ළඟම ලිපිය

Thursday, January 26, 2017

ශක්තිමත්ව නැගී සිටින්න....



කාර්යබහුල වෙලාවක ඔබට ඔබේ අත් පා අහිමි වූවා යැයි සිතන්න. මැවී පෙන්නේ ඇවිදීමට හෝ අත්‍යවශ්‍ය කිසිදු කාර්යක් ඉටු කර ගැනීමට නොහැකිව ලතැවෙන ස්වරූපයක් නේද? එහෙම වුණොත් කොතරම් නම් අපහසුතාවයකට වගේම වියවුලකට ඔබ පත් වේවිද? නමුත් කාලානුරූපව මේ තත්වයට හුරු වේවි කියා හිතන්නත් පුළුවන්. හැබැයි ජීවිතේ සාර්ථකභාවය කෙසේ වේවිද කියා නම් හිතන්න ටිකක් අමාරුයි නේද මේ කතා කරන්නේ උපතින්ම අත් පා අහිමි වූ පුද්ගලයෙක් ගැනයි. මෙවැනි මිනිසුන් කොතෙක් නම් මේ ලොව ඇතිද? 
Nicholas James Vujicic කියන්නේ ධෛර්යවන්තව කතා කිරීමට දක්ෂ පුද්ගලයෙක්. මොහුව මාධ්‍ය හරහා ලෝකෙට හඳුන්වලා දුන්නේ Nick Vujicic  කියලා. Nick කියන්නේ අන්වර්ථ නාමය. ඔහුට පුළුවන් මිනිසුන්ගේ හිත් දිනාගන්න පුළුවන් විදිහට කතා කරන්න. අන්තර්ජාලය පුරා සහ මාධ්‍ය පුරා මොහුගේ වීඩියෝ ප‍්‍රචාරය වෙනවා. ඒ වගේම මහජන කථනය වගේ පාඩම් මාලා වලට මේ කතා උපයෝගි කරගන්න තරම් නික්ගේ කතා කිරීමේ හැකියාව ප‍්‍රබලයි. 

ආබාධිත තත්වයක් කියන්නේ නොහැකියාවක් නොවෙයි. බාහිර ශරීරාංගයන්ගෙන් පර්පූර්ණ මිනිසෙකුට කරන්න බැරි බොහෝමයක් දේවල් උපතින්ම ශරීරාවයව අහිමි වූවන් කරන බවට හො`දම සාක්ෂිය නික්.  ඕස්ෙටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ඉපදෙන නික් ඉපදෙන්නත් කලින් ඔහුගේ මව දැනගෙන ඉදලා තියනවා නික් ඉපදෙන්නේ බාහු සහ කකුල් නොමැතිව කියලා. නික්ගේ කුඩා අවධිය ගෙවිලා තියෙන්නේ දුෂ්කරතා ගොඩක් මැද්දෙන්. රජයේ පාසලකට ඔහුව ඇතුළත් කර ගැනීමට පවා නොහැකි වෙලා තියෙන්නේ මේ ආබාධිත තත්වය හේතුවෙන්. නීති විෂය මාලාවෙන් අධ්‍යාපනය හදාරන්න ආසාවෙන් හිටපු නික්ට සිදුවෙන්නේ වාණිජ විෂයෙන් අධ්‍යාපනය ලබන්න. අවසානයේදී ඔහු ගණකාධිකරණය සහ මූල්‍යමය සැලසුම්කරණයෙන්  ඕස්ටේ‍්‍රලියාවේ ග‍්‍රිෆිත් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගන්නවා. අවුරුදු 19 වනවිට ඔහුගේ ජීවිතය ආශ‍්‍රය කරගනිමින් ලෝකය වටා සිටින මිනිසුන් සිය කතාවෙන් ධෛර්යවන්තව නගා සිටුවීමට නික් පටන් ගන්නවා.
දෙවියන් වහන්සේගෙන් ඔහු ඇයැද සිටියේ සාමාන්‍ය මිනිස්සන්ට වගේම ඔහුටත් අත් සහ කකුල් ලබා දෙන ලෙසයි. දිනක් ඔහුගේ මව පුවත්පතක තිබූ තවත් ආබාධිත පුද්ගලයකු පිළිබඳ ලියවුණු ලිපියක් නික් අතට දෙන්නේ ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරමින්. ජීවිතය වෙනස් කරගන්නට නික් හිතන්නේ ඉන් අනතුරුවයි. පාදවල ඇගිලි කිහිපයක් පමණක් ඇති නික් එහි උදව්වෙන් මිනිත්තුවට වචන 45ක් ටයිප් කිරීමට තරම් දක්ෂයකු බවට පත් වෙනවා. ඔහුගේ හිස පීරා ගැනීමට, පිහිනීමට, වතුර වීදුරුවක් අල්ලා ගැනීමට, ඩ‍්‍රම්ස් පෙඞ්ල් එකක් වාදනය කිරීමට, දත් මැද ගැනීමට, දුරකථනයෙන් ඇමතීමට ආදි කාර්යන් කිරීමට නික්ට ක‍්‍රමයෙන් හුරු පුරුදු වෙනවා. 

2005 වසරේදී Young Australian of the year  බවට පත් වන්නේද නික්. 2012 වසරේදී ඔහු තම ආදරවන්තිය සමග විවාහ ගිවිස ගන්නවා. ඇය තමයි  Kanae Miyahara. ඔවුන්ට මේ වනවිට දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔහු විසින් ලියූ පොත් අතර Life Without Limbs: The Incredible Power of Faith in Action, Love Without Limits: A Remarkable Story of True Love Conquering All and Stand Strong  ආදිය ඉතාමත් වේගයෙන් ජනතාව වැළඳ ගත්තා. ලෝකය පුරා රටවල් 58ක මේ වන විට ඔහු සංචාරය කරලා තියනවා.Attitude In Altitude (AIA)  කියන්නේ නික්ගේ වෙබ් සයිට් එක. 2007දී ඔහු මෙය ආරම්භ කරන්නේ ලෝකය වටා සිටින මිනිසුන්ගේ ධනාත්මක චින්තනය දල්වාලන අරමුණින්. 

ජීවිතය පුරාවටම අපට නොයෙක් මිනිසුන් හමු වේවි. ඒ මිනිසුන් ළඟත් අපි මොහොතක් හරි නැවතුණොත් ජීවිතේටම අමතක නොවෙන දේවල් ගොඩක් ඔවුන්ගෙන් ඉගෙන ගන්න ලැබෙනවා නියතයි.

නලිනිකා ලක්ෂාණි
(මව්බිම යං හි පළ වූවකි)


Saturday, January 14, 2017

තෛයි පොන්ගල්....
Pongal Festival in Thirunelveli-Kathmandu 2017 (Mani Prabhu's Photo)

අස්වනු නෙලීමේ උත්සවය යන නමින් හඳුන්වන පොන්ගල් උත්සවය යෙදෙන්නේ අවුරුද්දේ පළවෙනි මාසයට. දමිළ වචනයට අනුව පොන්ගල් කියන්නේ 'උතුරා යාම' එහෙමත් නැත්නම් 'පිටාර ගැලීම' කියන තේරුම. සාරවත් අස්වැන්න ගොවියාට ලබා ගැනීමට හැකිවීම වෙනුවෙන් හිරු දෙවියන්,වැස්ස සහ අස්වනු සකස් කිරීමට දායක වන සතුන් පිදීම තමයි මෙහිදී කරන්නේ. හින්දු භක්තිකයන් විසින් වසරේ පළමු අස්වැන්න මේ විදිමට සූර්ය දෙවියන් උදෙසා පූජා කරනු ලබනවා. දින ගණනාවක් තිස්සේ හින්දු ජනතාව පොන්ගල් අවුරුද්ද වෙනුවෙන් සූදානම් වෙනවා. අලුත් ඇඳුම් මිළදී ගැනීම, නිවෙස් පිරිසිදු කිරීම, රසකැවිලි පිළියල කිරීම ඔවුන්ගේ කටයුතු අතර ප්‍රධානයි.
කොහොම වුණත් පොන්ගල්වලට තමිල්නාඩු ප්‍රසිද්ධ බව කවුරුත් දන්න කාරණයක්. මොකද පොන්ගල් උත්සවය ආරම්භ වන්නේ තමිල්නාඩුවෙන් කියලයි සඳහන් වෙන්නේ. තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුනෙල්වෙලි ප්‍රදේශයේ මිත්‍රෙයක් සඳහන් කරපු විදිහට ඒ අය පොන්ගල් සමරන්නේ දින හතරකදී. ඒ දින හතර නම් කරන්නේ,
පළමු දිනය 'භෝගී දිනයේදී' පරණ සියලු පරණ ඇදුම් ආදිය පුලුස්සා පරණ දේවල් අමතක කර අලුත් දිනයක් ප්‍රාර්ථනා කරන බවත්, දෙවන දිනය 'තෛයි පොන්ගල්' දිනය හෙවත් ප්‍රධාන දිනය බවත්, තුන්වන දිනය 'මට්ටු පොන්ගල්' දිනයේදී සිය ගවයින් පිරිසිදු කිරීම, ඔවුන්ට ස්තූති කිරීම සහ වන්දනා කිරීම ආදියත්, හතරවන දිනය 'කන්නම් පොන්ගල්' දිනයේදී සියලු නෑදෑ හිත මිතුරන් හා සතුටු වන බවයි ඔහු පැවසුවේ. තමිල්නාඩුවේ ජනවාරි 14 වන සෑම දිනයම තෛයි පොන්ගල් දිනයට වෙන්වෙලා තියනවා.
'පොන්ගල් බත' තෛයි පොන්ගල් උත්සවයේදී සුවිශේෂිතම ආහාරයයි. සහල්, කිරි සහ දුඹුරු සීනි හෝ හකුරු, කජු ආදිය යොදමින් සකසන මේ ආහාරය හිරු දෙවියන් උදෙසා පුදනවා.  සම්ප්‍රදායට අනුව මේ ආහාරය 'පොන්ගල්' කියලා හඳුන්වනවා. ඒ අතර වඩේ, මුරුක්කු, පායාසම් ඥාතීන් අතර බෙදා හදා ගන්නවා. ගොවියන් තමන්ට ගොවිතැනේදී උදව් කරන ගවයින් පිරිසිදු කරමින් ඔවුන් වර්ණ කරමින්, සීනු සහ මල් ආදිය එල්ලමින්, රසකැවිලි කවමින් හෝ උක්දඩු ආදිය කවමින් ගවයින්ට සලකයි. ඇතැම් පුද්ගලයින් සිය ගවයින්ගේ අං සරසන්නේ රත්තරනින්.



Saturday, January 7, 2017

අසම්මත වුවත් පේ‍්‍රමය, පේ‍්‍රමයමයි....


ජීවිතේ සමහර සිදුවීම් තියනවා අපේ හිත් හාරලා අවුස්සන. මේ සිදුවීම්වලට පුළුවන් අපේ ජීවිත වෙනස් කරන්න. ඒ වෙනස් කිරීම් සියල්ල හොඳ විදිහටම වෙනවා නම් තමයි වඩාත් හොඳ. ඒත් හොඳම විදිහට සිදු නොවී නොහිතන විදිහටත් සිද්ධ වෙන එකයි සාමාන්‍ය ලෝක ස්වභාවය. මේ එක එක සිදුවීම්වලදී අපි ගන්න තීරණ අපිට විතරක් නෙවෙයි, අනිත් අයටත් බලපානවාද කියන එකයි අපි හිතන්න අවශ්‍යය. 

පේ‍්‍රමය ගැන කියවෙන කතා බොහෝමයක් තියනවා. මේ අතරින් සත්‍ය කතා, පුරාණෝක්ති, සුරංගනා කතා, ප‍්‍රබන්ධමය කතා, ඉතිහාසමය කතා අහලා පුරුදුයි. අලුත් පරම්පරාව ඇතුළුව මුලූ සමාජ පන්තියම ගත්තම පේ‍්‍රමයට සමීප නොවුණු කෙනෙක් අහම්බකාරකයෙක් මිසක් වෙන නාමයකින් නම් හඳුන්වන්න බෑ කියලයි  මට හිතෙන්නේ. 
වචනයෙන් ඍජුව ප‍්‍රකාශ කරන්නට නොහැකි හැඟීම් ගීතයෙන් එළියට එන්නේ අමුතුම ආකාරයට. ‘ගීතය’ භාවයන් හෙළි කරනවා. හැගුම් පුබුදුවනවා. සොදුරු මිනිසුන්ගේ ආත්මයන් අවදි කරනවා. මේ කතා කරන්න යන්නේ පේ‍්‍රමයේත්, අසම්මත පේ‍්‍රම කතාවක් ගැන.... ඒ ‘දස්කොන් ප‍්‍රමිලා ප්‍රේමය’.

ගීත නිර්මාණවලට නොයෙකුත් කතා පුවත් තේමා වන්නට පුළුවන්. ඒ ජීවිතානුභූතීන්, සමාජ සිදුවීම් ආදිය. මේ අතරිනුත් ජනශ‍්‍රැතියේ පුරාණෝක්ති ඇසුරින් නිර්මාණය වන ගීත නිර්මාණයන් ද තියනවා. දස්කොන් සහ ප‍්‍රමිලාවන් අපේ රටේ ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ සිටි යුවළක්. මොවුන් සම්බන්ධයෙන් සමාජීය වටිනාකමක් නැති බව හැඟුණත්, කලා නිර්මාණයන් රැුසකට දස්කොන් සහ ප‍්‍රමිලාවන්ගේ කතා පුවත් අනුභූතින් වෙලා තියනවා. ප‍්‍රමිලාවන් ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ බිසව වෙද්දි දස්කොන්, ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රජසිංහ රජුගේ මහාධිකාරම් වෙනවා. දස්කොන් මහාධිකාරම් කවියෙහි දක්ෂයකු බවයි සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ප‍්‍රමිලාවන් සහ දස්කොන් අසම්මත ප්‍රේමයකින් බැඳී සිටි බව ද ඒ හා සමවම ප‍්‍රකටයි. මේ පේ‍්‍රමය හෙමින් දළුලා වැඩුණු බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ප‍්‍රමිලාවන් හමුවීම දුෂ්කර වුණත් කෙසේ හෝ මේ දෙදෙනා කවි හුවමාරු කර ගන්නවා. පේ‍්‍රමයත් කවියෙන්. මේ පේ‍්‍රමය ගීත නිර්මාණ අතරට ගත් නිර්මාණකරුවන් රැසක් ඉන්නවා. දස්කොන්- ප‍්‍රමිලා පේ‍්‍රමයට අනතුරු ඇගවෙන්නේ රජුට මේ රහස් පෙම සැලවූ වහායි. අවසානයේ දස්කොන්ට මරණ දඩුවම හිමි වීමෙන් මේ සෙල්ලම කෙලවර වෙනවා. ප‍්‍රමිලාවනුත් නියගලා අල මතින් දිවි තොර කරගන්නේ පේ‍්‍රම වියෝව දරාගත නොහැකි තැනදීයි.

මේ පේ‍්‍රමය මේ තරම් ප‍්‍රකට වෙන්නේ දස්කොන්ගේ මරණය නිසාදැයි විටක මට හැගෙනවා. මරණයෙන් කෙලවර නොවුණා නම් මෙතරම් ප‍්‍රකට නොවන්නටත්  ඉඩ තිබුණා වෙන්න පුළුවන්. මරණයෙන් කෙලවර නොවුණු මෙවැනි පෙම් කතා කොතෙක් නම් මේ ලොව ඇතිද? ‘නැත ලොවේ අන් රසඳුනා- ආදරේ සේ සුවදෙනා’ සරච්චන්ද්‍රයන් විලාසිනියකගේ පේ‍්‍රමය කෘතියේ ලියන්නේ එසේයි.

රාත‍්‍රිය අපෙයි දස්කොන්... තවත් නෑ හිතේ අස්කොන්
පෙම් සිනා තෙපුල් අස්කොන්...පිච්ච මල් සුදුයි දස්කොන් 
ආදරේ රහයි දස්කොන්...
ආදරේ දෙතොල් පිරිලා..රෝස මල් රතුයි ප‍්‍රමිලා
වද මලින් ගෙතූ මල්දම්.. තිස් පැයේ පෙනේ මැවිලා
ආදරේ රුදුයි ප‍්‍රමිලා...

විප‍්‍රයෝගය...... කෙතරම් වේදනාකාරීද? වෙන්වීම නොවෙද මේ තරම් අපූරු ගී බිහි කරේ. සම්ප‍්‍රයෝගය සුමිහිරියි... එය විඳින තුරු විප‍්‍රයෝගය සිහියට නොනඟේ. අසම්මත වුවත් පේ‍්‍රමය, පේ‍්‍රමයමයි. අසම්මත හෝ අසම්මත බව තීරණය වන්නේත් සමාජය එය පිළිගන්නා හෝ නොගන්නා ආකාරය මතයි. අපිට අසම්මත දේ ලොව අන් රටකට සම්මත වෙන්න පුළුවන්. මෙයයි ලෝක ධර්මය. 

නලිනිකා ලක්ෂාණි.