ළඟම ලිපිය

Thursday, June 15, 2017

තෙත්බිම් ගැන කෙටියෙන්...

"තෙත් බිමක් කියලා තෙත් බිම් පිළිබඳ රැම්සා අර්ථකථනයේ සඳහන් වෙන්නේ බාදිය මට්ටමේ ඉඳලා මීටර් හයට අඩු මුහුදු ප‍්‍රදේශයත් ඇතුළත්ව ගලායන හෝ නිශ්චලව පවත්නා වූ මිරිදිය, කිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යට වී ඇති කෘතී‍්‍රම හෝ ස්වාභාවික වගුරු බිම්, විල්ලු, ජලාශ හෝ ජල මාර්ග, ඇල ඉඩම්, පිට ඉඩම්" යනුවෙනුයි.
Forest Preserves of Cook Country

 1971 ලෝක තෙත් බිම් දුරු කරලීමේ අරමුණින් රැම්සා සම්මුතියට අත්සන් තැබීමත් සමඟ වාර්ෂිකව පෙබරවාරි 02 වැනි දාට තෙත් බිම් දිනය සමරනවා. 1991 දී තමයි ශ්‍රී ලංකාව මේ සම්මුතියට අත්සන් තබන්නේ. මේ අනුව ශ්‍රී ලංකාව තුළ රැම්සා තෙත්බිම් විදියට, බූන්දල අභය භූමිය, ආනවිලුන්දාව, මාදු ගඟ, වාන්කැලේ අභය භූමි සහ කුමන, විල්පත්තුව ජාතික වන උද්‍යාන නම්කර තිබෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ තෙත් බිම් කාණ්ඩ තුනක් යටතේ වර්ග කරලාත් තිබෙනවා. ඒ තමයි

  • ගංගා, ඇළදොළ, විල්ලු, මිරිදිය වගුරු, වනාන්තර ඇතුළත් අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්
  • කුඹුරු, වැව්, ජලාශ ඇතුළත් කෘත්‍රිම තෙත්බිම් සහ
  • මෝය, කඩොලාන, කලපු, කොරල් පර, මුහුදු තෘණ බිම් ඇතුළත් වන කරදිය තෙත් බිම්.


මූලිකව ම පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීමට සෘජු දායකත්වයක් ඉටු කෙරෙන මෙම තෙත්බ්ම් වල පැවැත්ම සම්බන්ධයෙන් වර්තමානය වන විට ගැ‍ටලුකාරී තත්වයන් රැසක් උද්ගතව තිබෙනවා. ඒ සඳහා මුලිකවම බලපා තිබෙන්නේ අවිධිමත් මිනිස් ක‍්‍රියාකාරකම්. ඒ අතර
තෙත්බිම් ආශ‍්‍රිතව අපද්‍රව්‍ය බැහැර කිරීම,
මිනිස් කටයුතු සඳහා තෙත්බිම් ගොඩ කිරීම,
තෙත්බිම් වල අනවසර ඉදිකිරීම් සිදු කිරීම හා
තෙත්බිම් වල පවත්නා ජෛව විවිධත්වයට හානිකර වන ආකාරයට කටයුතු කිරීම
කැපී පෙනෙන ගැටලූ බවට පත්ව තිබෙනවා. මොන තරම් විධි විධාන යෙදුවත් මිනිස්සු අවිධිමත් ආකාරයට සිදු කරනු ලබන මාලූ ඇල්ලීම් හා කඩොලාන ශාක කපා ඉවත් කිරීම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ඊට විකල්පයක් විදිහට මෑතකාලීනව පරිසර අධිකාරිය හා සමුද්‍රීය පරිසර ආරක්ෂක ඒකකයේ මුලිකත්වයෙන් කඩොලාන ශාක වගා කිරීමේ ව්‍යාපෘතියන් ද ක‍්‍රියාත්මක කරමින් පවතිනවා. රටට අවශ්‍ය පාරිසරික සමතුලිතතාව වගේ ම තවත් අතකට මිනිසාගේ එදිනෙදා පැවැත්මට විශාල දායකත්වයක් ලබා දෙන මේ පරිසර ප‍්‍රජාව, තවත් අතකට අපේ රටේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමටත් ප‍්‍රබල දායකත්වයක් සපයනු ලබනවා.
ආපදා අවම කිරීම සඳහා තෙත්බිම්-Wetlands for disaster risk reduction යනුවෙනුයි 2017 වසරේ ලෝක තෙත් බිම් දිනයට තේමා වුණේ. තෙත්බිමක වටිනාකම නංවාලන වැඩසටහන් රාශියක් මේ සමග ක්‍රියාත්මක වුණා. නමුත් වර්ෂා සමයේ දී ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ ඉතා ඉක්මණින් ජලයෙන් යට වන තත්වයක් උදා වී ඇත. මේ තත්වය මිනිසුන්ගේ ජීවිතයට තර්ජනයක් වී හමාරය. තෙත්බිම් ගොඩකර යළි යළිත් ආපදා ගෙන්වා ගැනීමට ඔබත් කැමතිද? නැත්නම් ඊට නිසි පිළියම් යොදනවාද? කියන කාරණය අනිවාර්යයෙන් ම සිතා බැලිය යුතු කාලයයි මේ.


නලිනිකා ලක්ෂාණි

5 comments:

  1. කාලීන අවශ්‍යතාව අනුව ලියැවුනු ලිපියක්.. ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි!

      Delete
  2. වටිනා සටහනක්... බ්ලොග් එකට ආපු පලවෙනි සැරේ මේ... බ්ලොග් එකට Followers ගැජට් එක දාන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ වටිනා අදහසට! Followers ගැජට් එක දාලනේ තියෙන්න‍ෙ.

      Delete
    2. දැන් හරි.. ෆලෝව් කරන්න හැකියි....

      Delete

Thank You!