සහ ප්‍රතිභාව මිනිසෙකුට ජන්මයෙන් ම මිස සතතාභ්‍යාසයෙන් ලැබෙන්නේ නැත. අමරදේවයන් සතුව භාෂාව කෙරෙහි තිබූ සංවේදීතාවය හේතුවෙන් සංගීතමය භාෂාවේ ඇති සුන්දර ගති ලක්ෂණ හඳුනාගන්නට ඔහුට හැකි විය.  ඔහුගේ සංගීත කලාව ශබ්ද මාධූර්යයෙන් අර්ථ මාධූර්ය ජනිත කරවන්නේ ඒ නිසාය. මුල් යගයේ ගීත අතරින් පීනමුකෝ කළු ගඟේ”, වඳිමු සුගත ශාක්‍ය  සිංහ”, “සීගිරියේ සිතුවම් රමණී යන ගීත අමරදේවයන් අතින් විරචිත ගීත වේ. ඔහු සුනිල් ආරියරත්නයන්, මහගමසේකරයන්, ඩෝල්ටන් අල්විස් ශූරීන්, මඩවල එස් රත්නායකයන්, සුනිල් සරත් පෙරේරා ශූරීන් ආදීන් ඇතුළු ප්‍රවීණ ගීත රචකයින්ගේ ගී පද රචනාවන්ට තනු නිර්මාණය කරන්නේ පද ලාලිත්‍ය අතිශයින් ගීතයේ රසයට වැදගත් වන නිසාවෙනි.

ආදර හැඟුම්... ආදර හැඟුම්... ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි..... (පද රචනය-දයානන්ද ගුණවර්ධනයන්)

නුහුරු ආදර හැඟීමක් සිත්හි දරමින් දෙතැනකට වී ළං වෙන්න ප්‍රාර්ථනා කරන හිත් වලට දැනෙන හැඟීමක් ඒ ආකාරයෙන් ම මේ ගීතයේ ‍මූර්තිමත්ය.

මළහිරු බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගෙන මා යන්නම්...
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී 
ඔබගෙන් සමුගන්නම්.... (මහගමසේකර-අමරදේව සුසංයෝගයේ ප්‍රථම ගීය)

සැඟවී යන්නේ මළ හිරු බසිනා කාල හෝරාවකය. දරාගත නොහැක්කේ ද එයයි. ප්‍රේමයක් සොයන්නාට එය හමු වූ පසු වෙන්ව යාමට සිදු වේ. ඒ ලෝක ධර්මයයි. ඔබ ද අප හැර ගියේ  එලෙසමයි.  

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා... (පද-කුලරත්න ආරියවංශ, තනු- ආචාර්ය කේමදාසයන්)

සඳ සැඟවී සිටින්නේ වළා රොදකය. සීතලෙන් වෙලා ගත් මා ඇය දෙස බලා සිටී. ඇගේ දෑස් සඳ එළියට කාන්තිමත් වී ඇත. ඒ ඇස් හා මා කතා කරම්. සඳ සැඟවී හිඳ අපේ පෙම් කතා අසා සිටියි. මා වත කිති කවන්නේ සුළඟේ දඟ කරන ලිහී ගිය ඒ කෙහෙරැල්ය.

මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
නන්නාදුනනා ඔබගේ අත් අකුරින්
දුක් ගීයක් ගියනු මැනව...

මේ ලොව යම් කිසිවකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවී... (පද රචනය-මහගමසේකරයන්)

කාගේදෝ ආදරයක් බලාපොරොත්තු වෙමින් මුළු ජීවිත කාලය ම ගෙවා එහෙත් එය නොලැබී ගිය මිනිසෙකුගේ සිතුවිල්ලක් මෙහි ධ්වනිතය. කවරදාක හෝ හීන් හඬින් කියාවී..... ප්‍රේම කළ බව...

අමරදේවයාණනි ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කරාවී සදාකල්....


නලිනිකා ලක්ෂාණි

Thursday, October 27, 2016

දහස් ගණන් වැන්දඹුවෝ.......

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරයක් ලෙසින් සංජීව ගුණරත්නයන් දැනට සේවය කරයි. තරුණ නාට්‍යවේදියෙකු වශයෙන් හඳුනාගත හැකි මොහු විශ්වවිද්‍යාලයේ අවසාන වසර අධ්‍යාපනය ලබන විට දහස් ගණන් වැන්දඹුවෝ (පරිවර්තිත) නාට්‍ය අධ්‍යක්ෂණය කර ඇත්තේ නාට්‍ය හා රංග කලා අධ්‍යයන අංශයේ විෂයානුබද්ධ කණ්ඩායම් ප්‍රායෝගික පරීක්ෂණයක් වෙනුවෙනි. ඔහු සමඟ කළ කෙටි සංවාද සටහනක් මෙසේය.
ඡායාරූප : හේමන්ත අරුණසිරි

  •          මේ නාට්‍යයේ අන්තර්ගතය වන්නේ කුමන පසුබිමක් ?

දේශපාලන සන්දර්භයක් තුළින් බිහිවූ  මෙම නාට්‍යයේ  මුල් කෘතිය තමයි ඇමරිකානු නාට්‍ය රචක එරියල් ඩෝර්ෆ්මාන් විසින් රචිත Widows කෘතිය. 1970 දශකයේ දී චිලී දේශයේ සරුසාර කෙත්වතු වල ජීවත් වූ පාරම්පරික ගොවි ජනතාව ඇමරිකානු පාලකයන්ගේ අවශ්‍යතාවය මත සමූල ඝාතනය කර ගැනීමේ දේශපාලනික අර්බුදය මෙම නාට්‍යට පදනම වනවා. ඒකාධිපති හමුදා පාලක ඔගස්ටොපිනොවේ පාලන බලය අතට ගැනීමත් සමඟ එහි ප්‍රතිපලයක් ලෙස කොමියුනිස්ට්වාදීන්ව ඝාතනය කරනවා. පාලනයට හිතවත් ධනවාදීන්ගේ වුවමනාව මත ගොවියන් සතු ඉඩම් අත්පත් කර ගැනීමට ඉඩම් ප්‍රතිසංස්කරණ මුවාවෙන් වැඩපිළිවලක් ක්‍රියාත්මක වෙනවා. එයට එරෙහි වන ගොවි බගවේගය හමුදා බලය භාවිත කරලා මර්දනය කරනවා. එහිදී බොහෝ පිරිසක් මිය යන අතර තවත් බොහෝ පිරිසක් සිරගත කරනවා. ඇතැමුන් අතුරුදහන් වන අතර ඇතැමුන් අතුරුදහන් කරවනවා. මෙකී සියළු කාරණා සමඟ පශ්චාත් යුධ සමයක මිනිසා මුහුණ දෙන ඛේදනීය තත්වය තකමයි මේ නාට්‍යට පසුබිම් වෙලා තියෙන්නේ. 

  •        දහස් ගණන් වැන්දඹුවෝ නාට්‍යයේ ඉතිහාසය පිළිබඳ සඳහන් කළොත් ඔබට මොනවද කියන්න තියෙන්නේ?

2015 වසරේ දී ඒ කියන්නේ මගේ අවසන් වසර ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අපි කණ්ඩායමක් එකතු වෙලා මේ නාට්‍ය නිර්මාණය කළා. ඒ කාලේ ඒ හිටපු පිරිසෙන් කිහිප දෙනයි තාමත් නාට්‍යයේ ඉතිරි වෙලා ඉන්නේ. චරිත වලට අඩු අය වෙනුවට අලුත් පිරිසක් අරගෙනත් තියනවා. මේ නාට්‍ය හරහා සෑම දේශයකම තියෙන අධිකාරිත්වය මත පදනම් වුණු ලක්ෂණයන් සහ පාලකයන්ගේ පාලනයේ ලක්ෂණ ආදිය ඉස්මතු  වෙනවා.

  •        නාට්‍යයයේ මුල, මැද, අග කියන්නේ කුමක්ද යන්න මෙම නාට්‍ය ඇසුරෙන් කෙටියෙන් දැක්විය හැකිද?

මුල, මැද සහ අග කියලා කියන්නේ කතා වින්‍යාසයටයි. මේ නාට්‍යයේ ආරම්භයේ දී පිරිමින් නැති ගමක ජීවත් වන සොෆියා නම් කාන්තාවක් ඇතුළුව එදිනෙදා තමන්ගේ සාමාන්‍ය ජීවිතයට හුරු වී සිටින අනිත් ගැහැණුන්ගෙන් තමයි නාට්‍ය ආරම්භ වන්නේ. නාට්‍ය ආරම්භයේදී ගමට කුමක් සිදු වී තියෙනවාද කියන එක හොයාගන්න බෑ. නාට්‍ය විකාශනයේ දී තමයි පිරිමින් අහිමි කාන්තා පාර්ශවයේ ලක්ෂණ පේන්නේ. එහිදී අතීත සිදුවීම් හෙළිදරව් වීමත් එක්කම වර්තමාන සිදුවීම් ගෙන එනවා. නාට්‍ය අවසාන වන්නේ රජයේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වීම නිසා සොෆියා ඇතුළු සියළුම පිරිස ඝාතනය වීමෙන්.
ඡායාරූප : හේමන්ත අරුණසිරි
  •   නාට්‍ය සඳහා මුදල් ප්‍රතිපාදන හොයා ගන්නේ කුමන ක්‍රමයකින් ද?

කිව යුතු ම කාරණය නම් මූලික අදියරේදී විභාග අරමුණින් නාට්‍ය සකස් කරද්දි අපි අපේ කණ්ඩායමේ දොලොස් දෙනාම තමයි මුදල් හොයාගත්තේ. එතනදී අපි සාමාන්‍ය ආකාරයට සිසුන් මුදල් හොයන විදිහට ඒ කියන්නේ කැට ගිහිං, කෝච්චියේ සිංදු කියලා, ටිකටි විකුණලා තමයි මුදල් හොයාගත්තේ. හැබැයි දැන් නාට්‍යට සම්පූර්ණ වියදම මායි පෞද්ගලිකව දරන්නේ. එතකොට ඒක ටිකක් වෙහෙසකරයි. කලාවක් වෙනුවෙන් ඒක සතුටුදායක තත්වයක් නොවෙයි කියන එකයි මගේ හැඟීම. නමුත් අපේ අධ්‍යයන අංශයෙනුත්, ඇකඩමික් ප්ලේයර්ස් සංගමයෙනුත් ලැබෙන සහයෝගය නිසා දැනට නාට්‍ය කරගෙන යනවා.

  •        දේශීය නාට්‍ය කලාවක් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට තරුණ නාට්‍ය ශිලිපියෙක් විදිහට ලබා දිය හැකි දායකත්වය කුමක්ද?

අපි ශාස්ත්‍රාලීය පසුබිමකින් නාට්‍ය හදාරලා එයින් ක්ෂේත්‍රයට ආපු පිරිසක්. කළ යුත්තේ ලංකාවේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන දේ බලලා නාට්‍ය හදන එක නොවෙයි. හොඳ පේක්ෂකාගාරයක් නිර්මාණය කිරීම සඳහායි නාට්‍ය කරන්න ඕන. උදාහරණයක් විදිහට වර්තමානය වන විට හාස්‍ය කියලා නාට්‍ය රැල්ලක් ඇවිත් තියනවා. හාස්‍ය කිව්වම සිනහව විතරක් නෙවෙයි නාට්‍යයක තියෙන්න ඕන. නාට්‍ය ශාලාවෙන් එළියට ගියාම අර හිනාව ඇතුළෙන් හිතන්න යමක් ඉතුරු කරන්නයි අවශ්‍යය. කොමඩි කියන්නේ සමාජ දේශපාලන ආර්ථික ප්‍රශ්න හා තත්වයන් ගැන වගේ ම ජීවිතය ගැන ගැඹුරින් කතා කරන නාට්‍යය. හැම අවස්ථාවකදීම නිර්මාණකරුවා කරන්නේ සමාජ ප්‍රගමනය වෙනුවෙන් යමක් දායක කරන එක. අපේ හැදෑරීම ඇතුලෙන් අපට කරන්න පුළුවන් දේත් ඒකමයි.


සටහන තබන්නේ නලිනිකා ලක්ෂාණි 

Sunday, October 16, 2016

          දේශගුණය වෙනස් වෙමින් පවතියි.

             හැකි පමණ ආහාර හා වගාවන් බහුල කරමු.

www.fao.org
අපි කවුරුත් කැමතියි නීරෝගීව හා සෞඛ‍්‍යය සම්පන්නව ජීවත් වීමට. ඒ විදිහට නීරෝගීව ජීවත් වෙන්න නම් සෞඛ‍්‍යයවත් ආහාර ගත යුතුයි. අවුරුද්දේ දින අතරට ආහාර දිනය එකතු වෙන්නේ 1945 වර්ෂයේ සිටයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ඔක්තෝබර් 16 සෑම වසරකම ලෝක ආහාර දිනය ලෙස සමරනු ලබයි. ගෝලීය වශයෙන් සාගින්නෙන් හා දරිද්‍රතාවයෙන් පෙලෙන අයවලුන් කෙරෙහි අවධානය යොමු කරවීමට මෙම දිනයේ දී අවධාරණය කරවයි. මෙවර තේමාව වන්නේ  “Climate is changing. Food and agriculture must too” යන්න යි. ‘දේශගුණය වෙනස් වෙමින් පවතියි. හැකි පමණ ආහාර හා වගාවන් බහුල කරමු.’ එහි අරුතයි. ලෝක ආහාර අවශ්‍යතාවය සපුරාලීම උදෙසා මුලිකවම කෘෂිකර්මාන්තය වැදගත් කොටසක් හිමි කර ගැනීම ඊට හේතු වන බැවින් බොහෝ වසර වල තේමාව කෘෂිකර්මාන්තය මුල් කර ගනිමින් නිර්මාණය වී ඇත. සමස්ත එක්සත් ජාතීන්ගේ රටවල් මෙම දිනය සමරයි. ඒ ගෝලීය සාගින්න හා දරිද්‍රතාවය පිළිබද විවිධ ගැටලු නිරීක්ෂණය කිරීමට හා ඒ සදහා විසඳුම් මතුකර ගැනීම උදෙසාය.
ලෝකයේ සාගින්නෙන් පෙලෙන ජනයා ජීවත් වන රටවල් අතරින් සුඩානයේ සිදුවූ සිදුවීමක් අමතක කළ නොහැක. කෙවින් කාටර් නම් දකුණු අප්‍රිකානු ඡායාරූප ශිල්පියා විසින් ලබා ගත් ඡායාරූපයක සටහන් වන්නේ 1993 මාර්තු මාසයේ දිනයක් ඔහු දකුණු සුඩානයේ සංචාරයක නිරත වීමකදී තම කැමරා කාචයේ සටහන් වන්නේ ගිජුලිහිනියකුගෙ හා මන්දපෝෂණයෙන් පෙලෙන කුඩා දරුවකුගෙ රුවකි. දැඩි නියඟයෙන් පීඩා විදින සුඩාන වැසියන්ට වියළි සලාක ලබා  ගැනීමට සැතපුම් ගණනාවක් පයින් ඇවිද යා යුතු විය. ඒලෙස ඇවිද යන දරුවකු ගිමන් නිවා ගැනීමට නතර වූ අවස්ථාවක ගිජුලිහිනියකු ඒ දරුවාව ගොදුරක් කර ගැනීමට මාන බලන අවස්ථාවකි. අන්ත දූගී බවෙන් මිරිකුන සුඩානයේ සැබෑ ස්වරූපය තම කැමරා කාචයේ සටහන් කර ගැනීම ඔහුගේ අරමුණ වුවත් පසුව ඒ දරුවාට සිදුවන දෙය පිළිබඳව අවධානය යොමු වීමේදී ඡායාරූප ශිල්පියාට සියදිවි නසා ගැවීමට තරම් කම්පනයක් ඇති විය.
සාගින්නෙන් පෙලෙන ජනයා මෙලෙස පීඩා විඳිත්දී ලෝකයේ තව පිරිසක් බඩ කට පිරෙන්නට  ආහාර ගනී. මෙය ආර්ථික සමාජීය සංස්කෘතික අසමානතාවයේ ස්වභාවයයි. ලෝක ආහාර දිනයේ අරමුණ ඒ පිළිබඳව අවධානය යොමු කිරිමයි. පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම අප කාගේත් අවශ්‍යතාවයකි. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකකි. දේශගුණය වෙනස් වෙමින් පවතී. ආහාර සහ කෘෂිකර්මාන්තයට මෙයින් බලපෑම්  ඇති වේ. එබැවින්  එය නිසි පරිදි පවත්වාගත යුතුයි. වස විස රහිතව වගා කිරීම, පරිසරය ආරක්‍ෂා කිරීම, වන සත්ත්වයින් ආරක්‍ෂා කිරීම ආදිය පවා ආහාර දිනයේදී අවධානයට ගත යුතුය. ගොවියන්, මත්ස්‍ය වෙළඳුන් ග්‍රාමීය පරිසරයේ ජීවත් වන්නන් පරිසරය සමඟ ඍජුවම අර්බුදයට ලක් වන අතර මෙයට අමතරව සිටින වෙළඳ සහ පාරිභෝගික පිරිස වක්‍රාකාරව අර්බුදයේ සිටී. ලෝක ජනගහනය ඉහළ යාමේ ප්‍රමාණයත් සමඟ කෘෂිකාර්මික සහ ආහාර තාක්ෂණික ක්‍රියාවලියත් සක්‍රීයව වර්ධනය විය යුතුය. ඒ යහපත් අන්දමිනි. ආහාර ගබඩාකරණය, ඇසුරුම්කරණය, ප්‍රවාහනය, වෙළඳපල ආදී සියල්ල මේ හා බැඳී තිබේ.  කෙසේ වුවත් ලෝකයේ සාගින්නෙන් පෙලෙන්නන් අවම කිරීම සියල්ලන්ගේ ම අරමුණ විය යුතුයි.
 නලිනිකා ලක්ෂාණි

Thursday, October 13, 2016




මං කොළඹ යනෙනු දැක...

කොළඹ අහසට නුවර අහසත් 
එකතු වෙනකොට
උඹ ඇහුවා මතකයි 
"මං දීපු මතකය ඒ විදිහටම 
ආයෙත් අරගෙන එන්න පුලුවන්ද .."
නුවර වැව් රල පෙලට
වලාකුලු බැම්මකට 
මතක ඇති අපේ අත් 
පටලැවුණු අතීතය...
නුඹ නැති ළගපාතක
මං විතරක් අද 
මතක රිදුම් හිමින් 
අවුස්සන අයුරු දැක
කැලණි ගඟ අඬනවා 
මං කොළඹ යනෙනු දැක...


නලී..

Monday, August 29, 2016

උඩරට නර්තනයේ වෙස් ඇඳුම් කට්ටලයෙන් නිරූපිත අන්තර් සංස්කෘතික සන්නිවේදනය
අන්තර්ජාලයෙනි

අන්තර් සංස්කෘතිය ගෝලීය වශයෙන් ඉතාමත් වැදගත් විෂයක් වන අතර අන්තර් සංස්කෘතික සන්නිවේදනය යනු සංස්කෘතික අධ්‍යයනයේ මුහුණුවරයි. එකිනෙකට වෙනස් සංස්කෘතීන් තුළ වෙසෙන ජනතාව එකිනෙකට සන්නිවේදනය කරගන්නේ කෙසේද යන්න අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී අධ්‍යයනය යුතු ය. එක් සංස්කෘතියක් තුළ ප‍්‍රබල නව සංස්කෘතිකාංගයන් ජනිත වීමට අන්තර් සංස්කෘතිය බලපාන්නේ කෙසේද යන්න විමසිය යුත්තේ අදාළ නව සංස්කෘතිකාංගයේ මුල් ලක්ෂණ විමර්ශනය කිරීමෙනි.

නැටුම හෙවත් නර්තනය ප‍්‍රසාංගික කලාවක් ලෙස හැඳින්වේ. නැටුම යන්න සන්නිවෙදන මාධ්‍යයකි. නැට්ටුවා සහ පේ‍්‍රක්ෂකයා අතර පවතින්නේ අනුල්ලංඝණීය බැඳීමක් මෙන් ම අන්‍යෝන්‍ය සන්නිවේදනයක් සිදුවේ. කන්ද උඩරට නර්තන කලාව ලාංකීය අනන්‍යතාවය තහවුරු කරන ලක්ෂණ රැසකින් සමන්විත ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයකි. වෙස් නැට්ටුවන් හට දලදා පෙරහැරෙහි කංකාරී දෙවොල් සීමාවෙන් පිටතදී නැටුම් ඉදිරිපත් කරීමට අවස්ථාව ලැබුණේ 19 වන සියවස අග භාගයේ සිටය. විචිත‍්‍ර වෙස් ඇඳුමෙන් සැරසුණු වෙස් නර්තන ශිල්පියා උඩරට නර්තනයේ ප‍්‍රතිමූර්තියක් බඳුය. වෙස් නර්තන ශිල්පියා යොදා ගන්නා වෙස් ඇඳුම් කට්ටලය ද අප රටට ම ආවේණික සංස්කෘතියක් විදහා පාන්නේ විවිධ සන්නිවේදනාර්ථ සහ සංඥාර්ථ තුළිනි. අනාදිමත් කාලයක පටන් වෙස් ඇඳුම් කට්ටලයට හිමි වන්නේ පූජනීය ස්ථානයකි. නර්තන ශිල්පීන් ඉතාමත් ගෞරවයෙන් මෙම වෙස් ඇඳුම් කට්ටලය භාවිත කරයි. නැට්ටුවා වෙස් ඇඳුම, කාලය, අවකාශය භාවිත කරමින් විවිධ අර්ථ ප‍්‍රකාශ කරයි. වෙස් ඇඳුම පැළඳගෙන සිටින්නෙකු වෙස් නැට්ටුවෙකු ලෙස නිර්වචනය කර ගැනෙන්නේ සංස්කෘතිකමය පදනමකිනි.


ලිපියේ අරමුණ වන්නේ සංස්කෘතිකාංගයක් වශයෙන් හඳුනාගන්නා උඩරට වෙස් ඇඳුම් කට්ටලයෙන් නිරූපිත අන්තර් සංස්කෘතික සන්නිවේදනාත්මක ලක්ෂණ විමර්ශනය කිරීමයි. වෙස් ඇඳුම් කට්ටලය නිර්මාණය වීමේ පුරාණෝක්ති, මතවාද, සාක්ෂ්‍ය ආදිය ගවේෂණය කිරීමෙන් මේ පිළිබඳ අධ්‍යයනය කෙරේ. වෙස් ඇඳුමට කාලයත් සමඟ මුල් කාලීනව මෙන් ම පසු කාලීනව එක් වූ අංගයන් පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් කෙරේ.  සංස්කෘතිකාංගයක් ලෙසින් බිහි වී විවිධ සන්නිවේදනාර්ථ නිරූපණය කරන්නා වූ උඩරට වෙස් ඇඳුම් කට්ටලය අන්තර් සංස්කෘතීන් වල සම්මිශ‍්‍රනයක් ද යන්න මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටළුවයි. සියල්ල විමර්ශනය කිරීම සඳහා වෙස් ඇඳුම් කට්ටලයේ ඉතිහාසය මෙන් ම පුරාණෝක්ති පිළිබඳ අවධානය යොමු කෙරේ.

සංස්කෘතිකාංගයක් වශයෙන් හඳුනාගන්නා උඩරට වෙස් ඇඳුම් කට්ටලයෙන් නිරූපිත අන්තර් සංස්කෘතික සන්නිවේදනාත්මක ලක්ෂණ විමර්ශනය කිරීම සහ වෙස් ඇඳුම් කට්ටලය අන්තර් සංස්කෘතින් වල  සම්මිශ‍්‍රනයක් බව හඳුනා ගැනීම.
වෙස් ඇඳුම් කට්ටලය පිළිබඳ නර්තනය හා සම්බන්ධ සාහිත්‍යයේ සහ ප‍්‍රායෝගිකව පවතින අර්ථය

රාජ ආභරණ කට්ටලයක් සංකේතවත් කරන්නක් බව


මෙහිදී සිංහල සංස්කෘතිය තුළ හා සිංහල නර්තන කලාව තුළ වෙස් ඇඳුම් කට්ටලයට ලැබී ඇති අර්ථය පිළිබඳ ව සාකච්ඡුා කෙරේ. යක්දෙස්සන්ගේ විශ්වාසයන් ට අනුව වෙස් ඇඳුම යනු මුලින් මලය රජු භාවිත කොට පසුව කොහාඹා දෙවියන් ඇඳි ඇඳුම් කට්ටලය බවට හඳුනා ගනී. යක්දෙස්සන්ට වෙන වෙනම ඇඳුම් කට්ටල ඇතත් ඒවායින් සංකේතවත් වන්නේ මලය රජුගෙන් ලැබුණු ඒ දිව්‍යමය ඇඳුම් කට්ටලයයි.

කොහොඹා කංකාරී ශෘන්තිකර්මයේදී යක්දෙස්සා, මලය රජතුමා නියෝජනය කරයි (දිසානායක, පි.49). පොදුවේ සලකා බලන විට මෙයින් අර්ථවත් වන්නේ මෙය මලය රජුන්ගේ ඇඳුම් කට්ටලයයියන්නයි. මෙම ඇඳුම් කට්ටලයට ඇති ව්‍යූහගත අර්ථයට අනුව එය ආභරණ හැට හතරකින් සමන්විතය. සිව් සැට කලා, සිව් සැට මායම් ආදිය සිහි කළ ඉතිහාසඥයන් මෙම සංඛ්‍යාව ම අනුව යමින් ආභරණ ද හැට හතරක් (සිව්සැට) ලෙස අර්ථ දක්වා ඇති බවයි (ආරියපාල, පි 49. කොහොඹා කංකාරියේ මහායාතිකාව නම් කවි ගායනා වල දී සිව් සැට ආභරණ දැක්වේ.)

......තෙවලූ නව නරු තබා දිව පිළි අන්දවමින්, ඉඳු මිණි රන් ඔටුන්න, රන් පිට ජටාව, යගප් ජටාව, රටාරැළ, පාඉම් පොත, සිඛා බන්ධනේ, නිත්ති මාල, නළල් සැද, කෙවුරාභරණ, කර්ණාවතංස, කර්ණ සූත‍්‍ර, තෝඹු පත‍්‍ර, කර්ණ කුණ්ඩල ආභරණ, ඒක වැල ගෙල, මුතුමාල, මිණි මුතු මාල, රන් මුතු මාල, රන් පෙති මාල, ලිය රන් මාල, වට රන් මාල, රුවන් මාල, රන් මිණි මාල, තුන් කොන් මාල, සිව් කොන් මාල, රන් දම්, මුතු දම්, සසත් දම්, රිදී දම්, මිණි දම්, රන් වැල, මුතු හැර, අවුල් හැර, පස් පෙරහැර, පස් රූ, රන් සවඩි, නිල් මිණි සවඩි, දෙව් රන් මල, හස්ත මෙත්ත බාහු, දණ්ඩි, කටක, මිණි බණ්ඩි, පත‍්‍ර වළලූ, රන් ගිරි වළලූ, හස්ත මුද්‍රික, හස්තාංගුලි, ඉණ සැද, ඉණ සැදුම, උදර බන්ධන, මකරපට, උරජාල, පාදජංඝා වළලූ, පාසළඹ, නූපුරු පාද සංඛ ජාල, පාද ජාල, කිංකිණි ජාල, පාද මුදු, පාදාංගුලි යනාදී සිවුසැට ආභරණයෙන් සැරසී....”(ගුණවර්ධන, 50).

මෙය වෙස් ඇඳුම පිළිබඳව නර්තනය හා සම්බන්ධ සාහිත්‍යයේ ව්‍යූහගත ව පවතින අර්ථයයි. සිංහල සමාජය තුළ මුල් බැස ඇති රාජාභරණ හැට හතරක් පිළිබඳ අදහස වෙස් ඇඳුම හා සම්බන්ධ ආභරණ හැට හතරක් පිළිබඳ ව්‍යවහරයක් ඇති වීමට හේතු වන්නට ඇත. රජකුටආභරණ කට්ටල් දෙකක් තිබී ඇත.

1. රාජ කකුධ භාණ්ඩ
2. පෞද්ගලික ආභරණ

මෙයින් පෞද්ගලික ආභරණ කට්ටලයේ ආභරණ ගණනින් හැට හතරකි.

අංගදාභරණය, අවුල්හර, බාහු දණ්ඩි, ඒකා වැල, ගලමුතු මාල, ගෙල මුතු මාල, ගිගිරි වළලූ, හස්ත මුද්‍රිකා, හස්තාංගුලි, හිනසැද, ජංඝා වළලු, කාදුකාප්පු, කර්ණාවතංසය, කර්ණකුණ්ඩලාභරණ, කට්ටොඩම්, කයිපොට්ටු, කෙයුරාභරණ, කිංකිණික ජාල, මකරපට, මණිකයි වඩම්, මණි වළලූ, මුතු දම්, මුතු පට, නාග වඩම්, නාග පට, ඔටුණු පාදාභරණ, පාද ජාල, පාදාංගුලි, පාදසිරි, පා සලඹ, පාද සංඛලා, පස් පෙරහර, පස්රූ, පත‍්‍ර වළලූ, රන්දම්, රන් පට, රන් සවඩි, රිදී දම්, රුවන් වැල, සද්දම්, තාඩංක, තිසර පට, උදර බන්ධන, ඌරු ජාල, දර්ශන මාල, ශ‍්‍රීවාලංකාර, ජංගා පත‍්‍ර, කර්ණ සූත‍්‍ර, මෙවුල් දමු, මිණි බන්ධි, මුත්හර, මුතු සවඩි, නිල් මිණි සවඩි, පබළු දම්, පදක්කම්, රජත සවඩි, රන් මිණි සවඩි, රන්පෙති මාල, සිත්තුදම්, ෂත් රුවන් වැල, සිව්කොත් මාල, තුන් කොත් මාල (ආරියරත්න, 49-58).

මෙම ඇඳුම් කට්ටල දෙකෙහි බොහෝ සමානකම් හඳුනාගත හැකිය. මේ අනුව බලන කල වෙස් ඇඳුම් කට්ටලයෙන් මලය රජු කෙසේ වෙතත් අවම වශයෙන් රජ කෙනෙකුවත් සංකේතවත් කිරීමට යක්දෙස්සන් විසින් උත්සහ කොට ඇති බව දක්නට ලැබේ. මලය යනු රජකු බැවින් රජකුගේ ආභරණ කට්ටලයේ ආභරණ 64 ක් තිබිය යුතු යැයි යක්දෙස්සන් උපකල්පනය කරන්නට ඇත. මෙම උපකල්පනය මත පිහිටා කොහොඹා කංකාරියේ කවි ගායනා ආදී සාහිත්‍ය නිර්මාණය සිදු වන අවධියේ තත්කාලීන සමාජයේ පැවති ජනසම්මත රාජ ආභරණ 64 ඔවුන් තම කවි ගායනා වලට එකතු කර ගන්නට ඇත.

වෙස් ඇඳුමේ ව්‍යුහගත අර්ථය එසේ වුව ද ප‍්‍රායෝගික අර්ථය එසේ නොවේ. එහි ආභරණ 64 ක් ඇතැයි සඳහන් වුව ද වර්තමාන වෙස් ඇඳුම් කට්ටලයේ දක්නට ඇත්තේ ඇඳුම් ආභරණ කොටස් විස්සක් පමණය. ඒවා මෙසේය. ජටාව, ජටාවැල (ඒකාවැල, ජටාපටිය), පායිම් පත, ශිඛා බන්ධනය (වෙස් තට්ටුව), නෙත්තිමාලය, තෝඩුපත්, කරමාලය (කරපටිය), අවුල්හැරය, දෙඋරබාහු, බන්දි වළලූ, කෛමෙත්ත, හස්තකඩ, ඉණ පටිය, ඉණ හැදය, දෙවල්ල (නරු), හඟල, රෙද්ද, පොත් පොට, උල්උඩය, මේස් කලිසම, සිලම්බු (දිසානායක, 50).
කොහොඹා කංකාරී සාහිත්‍යයෙන් කියවෙන ආභරණ හැට හතර ම වෙස් නැට්ටුවන් අතීතයේදී වත් පැළඳූ බවක් නොපෙනේ. සංඛ්‍යාත්මක අගය මුලින් තිබුණු ගණනේ සිට විස්ස දක්වා අඩු වූ බවට තර්ක කළ හැකිය. එබදු තර්ක දෙයාකාර විය හැකිය.

  •  සාහිත්‍යයේ හා ජනප‍්‍රවාදවෙය් කියවෙන පරිදි පරිත්‍යාග කර ගොස් ඇත්තේ ඔහුගේ ඇඳුම් කට්ටලයෙන් අර්ධයක් පමණක් වන හෙයින් වෙස් ඇඳුම් කට්ටලයේ ඇඳුම් හා ආභරණ ගණන 64 නොව 32 ක් විය යුතුයි.
  • මුලින් තිබූ ආභරණ ගණන කුමක් වුවත් කාලයාගේ ඇවෑමෙන් ඇතැම් ආභරණ භාවිතයෙන් ගිලිහී ගොස් වර්තමානයේ පවතින ගණන දක්වා අඩු වන්නට ඇත.

මෙම තර්ක දෙකම එක් කොට මලය රජු සිය හැට හතරක් වූ ඇඳුම් හා ආභරණ අතරින් 32ක් පරිත්‍යාග කරන්නට ඇතත් එයින් අද වන විට භාවිතයේ ඇත්තේ 20ක් පමණක් යැයි උපකල්පනයක් ඉදිරිපත් කළ හැකිය. කෙසේ වෙතත් වෙස් ඇඳුම් කට්ටලයේ අද පවතින ඇඳුම් ආභරණ විස්ස රාජාභරණ හැට හතරෙන් විස්සක් යැයි සිතීමට තරම් ප‍්‍රමාණවත් සාධක නොමැත. මලය රජුගේ ඇඳුම ආශ‍්‍රයෙන් වෙස් ඇඳුම නිර්මාණය වී ඇති බව ජනප‍්‍රවාදයෙහි සඳහන් වන අතර මෙම ඇඳුමට සූසැට ආභරණ ද ඇතුළත් වූවත් එසේ සූසැට ආභරණ පැළඳීම වස් වැදීමකට හේතුවේ යැයි සිතා උඩරට නර්තනයේ දී අඳිනු ලබන්නේ ඉන් සමහරක් යන්න ද තවත් මතයකි .වෙස් ඇඳුම් කට්ටලයේ සහ සිව් සැටක් රාජාභරණ අතර යම් සමානතා ද ඇති බැවින් මෙය තව දුරටත් අධ්‍යයනය කළ යුතු ගැටළුවක් බව පැහැදිලිය.

වෙස් ඇඳුම් කට්ටලයෙන් දේව ආභරණ කට්ටලයක් සංකේතවත් වන බව බව

කොහොඹා කංකාරියේදී වෙස් ඇඳුම් කට්ටලය කොහොඹා දෙවියන්ගේ ඇඳුම් කට්ටලය ලෙසින්   සලකනු ලබන අතර වලියක් මංගල්‍යය ශාන්තිකර්මයේදී එය වලියකුන්ගේ ඇඳුම ලෙසින් ද පිළි ගැනේ (දිසානායක,50). මෙහි දේව බලයක් ගැබ් වී ඇතැයි බොහෝ යක්දෙස්සන් සහ සිංහල බෞද්ධ ජනතාව විශ්වාස කරයි. අසනීපයක් හෝ කරදරයක් සිදු වූ කල වෙස් ඇඳුමක් ඇති තැනකට ගොස් දෙවියන් සිහි කොට පඩුරු බැදීම ඇතැමුන්ගේ සිරිතකි (සේදරමන්, 168). මෙනයින් බලන කල පැහැදිලි වන්නේ වෙස් ඇඳුම අන්තර් සංස්කෘතික සංකේතාත්මක ඇඳුමක් (Inter cultural Symbolic dress) බවයි.  සංකේතාත්මක ඇඳුම් භාවිතයක් බාලි රටේ නැටුම් වල ද පවතින බව අන්තොනින් අර්තො (Antonin Artaud) දක්වා ඇත.
වෙස් ඇඳුම් බහාලන පෙට්ටිය අවශ්‍යතාවයකට මිස වෙනත් කිසිඳු අවස්ථාවකට පාවිච්චි නොකරයි. එය ඉතා ගරු සැලකිල්ලක් ඇතිව දෑත් ඔසවා වැඳ අතට ගන්නා අතර කිසියම් උඩකින් තබා වැඳ නමස්කාර කරයි. වෙස් ආභරණ නිවසින් පිටත සෑදූ දේවාලයක තැන්පත් කර ඇත. අවශ්‍ය මොහොතක එම දේවාලය තුළදී ම අඳිනු ලබන අතර අවසානයේ එම දේවාලය තුළ දී ම ගලවා තැන්පත් කරයි. මෙයතු පාරම්පරික ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය.  ඕනෑම නැට්ටුවෙකුගේ නිවසක ම මෙම දේවාලයක් ඇති අතර විශේෂ පුද පූජා ක‍්‍රම මගින් මෙම දේවාලය නමස්කාර කරයි. වර්තමානයේ මෙම ක‍්‍රමය වෙනස් වී ඇති වුව ද වෙස් ඇඳුම් සහිත පෙට්ටියට කරනු ලබන ගරු සැලකිල්ලෙහි නම්, අඩුවක් දක්නට නොලැබේ.

වෙස් බැඳි නැටුම් ශිල්පියෙකුට ආවේණික වූ පරිපූර්ණ ඇඳුම බොහෝ අලංකාරයෙන් යුක්තය. එය වෙස් ඇඳුම් කට්ටලය ලෙස හඳුන්වන අතර විවිධ සැරසිළිවලින් අලංකාර කරන ලද මෙම ඇඳුම, නැටුම් ශිල්පියාගේ හිසේ සිට දෙපතුළ දක්වා සරසන විවිධ අංගයන්ගෙන් යුක්තය.

ජටාව,
ජටා පටිය,
පායිම්පත,
සිඛාබන්ධනය,
දෙව්ර මාල,
නෙත්ති මාලය,
තෝඩුපත්,
කරපටිය,
අවුල්හැරය,
බණ්ඩි වළළු,
කයිමෙත්ත,
ඉන හැඩය,
බුබුළු පටිය,
දෙවල්ල,
නරු,
පොත්පොට,
හඟල,
උල්ලූඩය,
නිසංසඟල හා
සිලම්බු
යන අංගයන්ගෙන් වෙස් ඇඳුම සමන්විත වේ. මුල්කාලීන වෙස් ඇඳුම හා සැසඳීමේ දී වර්තමානයේ මෙම ඇඳුමේ ඇතැම් අංග වෙනස් වී ඇති ආකාරයක් හඳුනාගත හැකිය. මුල් කාලීන වෙස් ඇඳුමේ ඉනට බඳින පටිය හෙවත් පොත්පොට වෙනමත්, දෙවල්ල නමින් හඳුන්වන තනි රෙද්දෙන් සංයමයකින් යුක්තව ඉතා අලංකාර අයුරින් තබන ලද රැුලි වෙනමත් දක්නට වූ අතර අද වන විට එකට තබා මසනු ලැබූ පොත්පොටත් දෙවල්ලත් දැකිය හැකිය. ඉතා පහසුවෙන් මෙය ඇඳීම සිදු කළ හැකි වුවත් උඩරට වෙස් ඇඳුමේ වූ ගාම්භීර බවට ඉන් හානි පැමිණ වී ඇති බව නැටුම් ශිල්පයෙහි ප‍්‍රවීණයන්ගේ අදහසයි. එමෙන් ම වෙස් පෙට්ටියේ පෙති 7ක් මුල් කාලීනව දැක ගත හැකි වුවත් වර්තමානයේ වෙස් පෙට්ටියේ පෙති 13 ක් දක්නට ලැබේ.

උඩරට වෙස් ඇඳුමට සමානතා දක්වන වෙනත් ඇඳුම්

වෙස් ඇඳුම ඇතැම් දේශීය ඇඳුම් සමඟ ඥාතී සබඳතා පවත්වන බව විද්‍යමාන වේ. වෙස් නැට්ටුවාගේ ඉණෙන් පහළ ඇඳුම් සලකා බැලූ කල එය අඳිනු ලබන ක‍්‍රමය උඩරට නිළමේවරයෙකුගේ ඇඳුමේ යටි කොටස අඳිනු ලබන ආකාරයටත් (රූපය 01) බෞද්ධ භික්ෂුවක ස්වකීය උපසම්පදා කර්මයේදී අඳින ඇඳුමේ යටි කොටස අඳින ආකාරයටත් (රූපය 02) යම් කිසි සමානකමක් දක්වන බව මුදියන්සේ දිසානායකයන්ගේ මතයයි (මන්තිලක, 66).
01

02



එහෙත් ඇතැමෙකුට අනුව මෙය විදේශීය, විශේෂයෙන් ම ඉන්දියානු ඇඳුම් පැළඳුම් වලට වැඩි නෑකමක් දක්වයි. වෙස් ඇඳුමේ හිසට පළඳින ශීර්ෂාභරණ කොටස මලබාරයේ රාජකීය ශීර්ෂාභරණයේ අනුකරණයක් බව ද දැක්වේ. එදිරිවීර සරච්චන්ද්‍රයන් දක්වන ආකාරයට වෙස් ඇඳුමේ යටි කොටස අඳින්නේ ගුජරාටි ධෝතිය අඳින ක‍්‍රමයටයි. වෙස් ඇඳුම් කට්ටලයට සමාන ඇඳුම් කට්ටලයක් දකුණු ඉන්දීය තෙයියම්නම් නැටුමේ දී (රූපය 03) යොදා ගැනෙන බව මුදියන්සේ දිසානායකයන් පවසයි. වෙස් ඇඳුමට සමාන ඇඳුමක් බෙංගාලී දඩයම්කරුවන් අඳින්නට ඇතැයි  ද මතයක් පවතී (කළුආරච්චි, 238).
03


වෙස් ඇඳුම් කට්ටලයේ තෝරා ගත් ආභරණ කිහිපයක ව්‍යූහගත අර්ථය.

සිවිලිය යනු දේවාභරණයකි. මෙවැනි සිවිලි මහනුවර විෂ්ණු දේවාලයේත් දොඩම්වල හා මොරපේ යන දේවාලවලත් ඇති බව සඳහන්ය.වෙස් නැට්ටුවන් හිසේ පළඳින වෙස් තට්ටුව හෙවත් ශිඛා බන්ධනය මෙම සිවිලියෙන් භාගයකි. ආභරණ වලින් අඩක් යන මතය ශාන්තිකර්මකරුවන් අතරට පැමිණ ඇත්තේ වෙස් තට්ටුව යනු සිවිලියෙන් අඩක්ය යන විශ්වාසය හේතුවෙන් විය හැකිය.  අර්ධ කවාකාර හැඩයෙන් යුතු වෙස් තට්ටුව ලීයෙන් තනා රිදී රන් හා මැණික් යොදා තහඩුවෙන් වසා ඇත. මෙහි අගට සම්බන්ධ කොටස්වලට බෝපත් සවිකොට තිබේ. නෙත්ති මාලය යනුවෙන් හඳුන්වන ඇතැම් විට මැණික් ගල් අල්ලනු ලැබූ දුනු හැඩයෙන් යුතු ආභරණය වෙස් තට්ටුවට යටින් නළල ආසන්නයේ පළඳිනු ලැබේ. වර්තමාන උඩරට නැට්ටුවා පළඳින වෙස් තට්ටුව ක‍්‍රි. ව. 1815 න් පසු කෑගල්ලේ හිග්ගොඩ පරපුරෙන් නේරංගම පරපුරටත් ඒකාබද්ධව 1817 දී නිර්මාණය කොට තනිකච්චියේ නෙයියාඩි ඇඳුමට බද්ධ කළ නව නිර්මාණයක් හෙවත් මලල් වෙස් ඇඳුමට විකල්පයක් ලෙස අරනායක පොල් අඹේගොඩ දේවාලයේ කංකාරි නැටුමට එක්කළ නවාංගයක් ලෙස හැඳින්විය හැකිය. වෙස් තට්ටුව රාවණා රජුගේ ඔටුන්නේ නිරූපණයක් බව ද ඇතමෙකු තර්ක කරයි. මලය රජුගේ ඔටුන්න රාවණ රජුගේ ඔටුන්න අනුව සකසා ඇති බව ද එහි මුලින් පැවති පෙති ගණන දහයක් හෝ එකොළහක් විය හැකි බව ද ක‍්‍රමයෙන්  මේ ගණන පහළොව දක්වා වැඩි වී ඇති බවට ද සැක පහළ කෙරේ. රාවණ පෙලපතේ පාලන මධ්‍යස්ථානය වූ ආලකපුරය හෙවත් වර්තමාන සීගිරියේ චිත‍්‍ර වල නිරූපිත රජ බිසවකගේ හිස් පළඳනාව විශේෂයෙන් එහි පායිම්පත නම් කොටසින් වෙස් තට්ටුවට නෑකම් දක්වන බව  විශ්වාස කෙරේ.

වෙස් ඇඳුම සඳහා භාවිතා කරන ශීර්ෂ ආභරණ අතර මුලින්ම දක්නට ලැබෙන්නේ ජටාවයි. දැවයෙන් නිම කරන ලදුව වෙස් නැට්ටුවා හිස් මුදුනේ පළඳින ආභරණයයි. ජටාව මහා බ‍්‍රහ්මයා පැළඳ ගෙන සිටින සිළුමිණේ අනුරුවක් එහි බ‍්‍රහ්මයාගේ වරම ඇති බව ද යක්දෙස්සන්ගේ මතයයි. මෙය ස්ථූපයක හැඩය ගැනීම කෙරෙහි ප‍්‍රායෝගික අර්ථයට අමතරව බෞද්ධාගමික අර්ථයක් බලපාන්නට අතැ යි අනුමාන කරයි. වෙස් නර්තන ශිල්පීන් අනෙකුත් කිසිදු ආභරණයක් පැළ`දීමට ප‍්‍රථම කරනු ලබන චාරිත‍්‍රයක් ජටාව පැළ`දීමේදී කරනු ලබයි. එනම් ජටාව පැළදීමට ප‍්‍රථම එය වන්දනා කිරීමයි. හිස වෙස් පැළඳීමනම් නර්තන ශිල්පීන්ගේ හිසෙහි පළඳින පූජනීය ආභරණ අතරින් මුලින් ම නැට්ටුවා පළඳින්නේ ද ජටාවයි. ජටාව මුදුනේ සිට පසුුපසට එල්ලා වැටෙන අඟල් හතලිස් පහක් පමණ වන රෙදි පටිය ජටා පටිය නම් වේ. ලී පතුරු උපයෝගී කරගනිමින් අර්ධ ස්ථූපයක හැඩයට ගැට ගසා ගන්නා ලද කේතුවක් ඉදිරියෙන් රිදී තහඩුවක් තුළ ගිනි දළු හැඩයෙන් යුත් පායිම්පත වේ.

තෝඩුපත වෙස් නැට්ටුවාගේ කන් වැසීමට ගන්නා කර්ණාභරණයයි. එහි පත්තිිනියගේ වරම් ඇති බව යක්දෙස්සාගේ විශ්වාසයයි. ජනප‍්‍රවාද වලට අනුව පත්තිනි දෙවියන්ට උප්පත්ති ගණනාවක් ඇති අතර ඇය එක් අවස්ථාවක උපත ලබා ඇත්තේ අඹ ගෙඩියකිනි. සාම්ප‍්‍රදායික වෙස් නැට්ටුවාගේ තෝඩු පත ද බොහෝ විට අඹ ගෙඩියක හැඩය ගන්නා බැවින් එහි පත්තිනි දෙවියන්ගේ වරම් ඇතැයි විශ්වාස කෙරේ.  පබළු වැඩ දැමූ මාලයක් ද කාරේ පළඳිනු ලැබේ. පපුවේ පළඳිනු ලබන්නේ අවුල්හැරයයි. පපු පෙදෙස ආවරණය වන පරිදි කිරි පබලූ, ඇත් දළ කොටස්, මී අං, කබල්ලෑ පොතු, රිදී, පිත්තල බොත්තම් ආදිය ද අවුහැරයේ ඇත. පායිම්පත, අවුල්හැරය, වෙස් තට්ටුව සහ රෙද්දේ රැුළි ආදියෙන් සූර්යයා සංකේතවත් වේ යයි අදහස් කරයි. තව ද උරහිස් වැසීම සඳහා දෙවුර මාල  හෙවත් උරමාලය. අත් පළඳනා ලෙසින් ලෝහයෙන් කළ බණ්ඩි වළලූ 16ක් පමණ ද වේ. මැණික් කටුවට හස්තකඩය භවිත කරයි.  පිටි අල්ලට පළඳන්නේ  කයිමත්තු ද ශරිරයේ පහළ කොටසට රියන් අටක් දිග රැුලි තබා අඳින උල් උඩය නම් වූ සුදු රෙද්දක් ද අඳිනු ලැබේ. තවද රියන් විස්සක් දිග හඟල නමැති සුදු රෙද්දත් එහි දෙකෙළවරෙන් ගැට ගසා ඇති වූ නරුපොට දෙකක් වේ. මෙය දෙවල්ල නම් වේ. රියන් අටක් දිග රතු ඉන පටිය කෙළවර තබනු ලැබූ නෙරිය පොත්පොට නම් වේ. ඉනෙන් පහළට නරුවක් මෙන් එල්ලා වැටෙන පළඳනාව බුබුළු පටිය නම් වන අතර එය රිදී පැහැති රවුම් කිහිපයක් සහිතව රෙදි අග විල්ලූද බෝල සහිතව ද ඇඳ ඉණ පටිය පළඳිනු ලැබේ. පාද වලට ගිගිරි සහිත සිලම්බු ද පළඳියි. අතීතයේදී මෙම ආභරණ සහ වස්ත‍්‍ර වලට අමතරව සිව් සැට ආභරණ අතරෙහි ලා ගැනෙන මණි කයිවඩන්, දකුණු උරුවැල්, පූන නූල්, කයිපොහොට්ටු, පාද ජාලා, කර්ණ කුණ්ඩල, මුතුපට, නාගවඩම්, මණි දණ්ඩි ආදිය භාවිත කර ඇත.

බෙරකරුවන්ගේ ද, වෙස් බැ`දීමට පෙර නෛයඩි නැටුමේ, උඩැක්කි සහ රබන් වයන්නන්ගේ ද ඇඳුම් වල විවිධතා ඇතත් ඒවා වෙස් ඇඳුමේ කොටස් වලින් නිර්මාණය වී ඇති බව පැහැදිලි වේ.  

ආශ්‍රේය ග‍්‍රන්ථ නාමාවලිය


1 අමරසිංහ, මාලිංග. (2005). පැරණි ලක්දිව වස්ත‍්‍රාභරණ. කොළඹ 10, දයාවංශ ජයකොඩි
     ප‍්‍රකාශකයෝ.
2 කළුආරච්චි, ආරියරත්න. (2000). උඩරට වෙස් ඇඳුම් කට්ටලය. කොළඹ, කැලණිය
    විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ නර්තන කලා අධ්‍යයන අංශයේ          
    පර්යේෂණ හා සංදර්ශන කමිටුව.
3 ගුණවර්ධන, තේජා. (1979). කොහොඹා කංකාරිය.කොළඹ, අරුණ ප‍්‍රකාශකයෝ.
4 දිසානායක, මුදියන්සේ. (1998). කොහොඹා යක් කංකාරිය සහ සමාජය. කොළඹ, එස්.ගොඩගේ
    සහෝදරයෝ.
5 මන්තිලක, සුදේශ්. (2010). වෙස් නැටුම. බත්තරමුල්ල, බිග් බර්ඞ් ප‍්‍රකාශකයෝ.
6 සරච්චන්ද්‍ර, ඊ.ආර්. (1992). සිංහල ගැමි නාටකය. මහරගම, ජාතික අධ්‍යාපන ආයතනය.
7 සේදරමන්, ජේ.ඊ. (1979:1992). උඩරට නැටුම් කලාව. කොළඹ, එම්.ඞී. ගුණසේන.

8 රංගනාත්, ජී.අයි.වයි. (2008). උඩරට වෙස් ඇඳුම් කට්ටලය නිර්මාණය වීම කෙරෙහි බලපෑ හේතු 
     සාධක පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්. කැලණිය විශ්වවිද්‍යාලය.

9 අබයරත්න,ජී.වී.(2012). නැටුමේ වෙස් තට්ටුව නව නිර්මාණයකි.                      http://www.divaina.com/2009/10/07/feature04.html'(accessed 16/07/2016).
10 ඇන්තනී, ජැක්සන්.(2011).මල රටද මලය රටද?. Retrieved from http://heladiwaheritagecircle.com'    (accessed 16/07/2016).
11 හෙළදිව සංස්කෘතික කවය.(2015). උඩරට නර්තනය හා බැඳුණු වෙස් බැඳීම. Retrieved from
http://heladiwaheritagecircle.com' (accessed 16/07/2016).

12 Amarasinghe, N, Banuka. ^March, 24, 2011&. Udarata wes andum kattalaya ^Blog post). Retrieved             from http://banukanamarasinghe.blogspot.com/2011/03/udarata-wes-andum-             kattalaya.html?m=1