ළඟම ලිපිය

Monday, August 29, 2016

උඩරට නර්තනයේ වෙස් ඇඳුම් කට්ටලයෙන් නිරූපිත අන්තර් සංස්කෘතික සන්නිවේදනය
අන්තර්ජාලයෙනි

අන්තර් සංස්කෘතිය ගෝලීය වශයෙන් ඉතාමත් වැදගත් විෂයක් වන අතර අන්තර් සංස්කෘතික සන්නිවේදනය යනු සංස්කෘතික අධ්‍යයනයේ මුහුණුවරයි. එකිනෙකට වෙනස් සංස්කෘතීන් තුළ වෙසෙන ජනතාව එකිනෙකට සන්නිවේදනය කරගන්නේ කෙසේද යන්න අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී අධ්‍යයනය යුතු ය. එක් සංස්කෘතියක් තුළ ප‍්‍රබල නව සංස්කෘතිකාංගයන් ජනිත වීමට අන්තර් සංස්කෘතිය බලපාන්නේ කෙසේද යන්න විමසිය යුත්තේ අදාළ නව සංස්කෘතිකාංගයේ මුල් ලක්ෂණ විමර්ශනය කිරීමෙනි.

නැටුම හෙවත් නර්තනය ප‍්‍රසාංගික කලාවක් ලෙස හැඳින්වේ. නැටුම යන්න සන්නිවෙදන මාධ්‍යයකි. නැට්ටුවා සහ පේ‍්‍රක්ෂකයා අතර පවතින්නේ අනුල්ලංඝණීය බැඳීමක් මෙන් ම අන්‍යෝන්‍ය සන්නිවේදනයක් සිදුවේ. කන්ද උඩරට නර්තන කලාව ලාංකීය අනන්‍යතාවය තහවුරු කරන ලක්ෂණ රැසකින් සමන්විත ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයකි. වෙස් නැට්ටුවන් හට දලදා පෙරහැරෙහි කංකාරී දෙවොල් සීමාවෙන් පිටතදී නැටුම් ඉදිරිපත් කරීමට අවස්ථාව ලැබුණේ 19 වන සියවස අග භාගයේ සිටය. විචිත‍්‍ර වෙස් ඇඳුමෙන් සැරසුණු වෙස් නර්තන ශිල්පියා උඩරට නර්තනයේ ප‍්‍රතිමූර්තියක් බඳුය. වෙස් නර්තන ශිල්පියා යොදා ගන්නා වෙස් ඇඳුම් කට්ටලය ද අප රටට ම ආවේණික සංස්කෘතියක් විදහා පාන්නේ විවිධ සන්නිවේදනාර්ථ සහ සංඥාර්ථ තුළිනි. අනාදිමත් කාලයක පටන් වෙස් ඇඳුම් කට්ටලයට හිමි වන්නේ පූජනීය ස්ථානයකි. නර්තන ශිල්පීන් ඉතාමත් ගෞරවයෙන් මෙම වෙස් ඇඳුම් කට්ටලය භාවිත කරයි. නැට්ටුවා වෙස් ඇඳුම, කාලය, අවකාශය භාවිත කරමින් විවිධ අර්ථ ප‍්‍රකාශ කරයි. වෙස් ඇඳුම පැළඳගෙන සිටින්නෙකු වෙස් නැට්ටුවෙකු ලෙස නිර්වචනය කර ගැනෙන්නේ සංස්කෘතිකමය පදනමකිනි.


ලිපියේ අරමුණ වන්නේ සංස්කෘතිකාංගයක් වශයෙන් හඳුනාගන්නා උඩරට වෙස් ඇඳුම් කට්ටලයෙන් නිරූපිත අන්තර් සංස්කෘතික සන්නිවේදනාත්මක ලක්ෂණ විමර්ශනය කිරීමයි. වෙස් ඇඳුම් කට්ටලය නිර්මාණය වීමේ පුරාණෝක්ති, මතවාද, සාක්ෂ්‍ය ආදිය ගවේෂණය කිරීමෙන් මේ පිළිබඳ අධ්‍යයනය කෙරේ. වෙස් ඇඳුමට කාලයත් සමඟ මුල් කාලීනව මෙන් ම පසු කාලීනව එක් වූ අංගයන් පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් කෙරේ.  සංස්කෘතිකාංගයක් ලෙසින් බිහි වී විවිධ සන්නිවේදනාර්ථ නිරූපණය කරන්නා වූ උඩරට වෙස් ඇඳුම් කට්ටලය අන්තර් සංස්කෘතීන් වල සම්මිශ‍්‍රනයක් ද යන්න මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටළුවයි. සියල්ල විමර්ශනය කිරීම සඳහා වෙස් ඇඳුම් කට්ටලයේ ඉතිහාසය මෙන් ම පුරාණෝක්ති පිළිබඳ අවධානය යොමු කෙරේ.

සංස්කෘතිකාංගයක් වශයෙන් හඳුනාගන්නා උඩරට වෙස් ඇඳුම් කට්ටලයෙන් නිරූපිත අන්තර් සංස්කෘතික සන්නිවේදනාත්මක ලක්ෂණ විමර්ශනය කිරීම සහ වෙස් ඇඳුම් කට්ටලය අන්තර් සංස්කෘතින් වල  සම්මිශ‍්‍රනයක් බව හඳුනා ගැනීම.
වෙස් ඇඳුම් කට්ටලය පිළිබඳ නර්තනය හා සම්බන්ධ සාහිත්‍යයේ සහ ප‍්‍රායෝගිකව පවතින අර්ථය

රාජ ආභරණ කට්ටලයක් සංකේතවත් කරන්නක් බව


මෙහිදී සිංහල සංස්කෘතිය තුළ හා සිංහල නර්තන කලාව තුළ වෙස් ඇඳුම් කට්ටලයට ලැබී ඇති අර්ථය පිළිබඳ ව සාකච්ඡුා කෙරේ. යක්දෙස්සන්ගේ විශ්වාසයන් ට අනුව වෙස් ඇඳුම යනු මුලින් මලය රජු භාවිත කොට පසුව කොහාඹා දෙවියන් ඇඳි ඇඳුම් කට්ටලය බවට හඳුනා ගනී. යක්දෙස්සන්ට වෙන වෙනම ඇඳුම් කට්ටල ඇතත් ඒවායින් සංකේතවත් වන්නේ මලය රජුගෙන් ලැබුණු ඒ දිව්‍යමය ඇඳුම් කට්ටලයයි.

කොහොඹා කංකාරී ශෘන්තිකර්මයේදී යක්දෙස්සා, මලය රජතුමා නියෝජනය කරයි (දිසානායක, පි.49). පොදුවේ සලකා බලන විට මෙයින් අර්ථවත් වන්නේ මෙය මලය රජුන්ගේ ඇඳුම් කට්ටලයයියන්නයි. මෙම ඇඳුම් කට්ටලයට ඇති ව්‍යූහගත අර්ථයට අනුව එය ආභරණ හැට හතරකින් සමන්විතය. සිව් සැට කලා, සිව් සැට මායම් ආදිය සිහි කළ ඉතිහාසඥයන් මෙම සංඛ්‍යාව ම අනුව යමින් ආභරණ ද හැට හතරක් (සිව්සැට) ලෙස අර්ථ දක්වා ඇති බවයි (ආරියපාල, පි 49. කොහොඹා කංකාරියේ මහායාතිකාව නම් කවි ගායනා වල දී සිව් සැට ආභරණ දැක්වේ.)

......තෙවලූ නව නරු තබා දිව පිළි අන්දවමින්, ඉඳු මිණි රන් ඔටුන්න, රන් පිට ජටාව, යගප් ජටාව, රටාරැළ, පාඉම් පොත, සිඛා බන්ධනේ, නිත්ති මාල, නළල් සැද, කෙවුරාභරණ, කර්ණාවතංස, කර්ණ සූත‍්‍ර, තෝඹු පත‍්‍ර, කර්ණ කුණ්ඩල ආභරණ, ඒක වැල ගෙල, මුතුමාල, මිණි මුතු මාල, රන් මුතු මාල, රන් පෙති මාල, ලිය රන් මාල, වට රන් මාල, රුවන් මාල, රන් මිණි මාල, තුන් කොන් මාල, සිව් කොන් මාල, රන් දම්, මුතු දම්, සසත් දම්, රිදී දම්, මිණි දම්, රන් වැල, මුතු හැර, අවුල් හැර, පස් පෙරහැර, පස් රූ, රන් සවඩි, නිල් මිණි සවඩි, දෙව් රන් මල, හස්ත මෙත්ත බාහු, දණ්ඩි, කටක, මිණි බණ්ඩි, පත‍්‍ර වළලූ, රන් ගිරි වළලූ, හස්ත මුද්‍රික, හස්තාංගුලි, ඉණ සැද, ඉණ සැදුම, උදර බන්ධන, මකරපට, උරජාල, පාදජංඝා වළලූ, පාසළඹ, නූපුරු පාද සංඛ ජාල, පාද ජාල, කිංකිණි ජාල, පාද මුදු, පාදාංගුලි යනාදී සිවුසැට ආභරණයෙන් සැරසී....”(ගුණවර්ධන, 50).

මෙය වෙස් ඇඳුම පිළිබඳව නර්තනය හා සම්බන්ධ සාහිත්‍යයේ ව්‍යූහගත ව පවතින අර්ථයයි. සිංහල සමාජය තුළ මුල් බැස ඇති රාජාභරණ හැට හතරක් පිළිබඳ අදහස වෙස් ඇඳුම හා සම්බන්ධ ආභරණ හැට හතරක් පිළිබඳ ව්‍යවහරයක් ඇති වීමට හේතු වන්නට ඇත. රජකුටආභරණ කට්ටල් දෙකක් තිබී ඇත.

1. රාජ කකුධ භාණ්ඩ
2. පෞද්ගලික ආභරණ

මෙයින් පෞද්ගලික ආභරණ කට්ටලයේ ආභරණ ගණනින් හැට හතරකි.

අංගදාභරණය, අවුල්හර, බාහු දණ්ඩි, ඒකා වැල, ගලමුතු මාල, ගෙල මුතු මාල, ගිගිරි වළලූ, හස්ත මුද්‍රිකා, හස්තාංගුලි, හිනසැද, ජංඝා වළලු, කාදුකාප්පු, කර්ණාවතංසය, කර්ණකුණ්ඩලාභරණ, කට්ටොඩම්, කයිපොට්ටු, කෙයුරාභරණ, කිංකිණික ජාල, මකරපට, මණිකයි වඩම්, මණි වළලූ, මුතු දම්, මුතු පට, නාග වඩම්, නාග පට, ඔටුණු පාදාභරණ, පාද ජාල, පාදාංගුලි, පාදසිරි, පා සලඹ, පාද සංඛලා, පස් පෙරහර, පස්රූ, පත‍්‍ර වළලූ, රන්දම්, රන් පට, රන් සවඩි, රිදී දම්, රුවන් වැල, සද්දම්, තාඩංක, තිසර පට, උදර බන්ධන, ඌරු ජාල, දර්ශන මාල, ශ‍්‍රීවාලංකාර, ජංගා පත‍්‍ර, කර්ණ සූත‍්‍ර, මෙවුල් දමු, මිණි බන්ධි, මුත්හර, මුතු සවඩි, නිල් මිණි සවඩි, පබළු දම්, පදක්කම්, රජත සවඩි, රන් මිණි සවඩි, රන්පෙති මාල, සිත්තුදම්, ෂත් රුවන් වැල, සිව්කොත් මාල, තුන් කොත් මාල (ආරියරත්න, 49-58).

මෙම ඇඳුම් කට්ටල දෙකෙහි බොහෝ සමානකම් හඳුනාගත හැකිය. මේ අනුව බලන කල වෙස් ඇඳුම් කට්ටලයෙන් මලය රජු කෙසේ වෙතත් අවම වශයෙන් රජ කෙනෙකුවත් සංකේතවත් කිරීමට යක්දෙස්සන් විසින් උත්සහ කොට ඇති බව දක්නට ලැබේ. මලය යනු රජකු බැවින් රජකුගේ ආභරණ කට්ටලයේ ආභරණ 64 ක් තිබිය යුතු යැයි යක්දෙස්සන් උපකල්පනය කරන්නට ඇත. මෙම උපකල්පනය මත පිහිටා කොහොඹා කංකාරියේ කවි ගායනා ආදී සාහිත්‍ය නිර්මාණය සිදු වන අවධියේ තත්කාලීන සමාජයේ පැවති ජනසම්මත රාජ ආභරණ 64 ඔවුන් තම කවි ගායනා වලට එකතු කර ගන්නට ඇත.

වෙස් ඇඳුමේ ව්‍යුහගත අර්ථය එසේ වුව ද ප‍්‍රායෝගික අර්ථය එසේ නොවේ. එහි ආභරණ 64 ක් ඇතැයි සඳහන් වුව ද වර්තමාන වෙස් ඇඳුම් කට්ටලයේ දක්නට ඇත්තේ ඇඳුම් ආභරණ කොටස් විස්සක් පමණය. ඒවා මෙසේය. ජටාව, ජටාවැල (ඒකාවැල, ජටාපටිය), පායිම් පත, ශිඛා බන්ධනය (වෙස් තට්ටුව), නෙත්තිමාලය, තෝඩුපත්, කරමාලය (කරපටිය), අවුල්හැරය, දෙඋරබාහු, බන්දි වළලූ, කෛමෙත්ත, හස්තකඩ, ඉණ පටිය, ඉණ හැදය, දෙවල්ල (නරු), හඟල, රෙද්ද, පොත් පොට, උල්උඩය, මේස් කලිසම, සිලම්බු (දිසානායක, 50).
කොහොඹා කංකාරී සාහිත්‍යයෙන් කියවෙන ආභරණ හැට හතර ම වෙස් නැට්ටුවන් අතීතයේදී වත් පැළඳූ බවක් නොපෙනේ. සංඛ්‍යාත්මක අගය මුලින් තිබුණු ගණනේ සිට විස්ස දක්වා අඩු වූ බවට තර්ක කළ හැකිය. එබදු තර්ක දෙයාකාර විය හැකිය.

  •  සාහිත්‍යයේ හා ජනප‍්‍රවාදවෙය් කියවෙන පරිදි පරිත්‍යාග කර ගොස් ඇත්තේ ඔහුගේ ඇඳුම් කට්ටලයෙන් අර්ධයක් පමණක් වන හෙයින් වෙස් ඇඳුම් කට්ටලයේ ඇඳුම් හා ආභරණ ගණන 64 නොව 32 ක් විය යුතුයි.
  • මුලින් තිබූ ආභරණ ගණන කුමක් වුවත් කාලයාගේ ඇවෑමෙන් ඇතැම් ආභරණ භාවිතයෙන් ගිලිහී ගොස් වර්තමානයේ පවතින ගණන දක්වා අඩු වන්නට ඇත.

මෙම තර්ක දෙකම එක් කොට මලය රජු සිය හැට හතරක් වූ ඇඳුම් හා ආභරණ අතරින් 32ක් පරිත්‍යාග කරන්නට ඇතත් එයින් අද වන විට භාවිතයේ ඇත්තේ 20ක් පමණක් යැයි උපකල්පනයක් ඉදිරිපත් කළ හැකිය. කෙසේ වෙතත් වෙස් ඇඳුම් කට්ටලයේ අද පවතින ඇඳුම් ආභරණ විස්ස රාජාභරණ හැට හතරෙන් විස්සක් යැයි සිතීමට තරම් ප‍්‍රමාණවත් සාධක නොමැත. මලය රජුගේ ඇඳුම ආශ‍්‍රයෙන් වෙස් ඇඳුම නිර්මාණය වී ඇති බව ජනප‍්‍රවාදයෙහි සඳහන් වන අතර මෙම ඇඳුමට සූසැට ආභරණ ද ඇතුළත් වූවත් එසේ සූසැට ආභරණ පැළඳීම වස් වැදීමකට හේතුවේ යැයි සිතා උඩරට නර්තනයේ දී අඳිනු ලබන්නේ ඉන් සමහරක් යන්න ද තවත් මතයකි .වෙස් ඇඳුම් කට්ටලයේ සහ සිව් සැටක් රාජාභරණ අතර යම් සමානතා ද ඇති බැවින් මෙය තව දුරටත් අධ්‍යයනය කළ යුතු ගැටළුවක් බව පැහැදිලිය.

වෙස් ඇඳුම් කට්ටලයෙන් දේව ආභරණ කට්ටලයක් සංකේතවත් වන බව බව

කොහොඹා කංකාරියේදී වෙස් ඇඳුම් කට්ටලය කොහොඹා දෙවියන්ගේ ඇඳුම් කට්ටලය ලෙසින්   සලකනු ලබන අතර වලියක් මංගල්‍යය ශාන්තිකර්මයේදී එය වලියකුන්ගේ ඇඳුම ලෙසින් ද පිළි ගැනේ (දිසානායක,50). මෙහි දේව බලයක් ගැබ් වී ඇතැයි බොහෝ යක්දෙස්සන් සහ සිංහල බෞද්ධ ජනතාව විශ්වාස කරයි. අසනීපයක් හෝ කරදරයක් සිදු වූ කල වෙස් ඇඳුමක් ඇති තැනකට ගොස් දෙවියන් සිහි කොට පඩුරු බැදීම ඇතැමුන්ගේ සිරිතකි (සේදරමන්, 168). මෙනයින් බලන කල පැහැදිලි වන්නේ වෙස් ඇඳුම අන්තර් සංස්කෘතික සංකේතාත්මක ඇඳුමක් (Inter cultural Symbolic dress) බවයි.  සංකේතාත්මක ඇඳුම් භාවිතයක් බාලි රටේ නැටුම් වල ද පවතින බව අන්තොනින් අර්තො (Antonin Artaud) දක්වා ඇත.
වෙස් ඇඳුම් බහාලන පෙට්ටිය අවශ්‍යතාවයකට මිස වෙනත් කිසිඳු අවස්ථාවකට පාවිච්චි නොකරයි. එය ඉතා ගරු සැලකිල්ලක් ඇතිව දෑත් ඔසවා වැඳ අතට ගන්නා අතර කිසියම් උඩකින් තබා වැඳ නමස්කාර කරයි. වෙස් ආභරණ නිවසින් පිටත සෑදූ දේවාලයක තැන්පත් කර ඇත. අවශ්‍ය මොහොතක එම දේවාලය තුළදී ම අඳිනු ලබන අතර අවසානයේ එම දේවාලය තුළ දී ම ගලවා තැන්පත් කරයි. මෙයතු පාරම්පරික ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය.  ඕනෑම නැට්ටුවෙකුගේ නිවසක ම මෙම දේවාලයක් ඇති අතර විශේෂ පුද පූජා ක‍්‍රම මගින් මෙම දේවාලය නමස්කාර කරයි. වර්තමානයේ මෙම ක‍්‍රමය වෙනස් වී ඇති වුව ද වෙස් ඇඳුම් සහිත පෙට්ටියට කරනු ලබන ගරු සැලකිල්ලෙහි නම්, අඩුවක් දක්නට නොලැබේ.

වෙස් බැඳි නැටුම් ශිල්පියෙකුට ආවේණික වූ පරිපූර්ණ ඇඳුම බොහෝ අලංකාරයෙන් යුක්තය. එය වෙස් ඇඳුම් කට්ටලය ලෙස හඳුන්වන අතර විවිධ සැරසිළිවලින් අලංකාර කරන ලද මෙම ඇඳුම, නැටුම් ශිල්පියාගේ හිසේ සිට දෙපතුළ දක්වා සරසන විවිධ අංගයන්ගෙන් යුක්තය.

ජටාව,
ජටා පටිය,
පායිම්පත,
සිඛාබන්ධනය,
දෙව්ර මාල,
නෙත්ති මාලය,
තෝඩුපත්,
කරපටිය,
අවුල්හැරය,
බණ්ඩි වළළු,
කයිමෙත්ත,
ඉන හැඩය,
බුබුළු පටිය,
දෙවල්ල,
නරු,
පොත්පොට,
හඟල,
උල්ලූඩය,
නිසංසඟල හා
සිලම්බු
යන අංගයන්ගෙන් වෙස් ඇඳුම සමන්විත වේ. මුල්කාලීන වෙස් ඇඳුම හා සැසඳීමේ දී වර්තමානයේ මෙම ඇඳුමේ ඇතැම් අංග වෙනස් වී ඇති ආකාරයක් හඳුනාගත හැකිය. මුල් කාලීන වෙස් ඇඳුමේ ඉනට බඳින පටිය හෙවත් පොත්පොට වෙනමත්, දෙවල්ල නමින් හඳුන්වන තනි රෙද්දෙන් සංයමයකින් යුක්තව ඉතා අලංකාර අයුරින් තබන ලද රැුලි වෙනමත් දක්නට වූ අතර අද වන විට එකට තබා මසනු ලැබූ පොත්පොටත් දෙවල්ලත් දැකිය හැකිය. ඉතා පහසුවෙන් මෙය ඇඳීම සිදු කළ හැකි වුවත් උඩරට වෙස් ඇඳුමේ වූ ගාම්භීර බවට ඉන් හානි පැමිණ වී ඇති බව නැටුම් ශිල්පයෙහි ප‍්‍රවීණයන්ගේ අදහසයි. එමෙන් ම වෙස් පෙට්ටියේ පෙති 7ක් මුල් කාලීනව දැක ගත හැකි වුවත් වර්තමානයේ වෙස් පෙට්ටියේ පෙති 13 ක් දක්නට ලැබේ.

උඩරට වෙස් ඇඳුමට සමානතා දක්වන වෙනත් ඇඳුම්

වෙස් ඇඳුම ඇතැම් දේශීය ඇඳුම් සමඟ ඥාතී සබඳතා පවත්වන බව විද්‍යමාන වේ. වෙස් නැට්ටුවාගේ ඉණෙන් පහළ ඇඳුම් සලකා බැලූ කල එය අඳිනු ලබන ක‍්‍රමය උඩරට නිළමේවරයෙකුගේ ඇඳුමේ යටි කොටස අඳිනු ලබන ආකාරයටත් (රූපය 01) බෞද්ධ භික්ෂුවක ස්වකීය උපසම්පදා කර්මයේදී අඳින ඇඳුමේ යටි කොටස අඳින ආකාරයටත් (රූපය 02) යම් කිසි සමානකමක් දක්වන බව මුදියන්සේ දිසානායකයන්ගේ මතයයි (මන්තිලක, 66).
01

02



එහෙත් ඇතැමෙකුට අනුව මෙය විදේශීය, විශේෂයෙන් ම ඉන්දියානු ඇඳුම් පැළඳුම් වලට වැඩි නෑකමක් දක්වයි. වෙස් ඇඳුමේ හිසට පළඳින ශීර්ෂාභරණ කොටස මලබාරයේ රාජකීය ශීර්ෂාභරණයේ අනුකරණයක් බව ද දැක්වේ. එදිරිවීර සරච්චන්ද්‍රයන් දක්වන ආකාරයට වෙස් ඇඳුමේ යටි කොටස අඳින්නේ ගුජරාටි ධෝතිය අඳින ක‍්‍රමයටයි. වෙස් ඇඳුම් කට්ටලයට සමාන ඇඳුම් කට්ටලයක් දකුණු ඉන්දීය තෙයියම්නම් නැටුමේ දී (රූපය 03) යොදා ගැනෙන බව මුදියන්සේ දිසානායකයන් පවසයි. වෙස් ඇඳුමට සමාන ඇඳුමක් බෙංගාලී දඩයම්කරුවන් අඳින්නට ඇතැයි  ද මතයක් පවතී (කළුආරච්චි, 238).
03


වෙස් ඇඳුම් කට්ටලයේ තෝරා ගත් ආභරණ කිහිපයක ව්‍යූහගත අර්ථය.

සිවිලිය යනු දේවාභරණයකි. මෙවැනි සිවිලි මහනුවර විෂ්ණු දේවාලයේත් දොඩම්වල හා මොරපේ යන දේවාලවලත් ඇති බව සඳහන්ය.වෙස් නැට්ටුවන් හිසේ පළඳින වෙස් තට්ටුව හෙවත් ශිඛා බන්ධනය මෙම සිවිලියෙන් භාගයකි. ආභරණ වලින් අඩක් යන මතය ශාන්තිකර්මකරුවන් අතරට පැමිණ ඇත්තේ වෙස් තට්ටුව යනු සිවිලියෙන් අඩක්ය යන විශ්වාසය හේතුවෙන් විය හැකිය.  අර්ධ කවාකාර හැඩයෙන් යුතු වෙස් තට්ටුව ලීයෙන් තනා රිදී රන් හා මැණික් යොදා තහඩුවෙන් වසා ඇත. මෙහි අගට සම්බන්ධ කොටස්වලට බෝපත් සවිකොට තිබේ. නෙත්ති මාලය යනුවෙන් හඳුන්වන ඇතැම් විට මැණික් ගල් අල්ලනු ලැබූ දුනු හැඩයෙන් යුතු ආභරණය වෙස් තට්ටුවට යටින් නළල ආසන්නයේ පළඳිනු ලැබේ. වර්තමාන උඩරට නැට්ටුවා පළඳින වෙස් තට්ටුව ක‍්‍රි. ව. 1815 න් පසු කෑගල්ලේ හිග්ගොඩ පරපුරෙන් නේරංගම පරපුරටත් ඒකාබද්ධව 1817 දී නිර්මාණය කොට තනිකච්චියේ නෙයියාඩි ඇඳුමට බද්ධ කළ නව නිර්මාණයක් හෙවත් මලල් වෙස් ඇඳුමට විකල්පයක් ලෙස අරනායක පොල් අඹේගොඩ දේවාලයේ කංකාරි නැටුමට එක්කළ නවාංගයක් ලෙස හැඳින්විය හැකිය. වෙස් තට්ටුව රාවණා රජුගේ ඔටුන්නේ නිරූපණයක් බව ද ඇතමෙකු තර්ක කරයි. මලය රජුගේ ඔටුන්න රාවණ රජුගේ ඔටුන්න අනුව සකසා ඇති බව ද එහි මුලින් පැවති පෙති ගණන දහයක් හෝ එකොළහක් විය හැකි බව ද ක‍්‍රමයෙන්  මේ ගණන පහළොව දක්වා වැඩි වී ඇති බවට ද සැක පහළ කෙරේ. රාවණ පෙලපතේ පාලන මධ්‍යස්ථානය වූ ආලකපුරය හෙවත් වර්තමාන සීගිරියේ චිත‍්‍ර වල නිරූපිත රජ බිසවකගේ හිස් පළඳනාව විශේෂයෙන් එහි පායිම්පත නම් කොටසින් වෙස් තට්ටුවට නෑකම් දක්වන බව  විශ්වාස කෙරේ.

වෙස් ඇඳුම සඳහා භාවිතා කරන ශීර්ෂ ආභරණ අතර මුලින්ම දක්නට ලැබෙන්නේ ජටාවයි. දැවයෙන් නිම කරන ලදුව වෙස් නැට්ටුවා හිස් මුදුනේ පළඳින ආභරණයයි. ජටාව මහා බ‍්‍රහ්මයා පැළඳ ගෙන සිටින සිළුමිණේ අනුරුවක් එහි බ‍්‍රහ්මයාගේ වරම ඇති බව ද යක්දෙස්සන්ගේ මතයයි. මෙය ස්ථූපයක හැඩය ගැනීම කෙරෙහි ප‍්‍රායෝගික අර්ථයට අමතරව බෞද්ධාගමික අර්ථයක් බලපාන්නට අතැ යි අනුමාන කරයි. වෙස් නර්තන ශිල්පීන් අනෙකුත් කිසිදු ආභරණයක් පැළ`දීමට ප‍්‍රථම කරනු ලබන චාරිත‍්‍රයක් ජටාව පැළ`දීමේදී කරනු ලබයි. එනම් ජටාව පැළදීමට ප‍්‍රථම එය වන්දනා කිරීමයි. හිස වෙස් පැළඳීමනම් නර්තන ශිල්පීන්ගේ හිසෙහි පළඳින පූජනීය ආභරණ අතරින් මුලින් ම නැට්ටුවා පළඳින්නේ ද ජටාවයි. ජටාව මුදුනේ සිට පසුුපසට එල්ලා වැටෙන අඟල් හතලිස් පහක් පමණ වන රෙදි පටිය ජටා පටිය නම් වේ. ලී පතුරු උපයෝගී කරගනිමින් අර්ධ ස්ථූපයක හැඩයට ගැට ගසා ගන්නා ලද කේතුවක් ඉදිරියෙන් රිදී තහඩුවක් තුළ ගිනි දළු හැඩයෙන් යුත් පායිම්පත වේ.

තෝඩුපත වෙස් නැට්ටුවාගේ කන් වැසීමට ගන්නා කර්ණාභරණයයි. එහි පත්තිිනියගේ වරම් ඇති බව යක්දෙස්සාගේ විශ්වාසයයි. ජනප‍්‍රවාද වලට අනුව පත්තිනි දෙවියන්ට උප්පත්ති ගණනාවක් ඇති අතර ඇය එක් අවස්ථාවක උපත ලබා ඇත්තේ අඹ ගෙඩියකිනි. සාම්ප‍්‍රදායික වෙස් නැට්ටුවාගේ තෝඩු පත ද බොහෝ විට අඹ ගෙඩියක හැඩය ගන්නා බැවින් එහි පත්තිනි දෙවියන්ගේ වරම් ඇතැයි විශ්වාස කෙරේ.  පබළු වැඩ දැමූ මාලයක් ද කාරේ පළඳිනු ලැබේ. පපුවේ පළඳිනු ලබන්නේ අවුල්හැරයයි. පපු පෙදෙස ආවරණය වන පරිදි කිරි පබලූ, ඇත් දළ කොටස්, මී අං, කබල්ලෑ පොතු, රිදී, පිත්තල බොත්තම් ආදිය ද අවුහැරයේ ඇත. පායිම්පත, අවුල්හැරය, වෙස් තට්ටුව සහ රෙද්දේ රැුළි ආදියෙන් සූර්යයා සංකේතවත් වේ යයි අදහස් කරයි. තව ද උරහිස් වැසීම සඳහා දෙවුර මාල  හෙවත් උරමාලය. අත් පළඳනා ලෙසින් ලෝහයෙන් කළ බණ්ඩි වළලූ 16ක් පමණ ද වේ. මැණික් කටුවට හස්තකඩය භවිත කරයි.  පිටි අල්ලට පළඳන්නේ  කයිමත්තු ද ශරිරයේ පහළ කොටසට රියන් අටක් දිග රැුලි තබා අඳින උල් උඩය නම් වූ සුදු රෙද්දක් ද අඳිනු ලැබේ. තවද රියන් විස්සක් දිග හඟල නමැති සුදු රෙද්දත් එහි දෙකෙළවරෙන් ගැට ගසා ඇති වූ නරුපොට දෙකක් වේ. මෙය දෙවල්ල නම් වේ. රියන් අටක් දිග රතු ඉන පටිය කෙළවර තබනු ලැබූ නෙරිය පොත්පොට නම් වේ. ඉනෙන් පහළට නරුවක් මෙන් එල්ලා වැටෙන පළඳනාව බුබුළු පටිය නම් වන අතර එය රිදී පැහැති රවුම් කිහිපයක් සහිතව රෙදි අග විල්ලූද බෝල සහිතව ද ඇඳ ඉණ පටිය පළඳිනු ලැබේ. පාද වලට ගිගිරි සහිත සිලම්බු ද පළඳියි. අතීතයේදී මෙම ආභරණ සහ වස්ත‍්‍ර වලට අමතරව සිව් සැට ආභරණ අතරෙහි ලා ගැනෙන මණි කයිවඩන්, දකුණු උරුවැල්, පූන නූල්, කයිපොහොට්ටු, පාද ජාලා, කර්ණ කුණ්ඩල, මුතුපට, නාගවඩම්, මණි දණ්ඩි ආදිය භාවිත කර ඇත.

බෙරකරුවන්ගේ ද, වෙස් බැ`දීමට පෙර නෛයඩි නැටුමේ, උඩැක්කි සහ රබන් වයන්නන්ගේ ද ඇඳුම් වල විවිධතා ඇතත් ඒවා වෙස් ඇඳුමේ කොටස් වලින් නිර්මාණය වී ඇති බව පැහැදිලි වේ.  

ආශ්‍රේය ග‍්‍රන්ථ නාමාවලිය


1 අමරසිංහ, මාලිංග. (2005). පැරණි ලක්දිව වස්ත‍්‍රාභරණ. කොළඹ 10, දයාවංශ ජයකොඩි
     ප‍්‍රකාශකයෝ.
2 කළුආරච්චි, ආරියරත්න. (2000). උඩරට වෙස් ඇඳුම් කට්ටලය. කොළඹ, කැලණිය
    විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ නර්තන කලා අධ්‍යයන අංශයේ          
    පර්යේෂණ හා සංදර්ශන කමිටුව.
3 ගුණවර්ධන, තේජා. (1979). කොහොඹා කංකාරිය.කොළඹ, අරුණ ප‍්‍රකාශකයෝ.
4 දිසානායක, මුදියන්සේ. (1998). කොහොඹා යක් කංකාරිය සහ සමාජය. කොළඹ, එස්.ගොඩගේ
    සහෝදරයෝ.
5 මන්තිලක, සුදේශ්. (2010). වෙස් නැටුම. බත්තරමුල්ල, බිග් බර්ඞ් ප‍්‍රකාශකයෝ.
6 සරච්චන්ද්‍ර, ඊ.ආර්. (1992). සිංහල ගැමි නාටකය. මහරගම, ජාතික අධ්‍යාපන ආයතනය.
7 සේදරමන්, ජේ.ඊ. (1979:1992). උඩරට නැටුම් කලාව. කොළඹ, එම්.ඞී. ගුණසේන.

8 රංගනාත්, ජී.අයි.වයි. (2008). උඩරට වෙස් ඇඳුම් කට්ටලය නිර්මාණය වීම කෙරෙහි බලපෑ හේතු 
     සාධක පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්. කැලණිය විශ්වවිද්‍යාලය.

9 අබයරත්න,ජී.වී.(2012). නැටුමේ වෙස් තට්ටුව නව නිර්මාණයකි.                      http://www.divaina.com/2009/10/07/feature04.html'(accessed 16/07/2016).
10 ඇන්තනී, ජැක්සන්.(2011).මල රටද මලය රටද?. Retrieved from http://heladiwaheritagecircle.com'    (accessed 16/07/2016).
11 හෙළදිව සංස්කෘතික කවය.(2015). උඩරට නර්තනය හා බැඳුණු වෙස් බැඳීම. Retrieved from
http://heladiwaheritagecircle.com' (accessed 16/07/2016).

12 Amarasinghe, N, Banuka. ^March, 24, 2011&. Udarata wes andum kattalaya ^Blog post). Retrieved             from http://banukanamarasinghe.blogspot.com/2011/03/udarata-wes-andum-             kattalaya.html?m=1

1 comment:

Thank You!