ළඟම ලිපිය

Saturday, November 12, 2016

පිහිනීමට උපන් හපන් යුස්රා මර්දිනී ....

bbc.co.uk
සරණාගතයින් සාමාන්‍ය මිනිසුන්ය'
-යුස්රා මර්දිනි-

දේශ සීමාවන් නොමැතිව තරඟ බිමට පැමිණි ඇය යුස්රා මර්දිනී (Yusra Mardini). මැය ගැන හැමෝම කතා කරන්න පටන් ගන්නේ 2016 රියෝ ඔලිම්පික් තරඟ බිමට ආ ගමනත් සමඟයි. ඒත් ඒ වන විටත් ඇය සිය ජීවිතය නම් දිනා අවසන්. මුහුදු රළ සමඟ තරඟ වදිමින් අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරා ගත් යුස්රා මර්දිනි සැබැවින් ම ආත්මාර්ථයෙන් හිස උදුම්මාගත් තාරුණ්‍යයට ආදර්ශයක් වූ චරිතයක්. ‍මේ කතාව යුස්රාගේ ජීවිතය ගැනයි.
කාලයක් පුරා සිරියානු යුධ ගැටුම් වලින් පීඩා විඳින සිය දහස් ගණනක් මිනිසුන් යුරෝපයට එන්න පටන් ගන්නවා. බෝම්බ ප්‍රහාරයකින් උන් හිටි තැන් අහිමි වූ යුස්රා සහ ඇගේ නැගණිය සාරා, 2015 අගෝස්තු මාසයේ දී සිරියාවේ ඩමස්කස් නුවර ඉඳලා තුර්කියට ඒමට තීරණය කරනවා.  එතැන් සිට මේ දෙදෙනා ඇතුළු තවත් පිරිසක් බෝට්ටුවකට නඟින්නේ මධ්‍යධරණී මුහුද හරහා ග්‍රීසියට යන අරමුණින්. ඒත් මඳ දුරක් විතරයි ඔවුන්ට යාමට හැකි වන්නේ. මුහුදු රළ මොවුන් සිටි බෝට්ටුව පෙරළා දමන්නේ කුරිරු ආකාරයට. පිහිනීමට උපන් හපන් යුස්රා සහ ඇගේ නැගණිය මෙතැන් සිට ගන්නේ අපූරු තීරණයක්. ඒ පෙරළුණු බෝට්ටුවේ සිටි තවත් පිහිනීමට හැකි කාන්තාවක් ද එකතු කර ගනිමින් බෝට්ටුව ඇදගෙන ග්‍රීසිය කරා පිහිනීමයි. තමන්ට විතරක් ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබිය දී ඔවුන් ගත් පරාර්ථකාමී තීරණයේ වටිනාකම නිසා සියළුම දෙනා ද රැගෙන ග්‍රීසියට යාමට හැකි වනවා.
1998 මාර්තු 05 වන දින උපත ලබන යුස්රා සිය පිහිනුම් කටයුතු අරඹන්නේ කුඩා කාලයේ පටන්ය. ග්‍රීසියට සංක්‍රමණය වී ජර්මනියට යන මැය නැවත සිය පිහිනුම් පුහුණුවීම් අරඹන්නේ 2020 දී ඔලිම්පික් තරඟාවලිය අරමුණු කර ගනිමින්. නමුත් 2016 දී ඇයට රියෝ ඔලිම්පික් තරඟයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙන්නේ විස්මය දනවන ආකාරයටයි.  ඒ සිය නිජබිම අතැර අවතැන් වූ සරණාගතයින් ලෙසින් වෙනත් රටවලට සංක්‍රමණය වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායමක් සෑදීමට ප්‍රථම වරට ඔලිම්පික් කමිටුව ගන්නා තීරණයත් සමඟයි. මේ තරඟකරුවන් දස දෙනා අතරට යුස්රා එක් වන්නේ මීටර් 100 නිදහස් ආර සහ මීටර් 200 සමණල ආර පිහිනුම් ඉසව් සඳහා ය.

රියෝ ඔලිම්පික් හි අවසන් තරඟයෙහි ජය ලැබීමට නොහැකි වුව ද ඔලිම්පික් ධජය යටතේ තරඟ වදිමින් ලෝකයට ම ආදර්ශයක් වූ මේ තරුණියගේ අරමුණ ලෝකයේ සතර දෙසින් අවතැන් වූවන් බවට පත් වන ජනයාට උදව් උපකාර කිරීමයි. ඇය වෙර දරමින් සිටියේ කවරදාක හෝ ඔලිම්පික් තරඟාවලියකට සහභාගී වීමටයි. නොසිතූ පරිදි යුස්රාට මේ අවස්ථාව උදා වූයේ ඇගේ පරාර්ථකාමීත්වයේ සහ වාසනා ගුණ මහිමයෙනි. ඇදි වත පමණක් රැගෙන ග්‍රීසියට පා තබන ඇය සැබැවින් ම අද වන විට ජීවිතය ජයගත් ශ්‍රේෂ්ඨ තරුණියක් වී හමාරයි. අද වන විට සිරියානුවෙක් ලෙසින් ජර්මනියේ ජීවත් වන ඇය පිහිනුම් සමාජයක සාමාජිකාවකි. මේ වන විටත් 2020 දී පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් තරඟය සඳහා ඇගේ පුහුණුවීම් කටයුතු සිදු වෙමින් පවතියි.