ළඟම ලිපිය

Saturday, November 19, 2016

ලොව ප්‍රසිද්ධ ම ආලේඛ්‍ය Portrait ඡායාරූප ශිල්පීන් දස දෙනා (Part 01 )


වර්මානයේ දී සංචාරක ආලේඛ්‍ය Portrait ඡායාරූපකරණය, ඡායාරූපකරණ ක්‍රම අතර ඉහල ජනප්‍රියතාවයකට පත්වෙලා තියෙනවා. මෙය සාමාන්‍ය Portrait ඡායාරූප ලබා ගැන්මට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි. එය උඩුකය ඡායාරූපයක් ඡායරූපගත කර ගැනීමක් පමණක්ම නොවන අතර, මොහොතක්, චිත්තවේගයක් හෝ හැඟීමක් අල්ලා ගැන්මක්. නිවැරදි අයුරින් සිදු කරගැන්මට නම්, සියල්ල එකිනෙකට අන්තර් ක්‍රියාකාරී විය යුතු මෙන්ම, නිවැරදි මොහොත අල්ලා ගන්නා ආකාරය කෙසේ ද යන්න පිලිබඳ දැන සිටිය යුතුය.

2015 වන විට ලොව සිටින ප්‍රසිද්ධ ම ආලේඛ්‍ය ඡායාරූප ශිල්පීන් දස දෙනා ඇසුරින් සැකසූ ලැයිස්තුව තමයි මේ තියෙන්නේ.

1. ස්ටීව් මැක්කරි (Steve McCurry)

Steve McCurry (prezi.com)
1950 පෙබරවාරි 24 වන දින පෙන්සිල්වේනියාවේ උපත ලැබූ ස්ටීව් මැක්කරි නම් ඇමෙරිකානු ඡායාරූප ශිල්පියා ඉතාම දක්ෂ කැන්ඩිඞ් ඡායාරූප ශිල්පියෙකි. කැන්ඩිඩ් ඡායාරූප යනු පෙර සූදානමකින් තොරව ගනු ලබන ඡායාරූප යි. National Geographic සඟරාවේ ඉතිහාසයෙහි පළ වූ හොඳම ඡායාරූප 100 අඩංගු පොතෙහි කවරයට තේරුණු ඡායාරූපය ස්ටීව්ගේ ය. ඇෆ්ගන් මෝනාලිසා නමින් හඳුන්වන මෙම ඡායාරූපය ලබා ගැනුමට ස්ටීව් අනුගමනය කළ ක්‍රමය කැමරාව අතේ තියාගෙන හොඳම ඡායාරූපය ගන්න කල් මරන ඡායාරූප ශිල්පීන්ට අගනා පාඩමකි. අහම්බෙන් ඡායාරූපයට නැගීමෙන් අනතුරුව ඇෆ්ගන් මොනාලිසා ලෙසින්  ලොව ප්‍රසිද්ධියට පත් වූයේ 1985 ජුනි මස National Geographic සඟරාවේ මුල්පිටුවේ පළවූ පසුවයි.

Afghan Girl (webneel.com)
2. ලී ජෙෆ්රිස් (Lee Jeffries)
Lee Jeffries (lomography.com)
ගණකාධිකාරිවරයෙකු වූ ජෙෆ්‍රීස් පළමුවෙන්ම ඡායාරූප ගැනීම ඇරඹුවේ 2008 වසරේ ලන්ඩනයේ සැරි සරද්දීය. වීදියේ වෙසෙන ජනතාව සමාජයේ අවධානයට ලක් වන්නේ කලාතුරකිනි. ආධුනික ඡායාරූප ශිල්පි ලී ජෙෆ්‍රීස් විසින් වීදි ජනතාව සිය කැමරා කාචයට හසු කර ගැනීම සිය ඡායාරූපකරණයෙහි කේන්ද්‍රය බවට පත් කරගෙන ඇත. ඔහු යුරෝපයෙහි සහ ඇමරිකාවෙහි වෙසෙන වීදි වැසියන් ඇසුරෙන් කෙනෙකු "හොල්මන් කරවන්නටසමත් ආලේඛ්‍යය ඡායාරූප රැසක් ඡායාරූපගත කොට ඇත. සෑම මුහුණක්ම ඉතා සවිස්තරව සහ අතිශයින් හැඟීම්බරව නිරූපණය කොට ඇත්තේ මිනිස් මුහුණු වල විශේෂයෙන් ඇස් ඉස්මතු කරවමිනි. නිවාස නොමැති ජනතාවගේ, කළු හා සුදු ආලේඛ්‍යය ඡායාරුප ඔහුගේ එකතුවෙහි සුවිශේෂී හා ආකර්ෂනීයව කැපී පේනවා.
Latoria por by Lee (huffingtonpost.es)
3. ජිමී නෙල්සන් Jimmy Nelsson

Jimmy Nelsson Jimmy(wikipedia.org) 
ජිමී ගේ අභිලාෂය හා මෙහෙවර වන්නේ දේශීය සංස්කෘතීන් සඳහා සංකේතාත්මක හා කලාත්මක ලියවිල්ලක් සැකසීමයි. මෙම කාරණාව අරමුණු කර ගනිමින් 2010 වසරේ සිට අද දක්වා ඔහු සුවිශේෂීතම දේශීය සංස්කෘතීන් සමහරක් ලේඛනගත කිරීමට ලොව පුරා ගමන් කරයි. රටවල් 16 කට වඩා වැඩි ගෝත්‍රික හා ආදිවාසී ජනයා සම්බන්ධයෙන් ඔහුගේ Portrait ඡායාරූප ප්‍රසිද්ධ වේ. ජිමී නෙල්සන් උත්සහ කරන්නේ කුතුහලය හරහා පිළිතුරු සෙවීමටයි. ඔහු වර්ණ හා සැරසිලි සඳහා ඇල්මක් දක්වයි. සිත්තම් කළ සිරුරු පිරිසිදු ජීවිත දර්පණයන් සේ දකී.
(alchetron.com)
4. රේහාන් (Rehahn)

Portrait of Rehahn (wikipedia.org)
රේහාන් ගේ ඡායාරූපවල වියට්නාමය, රාජස්ථානය සහ කියුබාව යන රටවල් මත විශේෂයෙන් අවධානය යොමු වේ. ප්‍රංශ ඡායාරූප ශිල්පියකු වන ඔහු වසර ගණනාවක සිට වියට්නාමය හරහා ගමන් කරමින් කලාත්මක ඡායාරූප ගනිමින් සිටී. රටවල් 35 කට අධික ප්‍රමාණයක සංචාරය කරමින් ඡායාරූප ලබා ගැනීමට සමත් වී ඇත. බොහෝ විට ඔහුගේ ඡායාරූපවල සිටින්නවුන්ගේ සිනහව ඔවුන්ගේ අත් වලින් සඟවා ඇත. අතින් වසා ගනිමින් සඟවාගත් සිනහව ඇතුළත් ඡායාරූප සියයකට අධික ප්‍රමාණයක් ඇතුලත් ආලේඛ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වා ඇත. සංස්කෘතිය, සම්ප්‍රදාය සහ විවිධ ප්‍රදේශ වල ජීවත් වන්නන්ගේ ජීවිතය ආදිය කැමරා කාචයේ සටහන් කර ඇත. මොහු උත්සහ දරන්නේ ඡායාරූප තුළින් "සතුටයන වචනයේ අර්ථය සොයා ගැනීමට වන අතර රේහාන්ගේ එම ප්‍රයත්නය තුළ වියට්නාමය, ලෝකයේ ප්‍රීතිමත් ම ජනතාව අතරට පැමිණියා වූ සත්‍යය ගැබ් වී ඇත.

වියට්නාමයේ සැඟවුණු සිනහව ‘Hidden smile of Vietnam’ (pinterest.com)

5. එරික් ලෆාර්ජ් (Eric Lafforgue)

Eric Lafforgue (public-republic.com)
1964 දී උපත ලද එරික් සඟරා සඳහා ඡායාරූප ගැනීමට සංචාරය කළ ප්‍රංශ වෘත්තීය ඡායාරූප ශිල්පියකු වේ. ඔහුගේ ලිපි වලට තේමා වුණු සංචාරය කිරීමට අවසර ලබා දී නොමැති ප්‍රදේශ ලෙසින් සලකන උතුරු කොරියාව හා සෝමාලියාව ආදී රටවල් වල සංස්කෘතිය හා ජීවිත සමඟ බැඳි දේ පවා මොහු අසීරුවෙන් ඡායාරූපගත කර ඇත. 2014 වර්ෂයේ දී මොහු විසින් ඡායාරූපගත කළ බොහෝමයක් ඡායාරූප ප්‍රචාරණය තහනම් කර ඇත. විවිධ හේතු මේ සඳහා පවතී. එසේ තහනම් කරන ලද ඡායාරූල අතර ළමයින් කම්කරු සේවයේ යෙදවීම්, අනුභව කිරීම සඳහා තෘණ ශාක උගුලන මිනිසෙකුගේ ඡායාරූපයක්, සොල්දාදුවන් පිරිසක් අක්‍රිය වූ බස් රථයක් තල්ලු කරන ඡායාරූපයක්, උතුරු කොරියානු සොල්දාදුවන්ට අගෞරව සිදුවනවා යැයි  සහ ඔවුන්ගේ කෝපයට හේතු වන ඡායාරූප ආදී ඡායාරූප රැසක් විය.
Miss Kim I Sim in Pyongyang/ප්යොංයැන්ග්හි මිස් කිම් (ericlafforgue.com)

boredpanda.com ඇසුරිනි.
ඉතිරිය 02 කොටසින් .....




 

ලෝකයේ හොඳ ම සංචාරක ඡායාරූප ශිල්පීන් අතරට ප්‍රියන්ත බණ්ඩාර

අද අපිත් එක්ක කතා බහට එක් වන්නේ මෑත කාලයේ දී ඡායාරූපකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගෞරවයක් එක් කර දුන් පුද්ගලයෙක්. ඔහු තමයි ප්‍රියන්ත බණ්ඩාර. මොහු ඇමරිකානු එක්සත් ජනපදයේ Topteny Lifestyle web magazine එකේ ලෝකයේ හොඳ ම සංචාරක ඡායාරූප ශිල්පීන් දහ දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වෙලා ඉන්නවා.

  • ඔබ සංචාරක ඡායාරූපකරණයට යොමු වන්නේ කොයි කාලයේ ?
මට වයස අවුරුදු 12 දී විතර තමයි මං සංචාරක ඡායාරූපකරණයට යොමු වෙන්න පටන් ගන්නේ. ඒ කාලේ වෙනකොට යාළුවෝ එක්ක හැමතැනම ඇවිදින ගමන් ලංකාවේ එක එක තැන් නරඹන්න මං පුරුදු වෙලා හිටියා.
  • ඡායාරූප ශිල්පයට අමතරව ඔබව හඳුන්වන්න පුළුවන් කොයි විදිහට ?

පූර්ණකාලීන සේවා නියුක්තිකයෙක්, ස්වාමිපුරුෂයෙක් සහ පියෙක්
  • සංචාරක ඡායාරූපකරණ ක්ෂේත්‍රයටම යොමු වීමේ විශේෂ හේතුවක් තියනවාද?

මං කුඩා කාලයේ ඉඳලම ස්වාභාවික සුන්දරත්වයට, මිනිස්සුන්ට වගේම සුන්දර තැන් වලට ගොඩක් ආදරේ කළා. මං ජීවත් වුණු තැන්, ඇවිදපු තැන් වගේ ම ඇසුරු කරපු මිනිස්සුන්ගේ ස්වරූපය නිසා ම මාව සංචාරක ඡායාරූපකරණය පැත්තට යොමු වුණා කියලා කියන්න පුළුවන්.
  • මේ දවස්වල වැඩ කටයුතු මොනවාද?

මං සේවය කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් වන විදුලි සංදේශ සමාගමේ පූර්ණකාලීන සේවකයකු විදිහට. ඒ නිසා මගේ උපරිම අවධානය මං යොමු කරන්නේ රාජකාරියට. ඒ වගේ ම මගේ පවුලටයි. ඒත් මට පුළුවන්, ඉඩ ලැබෙන හැම වෙලාවකම මං කරන්නේ ළඟපාත හරි ඈත පළාත් වලට හරි ගිහිං ඡායාරූප ලබා ගන්න එක. මෑතකදී මං මගේ ම වෙබ් සයිට් එකක් ලෝන්ච් කළා. මේ වෙනකොට ඒකේ වැඩ කටයුතුත් සිදු කරනවා.
  • මෑතකදී ඔබ ලබපු ජයග්‍රහණය ගැන සඳහන් කළොත්?

ඇමරිකානු එක්සත් ජනපදයේ Topteny Lifestyle web magazine එකේ ලෝකයේ හොඳ ම සංචාරක ඡායාරූප ශිල්පීන් දහ දෙනාගේ නම් ඇතුළත් ලැයිස්තුවට මගේ නමත් ඇතුළත් වෙලා තියනවා. මේ විදිහට මාව හඳුන්වපු එක ගැන මට තියෙන්නේ නිරංකාර සතුටක්. ඒ මොකද කියනවනම් එක ම අවස්ථාවකදී මගේ හැකියාව ගැන විශ්වීය මට්ටමේ වේදිකාවක හඳුන්වාදීමත් එක්කම ශ්‍රී ලංකාවේ ස්වභාවික වටිනාකම ගැනත් හඳුන්වා දීමට ලැබුණු නිසා.
  • ඔබ සංචාරය කරමින් ඡායාරූප ලබා ගත් ස්ථාන අතරින් කැමතිම රටක් හරි ප්‍රදේශයක් තියනවාද? තියනවානම් එයට හේතු මොනවාද?

නකල්ස් කඳුවැටිය අයත් ප්‍රදේශයට මං වඩාත් කැමතියි. මොකද, ඒ පළාත අවටින් දැක ගන්න ලැබෙන බොහෝමයක් තැන් භූ දර්ශනය අතින් අදහගන්න බැරි තරම් අපූරු නිසා. 
  • ජීවිතේට වෙනසක් එකතු කරගන්න මොනවද කරන්න කැමති?
ගොඩක් දුර ප්‍රදේශ වල සංචාරය කරමින් විවිධ සංස්කෘති සහ ඒවාට අයිති දේවල් ඡායාරූපගත කරන්න පුළුවන් නම් මං ඒකට කැමතියි.
  • ඔබේ ප්‍රියතම ඡායාරූප ශිල්පියා කවුද?
ලෝකේ විශිෂ්ට ඡායාරූප ශිල්පීන් අතරින් මං කැමතියි ස්ටීව් මැක්කරිට Steve McCurry වගේ ම Sebastiao Salgado කියන දෙන්නටම. මේ අයගේ ඡායාරූපමය හැකියාව හරිම අපූරුයි. ඒ වගේම කැපවීම වගේ ම කලාවට තියන දැඩි බැඳීමයි මට හිතාගන්න බැරි. 
  • ඉදිරියේ දී සිදු වන අළුත් වැඩ කටයුතු සඳහන් කළොත්?
ඉදිරියේ දී ව්‍යාපාරික අංශයේ වැඩ කටුයුත්තු කිහිපයකට සහභාගී වීමට සූදානම් වෙනවා. ඒකෙන් පස්සේ තෝරාගත් විෂය යටතේ ඡායාරූප ව්‍යාපෘති කීපයක් කරන්නත් බලාපොරොත්තුවක් තියනවා. ඉදිරියේ දී සමාජ මාධ්‍ය හරහා ඔබටත් ඒ ගැන දැනගන්න ලැබේවි.
  • ඔබ හිතන්නේ ඡායාරූප ශිල්පියෙක් වෙන්න තියෙන්න ඕන මොන වගේ අවශ්‍යතා කියලද?

හැකියාවන් වැඩිදියුණු කරගැනීමට සහ නිරන්තරයෙන් self criticism (ස්වයං විවේචනය) කරගන්න කැපවීමක් තියෙන්න ඕන‍.
  •  ඡායාරූපකරණයට යොමු වන තරුණ තරුණියන්ට කියන්න තියෙන්නේ මොනවාද?
යම් කෙනෙක් ඡායාරූපකරණයට අළුතින් ම යොමු වෙනවානම් ඒ පුද්ගලයාට ඇති තරම් අනිත් අයව අනුකරණය කරන්න අවස්ථාව තියනවා. ඒත් ඔහුට වෙනස් කෙනෙක් වෙන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් ම ඔහු, ඔහුගේ ම ඡායාරූපකරණ විලාසයක් හොයා ගන්න ඕන. ඒ වගේම ඔහුට සිද්ද වෙනවා හැකියාවන් නිරන්තරයෙන් ඔපමට්ටම් කරගන්න. හැබැයි ඒ වෙනුවෙන් මොන උපකරණ යොදා ගන්නවාද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අවසානයේ දී අනිත් අය ඔහුව විනිශ්චය කරන්නේ ඔහුගේ ම ඡායාරූප වලින් නිසා.
Priyantha Bandara photography


Priyantha Bandara photography

Priyantha Bandara photography



 සංවාද සටහන -නලිනිකා ලක්ෂාණි


Saturday, November 12, 2016

පිහිනීමට උපන් හපන් යුස්රා මර්දිනී ....

bbc.co.uk
සරණාගතයින් සාමාන්‍ය මිනිසුන්ය'
-යුස්රා මර්දිනි-

දේශ සීමාවන් නොමැතිව තරඟ බිමට පැමිණි ඇය යුස්රා මර්දිනී (Yusra Mardini). මැය ගැන හැමෝම කතා කරන්න පටන් ගන්නේ 2016 රියෝ ඔලිම්පික් තරඟ බිමට ආ ගමනත් සමඟයි. ඒත් ඒ වන විටත් ඇය සිය ජීවිතය නම් දිනා අවසන්. මුහුදු රළ සමඟ තරඟ වදිමින් අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරා ගත් යුස්රා මර්දිනි සැබැවින් ම ආත්මාර්ථයෙන් හිස උදුම්මාගත් තාරුණ්‍යයට ආදර්ශයක් වූ චරිතයක්. ‍මේ කතාව යුස්රාගේ ජීවිතය ගැනයි.
කාලයක් පුරා සිරියානු යුධ ගැටුම් වලින් පීඩා විඳින සිය දහස් ගණනක් මිනිසුන් යුරෝපයට එන්න පටන් ගන්නවා. බෝම්බ ප්‍රහාරයකින් උන් හිටි තැන් අහිමි වූ යුස්රා සහ ඇගේ නැගණිය සාරා, 2015 අගෝස්තු මාසයේ දී සිරියාවේ ඩමස්කස් නුවර ඉඳලා තුර්කියට ඒමට තීරණය කරනවා.  එතැන් සිට මේ දෙදෙනා ඇතුළු තවත් පිරිසක් බෝට්ටුවකට නඟින්නේ මධ්‍යධරණී මුහුද හරහා ග්‍රීසියට යන අරමුණින්. ඒත් මඳ දුරක් විතරයි ඔවුන්ට යාමට හැකි වන්නේ. මුහුදු රළ මොවුන් සිටි බෝට්ටුව පෙරළා දමන්නේ කුරිරු ආකාරයට. පිහිනීමට උපන් හපන් යුස්රා සහ ඇගේ නැගණිය මෙතැන් සිට ගන්නේ අපූරු තීරණයක්. ඒ පෙරළුණු බෝට්ටුවේ සිටි තවත් පිහිනීමට හැකි කාන්තාවක් ද එකතු කර ගනිමින් බෝට්ටුව ඇදගෙන ග්‍රීසිය කරා පිහිනීමයි. තමන්ට විතරක් ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබිය දී ඔවුන් ගත් පරාර්ථකාමී තීරණයේ වටිනාකම නිසා සියළුම දෙනා ද රැගෙන ග්‍රීසියට යාමට හැකි වනවා.
1998 මාර්තු 05 වන දින උපත ලබන යුස්රා සිය පිහිනුම් කටයුතු අරඹන්නේ කුඩා කාලයේ පටන්ය. ග්‍රීසියට සංක්‍රමණය වී ජර්මනියට යන මැය නැවත සිය පිහිනුම් පුහුණුවීම් අරඹන්නේ 2020 දී ඔලිම්පික් තරඟාවලිය අරමුණු කර ගනිමින්. නමුත් 2016 දී ඇයට රියෝ ඔලිම්පික් තරඟයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙන්නේ විස්මය දනවන ආකාරයටයි.  ඒ සිය නිජබිම අතැර අවතැන් වූ සරණාගතයින් ලෙසින් වෙනත් රටවලට සංක්‍රමණය වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායමක් සෑදීමට ප්‍රථම වරට ඔලිම්පික් කමිටුව ගන්නා තීරණයත් සමඟයි. මේ තරඟකරුවන් දස දෙනා අතරට යුස්රා එක් වන්නේ මීටර් 100 නිදහස් ආර සහ මීටර් 200 සමණල ආර පිහිනුම් ඉසව් සඳහා ය.

රියෝ ඔලිම්පික් හි අවසන් තරඟයෙහි ජය ලැබීමට නොහැකි වුව ද ඔලිම්පික් ධජය යටතේ තරඟ වදිමින් ලෝකයට ම ආදර්ශයක් වූ මේ තරුණියගේ අරමුණ ලෝකයේ සතර දෙසින් අවතැන් වූවන් බවට පත් වන ජනයාට උදව් උපකාර කිරීමයි. ඇය වෙර දරමින් සිටියේ කවරදාක හෝ ඔලිම්පික් තරඟාවලියකට සහභාගී වීමටයි. නොසිතූ පරිදි යුස්රාට මේ අවස්ථාව උදා වූයේ ඇගේ පරාර්ථකාමීත්වයේ සහ වාසනා ගුණ මහිමයෙනි. ඇදි වත පමණක් රැගෙන ග්‍රීසියට පා තබන ඇය සැබැවින් ම අද වන විට ජීවිතය ජයගත් ශ්‍රේෂ්ඨ තරුණියක් වී හමාරයි. අද වන විට සිරියානුවෙක් ලෙසින් ජර්මනියේ ජීවත් වන ඇය පිහිනුම් සමාජයක සාමාජිකාවකි. මේ වන විටත් 2020 දී පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් තරඟය සඳහා ඇගේ පුහුණුවීම් කටයුතු සිදු වෙමින් පවතියි.