කථිකාචාර්ය
චින්තක රණසිංහ මහතා සමඟ කළ සංවාද සටහනක්....
|
kln.ac.lk |
සාහිත්‍ය
ලෝකයට ආලෝකයක් සපයමින් සාහිත්‍ය දුහුනන්ගේ ඥාන ගවේශනයට අවැසි කෘති බොහෝමයක් රචනා
කරමින් සාහිත්‍යට ලැදි දිවියක් ගෙවන කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයනාංශයේ
කථිකාචාර්ය චින්තක රණසිංහ මහතා සමග කරන ලද සංවාදයක් සටහන් තබම්.
- ඔබ කොහොමද සාහිත්‍ය
යන්න අර්ථකතනය කරන්නේ?
සාහිත්‍ය කියන දෙයින්
මං මූලික වශයෙන් ම අදහස් කරන්නේ වඩාත් වින්දනාත්මක පාර්ශවයක් සහ භාවාත්මක බවක්
සහිත දෙයක් විදිහට. නමුත් එහිදී බුද්ධිමත් පාර්ශවයක් නෑ කියලා අදහස් වෙන්නේ නෑ. සාහිත්‍ය
කියන්නේ ගණිතය හෝ වෙනත් විෂයක් නෙවෙයිනේ. සාහිත්‍ය කෘතියක් ගත්තම වඩාත් නිරවුල්
මෙන් ම අර්ථය පැහැදිලි වෙන්න ඕන. වඩාත්
සංවේදී පුද්ගලයකුට ඇමතිය යුතු අතර සංවේදීභාවය ද වර්ධනය කරන්න ඕන. ඒ කාරණය සම්පූර්ණ කළාට පස්සේ තමයි බුද්ධිය
කියන කාරණාවට සාහිත්‍යකරුවාට එන්න පුළුවන් වෙන්නේ. වර්තමානයේ පවතින සිංහල සාහිත්‍ය
කියන දෙයෙහි තියන බරපතල අර්බුදය තමයි ප‍්‍රහේලිකාත්මක ගතිය සහ දුරවබෝධ ගතිය. දැන්
ඉන්න විචාරකයෝ කියන්නේ ඒක කියලා. නන් විධ අර්ථ දෙන්න ඕන කියලා. නමුත් නන් විධ අර්ථ කියන එකේ සීමාවක්
තියෙන්න ඕන. නවකතාවක් ගත් විට ඒ නවකතාවේ
ප්‍රොයිඞ්ගේ හරි ලකාන්ගේ හරි තියරි හොයන්න
ඕන නෑ. මගේ හදවතට දැනෙනවානම්, මට මගේ ජීවිතේ සිහියට එනවා නම් මං කියවන්නේ ඒ නවකතාව. ඒකෙදී මට ජ්‍යාමිතියවත්,
තියරිවත් වැඩක් නෑ.
මෙතනදී කියන්න ඕන ආධිපත්‍ය විචාර කලාවක්
දැන් වන විට බිහි වෙලා තියනවා කියලා. නමුත් 1950 ගණන්වල ලියවුණු නවකතා, හේමරත්න ලියනාරච්චිගේ
නවකතා සිරි ගුණසිංහගේ නවකතා දැඩිව හදවත් ඇද ගන්නවා වගේ ම අපේ ජීවිතවලින් ප‍්‍රශ්න
කරන්න පොළඹවනවා. අදත් ඒ වගේ නවකතා ලියවෙන්නැතුව නෙවෙයි. හැබැයි ඒවා ඔය සම්මාන
උළෙලවල් වල මාධ්‍යවල අගය කෙරෙන්නෙත් නෑ අගය කරන්න දන්න මිනිස්සුත් නෑ. ඒක තමයි ප‍්‍රශ්නය
දැන් තියන.
- ·
ඔබ නවකතාකරුවෙක් වගේ ම කවියෙක්. මේ
නිර්මාණ ප‍්‍රවේශයන්ගෙන් ඔබට වඩාත් සමීප ප‍්‍රකාශන මාධ්‍ය මොනවාද?
මගේ මූලික ම මාධ්‍ය
තමයි කවිය. මං විශාල වශයෙන් කවි ලියලා තියනවා. පළ කරලා තියෙන්නේ ටිකයි. සමාජ අවශ්‍යතාවයක්
විදිහට දැන් සිද්ද වෙන දේවල් ලියන්න වෙලා තියනවා මට. කොහොම වුණත් මගේ අනන්‍යතාවය
මං කවියෙක්. හැබැයි ඉතින් දාර්ශනික ප‍්‍රහේලිකා කවියෙක් නම් නෙවෙයි. සාමාන්‍යයෙන්
කවි ලියනවා.
- ·
ඔබ ලියූ ‘පිරිමි කවුරුද වරදෙ නොබැඳන” කෘතිය තුළ චිරන්තන ගද්‍ය
පද්‍ය සාහිත්‍ය ඇසුර වඩාත් පුළුල්ව දක්නට ලැබෙනවා. නව නිර්මාණකරුවන්ට මේ පැරණි
සාහිත්‍ය පරිශීලනය තුළින් ලද හැකි ආභාසය කොයි වගේද?
චිරන්තන ගද්‍ය පද්‍ය
වගේ ම වර්තමාන ඇසුර ගැනත් මගේ කෘතියේ කතා කරනවා. ඇත්ත වශයෙන් ම මගේ කෘතිය ගැන මං
කතා කරන එක හොඳ නෑ. ඒක කියවන අයට සහ ඕන ම
කෙනෙක්ට ඕනම විදිහක ඇගයීමක් සහ විනිශ්චයක්
කරන්න පුළුවන්.
|
grantha.org |
- ·
වර්තමානයේ බොහෝ ප්‍රවීණ යැයි සැලකෙන නිර්මාණකරුවන්ගේ නිර්මාණ පොදුවේ හැම
පාඨකයාට ම රස විඳීමට බැරි තත්වයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් පශ්චාත් නූතන කලාව
යැයි හඳුන්වාගත් ඒ නවකතා තුළ ඇති භාෂාව පවා වෙනස්. මේ කාරණය ඔබ දකින්නේ කොහොමද?
පශ්චාත් නූතනය යටතේ එන
සියලූ ම දේවල්වල අර්ථය තමයි කිසිදු අර්ථයක් නෑ කියන එක. පශ්චාත් නූතන තත්වය තුළ
පොදුවේ ගත්තම එය ගෙනාපු, විචාරයට ලක්
කරපු විචාරකයින්, විශ්ලේශකයන්
ආදීන් පිළිගන්න පොදු දෙයක් තියනවා. හැබැයි නිශ්චිත අර්ථයක් කිසිදු දෙයක නෑ කියන එක
තමයි පශ්චාත් නූතන යන්නේ අර්ථය. ඕන ම
අයෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් තත්වයක්
තියන නිසා පශ්චාත් නූතන කලාව කියන එක නිරර්ථක, අර්ථ විරහිත තත්වයක්. හැබැයි බටහිරට
අයත් පශ්චාත් නූතනවාදය සහ පශ්චාත් නූතන කලාවට අයිති දේවල් ගැන කතා කරන විට මීට වඩා
පොහාසත් බවක් තිබුණා. මොකද ඒ අයගේ සම්ප‍්‍රදාය ප‍්‍රබලයි. නූතනවාදයත් ප‍්‍රබලයි.
එය පසුපස තිබුණු මුලු ටිකත් ප‍්‍රබලයි. මෙහෙ එහෙමත් නෑනේ. ඒ නිසා මෙහෙ තිබුණ
වැදගත් දෙයට පහර දෙන්න ඊර්ෂ්‍යාවෙන් සහ නොහැකියාවෙන් පිරුණු මිනිස්සු පශ්චාත්
නූතනවාදය ගත්තා. සරලව කියුවොත් වාක්‍යක් හොඳට ලියන්න බැරි නම්, ඒකට කියන්න පුළුවන්
පශ්චාත් නූතන විදිහට මෙහෙම තමයි ලියන්නේ කියලා. උපමා රූපකවලින් වර්ණනා කරන්න බැරි
මිනිහට කියන්න පුළුවන් උපමා රූපක වැඩක් නෑ කියලා. කවි ලියන්න බැරි මිනිහට කියන්න
පුළුවන් කවි ඕන එකක් පොයටි‍්‍ර කියලා.
ලංකාවේ පශ්චාත් නූතනවාදය ක‍්‍රියාත්මක වෙන්නේ ඒ වගේ බාල තලයක. අන්න ඒ නිසා ඔය
පශ්චාත් නූතනවාදී කියන දේවල් කරන බහුතරයාගේ සීයට අනූවකගේ ම තියන ප‍්‍රශ්න තමයි ප‍්‍රතිභා
හීනකම, දැනුම හීනකම
සහ මංමුලාව. මං මේක ඉතාමත් විවෘතව කතා කරනවා වගේ ම මේ ගැන සංවාදයකට උනත් සූදානම්.
ලංකාවේ මේ ඇති වෙලා තියන ඛේදවාචකය පශ්චාත් නූතනවාදය පිළිබඳ ප‍්‍රශනයක් නෙවෙයි.
පශ්චාත් නූතනය කියන ලේබල් එකට ඌණ ප‍්‍රතිභා සහිත මිනිස්සු ටිකක් තමන්ගේ නොහැකියාව
වහගන්න පශ්චාත් නූතනවාදය කියන රෙද්ද ඇඳගෙන. උදාහරණයක් වශයෙන් ඩෙරීඩා ගත්තොත්
ඩෙරීඩාගේ මුල් ලේඛනවලින් පේන්නේ (ඉංග‍්‍රිසියෙන් තියන ලේඛනවල) ඉතා ම විශිෂ්ට සාහිත්‍යමය
භාෂාවක් යටතේ එය ලියවුණු බවයි. ඔහුගේ මතය කුමක් වුවත් විශිෂ්ට රසයක් ඒවගේ තියනවා.
නමුත් ලංකාවේ පශ්චාත් නූතනවාදය ගෙන ආ
කිහිප දෙනෙකුට ඇරෙන්න අන් අයට එහෙම තත්වයක් නෑ. ඊට පස්සේ විශාල පරම්පරාවක් තමන්ගේ
නොහැකියාව, අධ්‍යපනය බිඳ
වැටීම්, රසඥතාවය බිඳ
වැටීම ආදියෙන් බේරෙන්න ඇඳපු රෙද්දක් තමයි පශ්චාත් නූතනවාදය.
- ·
වර්තමානයේ ඉන්න
විචාරකයන් අතින්
සැබෑවට ම සාහිත්‍ය විචාරය සිදු
වනවාද?
සාහිත්‍ය විචාර කියන
එක සිද්ද කරන්න පුළුවන් විචාරකයෝ ලංකාවේ නැතුවා නොවෙයි. ඒ අය මාධ්‍ය වලින් හංගලා.
ගොඩක් වෙලාවට මාධ්‍යවලට ගන්නෙ ම අර පශ්චාත් නූතන කොටස අල්ල ගත්තු හරියට වාක්‍යක්
ලියන්න බැරි අය. නමුත් දැන් ආයෙ ම ප‍්‍රවණතාවයක් තියනවා මාධ්‍යකරුවන්ට ඉව වැටිලා.
ඉතින් ඒ අය මතු වෙයි. නමුත් එතනදිත් ගැටලූවක් තියනවා. අලූතෙන් ආපු දැනුම් පද්ධති,
අලූතෙන් ආපු වචන එක්ක
පැරණි පුද්ගලයෝ අනවශ්‍ය විදිහේ වෛරයක් හදා ගන්නවා. ඒ වෛරය නූතන පරම්පරාවටත් පැරණි
ඒවත් එක්ක තියනවා. මේ දෙක ම විය යුතු නෑ. දෙකේ ම සංකලනයක් තියෙන්න ඕන. දෙපැත්ත ගැන ම අවබෝධයෙන් ඉන්න ඕන. මං මේ පරම්පරා දෙක ම අතර සම්බන්ධය ගෙන යන
කෙනෙක්. ඒ නියෝජනය තියෙන කෙනෙක්. ඒක දකින කෙනෙක්. විචාරකයෝ ගැන කතා කරද්දි නම් ගම්
කියන්න අවශ්‍ය නැතත් හොඳ විචාරකයේ ඉන්නවා කියලා කිවුවම ඇති. නමුත් මේ හොඳ විචාරකයෝ
පවා යට වෙලා තියනවා අන්තර්ජාලයෙන් ගන්න තියරි පොඩ්ඩකට. ඉස්සෙල්ලා කෘතියක් විග‍්‍රහ
කරන්න ඕන. ඒ කතුවරයාගේ පසුබිම, ඉපදුණු කාලය, ගැන දීර්ඝව
ලියන්න ඕන. ලංකාව තුළ 50 වල හොඳ පොත්
පරිවර්තනය වෙන්න ගත්තා. හොඳ විචාර සංවාදයක් ඇති වුණා. නමුත් එතනින් එහාට ඒ සංවාදෙ
දියුණු වුණේ නෑ. අපි කරන්න ඕන විචාර කෘති
පරිවර්තනය කරන එක. විචාර කෘති පරිවර්තනය වෙන්නේ නැත්තේ ඒකට වෙළඳපලක් නෑ. ඒ වෙළඳපල
හදන්න විශ්වවිද්‍යාල, රජය මැදිහත්
වෙන්න ඕන. බටහිර විචාර පොත් විතරක්
නෙවෙයි. සංස්කෘත වේවා, දෙමළ වේවා,
වෙනත් ඕනම විචාර පොතක් මීට අයිතියි. විචාරය පිළිබඳ
විශාල අර්බුදයක් තියනවා. තැනින් තැන විචාරය සිදු කිරීමට වඩා කළ යුත්තේ ඒ විචාරයේ මූලික ග‍්‍රන්ථ පරිවර්තනය වීම,
සහ විශේෂයෙන් ලංකාවේ
නූතන සාහිත්‍ය ගැන පවා නිරවුල්ව, ඓතිහාසික ක‍්‍රම විකාශනය ගැන ලියන ලේඛකයෝ සහ පාඨකයෝ
පිරිසක් ගොඩ නගා ගන්න එක. ඒක ලොකු කර්තව්‍යක්. අපි ඒකට උත්සහ කරනවා. අපි බලමු.
- ලංකාවේ තියන සාහිත්‍ය සම්මාන
හැමදාම කැරකෙන්නේ එක ම ලේඛක කණ්ඩායමක් වටා. ඒ සම්මාන ක‍්‍රමවේද ගැන ඔබ හිතන්නේ
මොකක්ද?
ඇත්තටම පුළුල්
අර්ථයෙන් ගත්තොත් සාහිත්‍ය සහ සම්මාන අතර කිසි ම සම්බන්ධයක් නෑ. උදාහරණයක් විදිහට
සාහිත්‍ය කියන්නේ එක්තරා මිනිස්සු කණ්ඩායමක් ඉතිහාසයේ යම් යම් යුග වලදී ඒ අවශ්‍යතා
අනුව ගොඩ නගා ගත් දෙයක්. සම්මාන කියන්නේ ඒ දේ කරගන්න බැරි මිනිස්සු කණ්ඩායමක්
විසින් ඒ දේට සම්බන්ධ වෙන්න හදාගත්තු වෙනම වැඩපිළිවලක්. එතනත් පොඩි ප‍්‍රශ්නයක්
තියනවානේ මං මෙහෙම කියනකොට. උදැහරණයක් විදිහට ගත්තම සම්මාන කියන්නේ මණ්ඩලයකින්.
රජයෙන් හෝ පිළිගත් පාර්ශවයකින් දෙන දෙයක්නේ. එතකොට සාහිත්‍යකරුවා කියන්නෙ ම ගැඹුරු
අර්ථයෙන් පිළිගත්ත දේත් එක්ක ගැටෙන කෙනෙක්. ඒක හරි උත්ප‍්‍රාසාත්මකයිනේ. සරලව
කීවොත් සම්මාන ලැබෙන පොතක් තියනවානම් ඒ පොත ගැන සැක කරන්න ඕන. සංස්ථාපිත මතවාදයක් තියෙන්න ඕන. එක්කෝ මිතුරු කණ්ඩායමක් සම්මානිත පුද්ගලයා
අල්ලා ගැනීමක් සිදු කරන්න ඕන. එතකොට
සම්මාන ලැබෙන හැම පොත ම නරකයි කියලා කියන්න බෑ. නමුත් ලංකාවේ ඉන්න සාහිත්‍යකරුවෝ
සමාජය වෙන්වෙන් හරි තමන්ගේ ජීවිතේ වෙනුවෙන් හරි බරපතල සටනක් කරන්නේ නෑ. ටෝල්ස්ටෝයි
වගේ අය තමන්ගේ පවුල අත්හැර රණ්ඩු වෙලා ගිහින් සාහිත්‍ය කරපු මිනිස්සු, මැක්සිම් ගෝරිකි වගේ
පාරේ ඇවිදපු මිනිස්සු ලංකාවේ නෑ. ලංකාවේ ඉන්නේ දෑවැද්දත් එක්ක ගෑණියෙක් ගන්නවා වගේ
සාහිත්‍ය ගැනත් හිතන මිනිස්සු. ඒ කියන්නේ පුවත්පතක් හරහා ජනප‍්‍රිය වෙන්න, රූපවාහිනියේ පෙනී
හිටින්න, යම් කිසි
මුදලක් ගන්න වගේ දෙයක් ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනවා. මේක හරිම කණගාටුදායකයි.
ලංකාවේ පහල මධ්‍යම පන්තියෙන්නේ ඔය සාහිත්‍යකරුවෝ බිහි වෙලා තියෙන්නේ. ඒ අය ඇත්තට ම
ලෝකයේ සාහිත්‍යකරුවොත් එක්ක ගත්තම ඉතාමත් සුළු සාහිත්‍යකරුවෝ. මං වුණත් එහෙමයි. ඒක
මං දන්නවා. ඒ බවක් දැන හෝ නොදැන තමන්ගේ කල්ලි කණ්ඩායම් අටවගෙන මේ සම්මාන ගැනීම අපි
දකින්න ඕන අනුකම්පාවෙන්. ඇත්තටම එ වැනි
සාහිත්‍යකරුවන් අභ්‍යන්තරයෙන් ඉතාමත් දුගී. ඔබ මාධ්‍යකරුවෙක් විදිහට හිතලා බලන්න
මේ වගේ සාකච්ඡුා කිහිපයක් ඔබ දිගට ම කළොත් සාහිත්‍යකරුවන් කී දෙනෙක් ඔබෙන් අවස්ථාව
ඉල්ලයි ද කියලා. මහා චරිත කියලා හිතන් ඉන්න අය ඇතුළේ කිසි දෙයක් නෑ. ප‍්‍රසිද්ධිය
තමයි ඒ අයට අවශ්‍යය. ඒ නිසා සම්මාන එක්ක වැඩ කිරීම අපි දකින්න ඕන සාහිත්‍යයේ ගැඹුරු අර්ථයට පටහැනි සහ මධ්‍යම
පන්තියේ ජරා විලාසිතාවක් හැටියට. මං දකින්නේ ඒ විදිහට. රැකියාවක් කරලා මුදල් ලබා
ගන්නවාට වඩා වෙනම කතාවක් එතන තියනවා. ලංකාව මේ ඛේදවාචකයේ එක් ගොදුරක්.
- ·
වර්තමානයේ දී
සරසවි අධ්‍යාපනය තුළින්
සාහිත්‍ය
ක්ෂේත‍්‍රයට අදාළ දක්ෂ නිර්මාණකරුවන් බිහිවීම වෙනුවට කටපාඩම් ශෛලියෙන් විභාග ගොඩ
යන උපාධිධාරීන් බිහිවීම ගැන සමාජය තුළ කතිකාවක් ගොඩනැගිලා තියනවා. ඔබ සරසවි ඇදුරෙක්
හැටියට මේ ගැන මොකද කියන්න තියෙන්නේ?
කොහොමත් විශ්වවිද්‍යාල
පද්ධතියේ යම් යම් දේ පිළිබඳ විවේචන මා සතුව තියනවා. මුල ඉඳලම ලංකාවේ යම් කාල
වකවානුවකින් පස්සේ විචාර චින්තනය ගොඩ නගන අරමුණක් නොමැතිව තමයි මේ ක‍්‍රියාත්මක
වෙමින් යන්නේ. සාහිත්‍යකරුවෝ විතරක් නෙවෙයි කිසිම ආකාරයේ ස්වාධීන මිනිහෙක් බිහි
වෙන්න මේ අධ්‍යාපන ක‍්‍රමයේ ඉඩ නෑ. සාහිත්‍ය කියන්නේ බොහො ම විචාරශීලී සහ
තර්කානුකූල දෙයක්නේ. සාහිත්‍යකරුවෙක් නෙවෙයි අඩු තරමේ තමන්ගේ ගුරුවරයා ඉදිරියේ
නැගිටලා ගුරුවරයාගේ අදහසට තර්කයක් ඉදිරිපත් කරන්නවත් පුළුවන් මිනිහෙක් බිහි කරන
අධ්‍යාපන ක‍්‍රමයක් ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය තුළ නෑ. ඇත්තටම ලංකාවේ සියලූ ප‍්‍රශ්නවලට
මුල අධ්‍යාපනය. විශේෂයෙන් උසස් අධ්‍යාපනය. ඒ ගැන දීර්ඝව සාකච්ඡා කළ යුතුයි. අපිට
අවශ්‍ය වන්නේ සොක‍්‍රටීක අධ්‍යාපන ක‍්‍රමය. ඒ කියන්නේ ප‍්‍රශ්න සහ උත්තරවලින්
කෙරෙන කතා බහක්. එවිට තමයි හැමෝගෙ ම මානසික පීඨ විවෘත වන්නේ. දැනට අපි යන්නේ විභාග
කේන්ද්‍ර කරගත් ක‍්‍රමය. ඒවා ඇත්තටම සහතික විහිලූ විදිහටයි සලකන්න පුළුවන්. මේ
සහතික විහිලූව තුළ සාහිත්‍යකරුවෙක් නෙවෙයි, සාමාන්‍ය නිර්මාණශීලි ලිපිකරුවෙක්වත් බිහි
වෙන්නේ නෑ. මේ බිහිවෙන සාහිත්‍යකරුවෝ සිය මහන්සියෙන් බිහි වුණු අය මිසක් විශ්වවිද්‍යාලවලින්
බිහි වූ අය නොවෙයි. විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන කවදාවත් සාහිත්‍යකරුවෝ බිහි වෙන්නේ
නෑ. ඒක සිහිනයක්.
සටහන: නලිනිකා ලක්ෂාණි