ළඟම ලිපිය

Saturday, November 5, 2016

නොබෙල් සාම ත්‍යාගය දිනූ තිරිගු  මල

timestalks.com

එක පොතකින්, එක පෑනකින්, එක ශිෂ්‍යයකුගෙන් සහ එක් ගුරුවරයෙකුගෙන් ලෝකය වෙනස් කළ හැකිය
-මලාලා යුසෆ්සායි-

මලාලා යුසෆ්සායි දැනට නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ළාබාලතම තැනැත්තියයි. කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඬ නැගූ මලාලාට සහ ඉන්දියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයකු වූ කයිලාෂ් සත්‍යාර්තිට 2014 දී නොබෙල් සාම ත්‍යාගයේ සම ස්ථානය හිමි වුණා. එ ඇයට වයස අවුරුදු 17 දීයි. 1997 ජූලි 12 වන දින වයඹ දිග පාකිස්තානයේ ස්වොට් නිම්නයේ‍්, මින්ගෝරා නගරයේ තමයි මලාලා උපත ලබන්නේ. ඇගේ හැම දෙයකදීම මලාලාගේ පසුපස ඇති ශක්තිය සියා උද්දීන් වන ඇගේ පියායි.

මලාලා වෙනස් ම චරිතයක් වූ අතර ඇය තම හිස ආවරණය කළේ නෑ. ඇයට ඕනෑ වුණේ ඇගේ අනන්‍යතාවය ඔප්පු කරන්නයි. බොහෝමයක් දේවල් ගෑණු ළමයින්ට තහනම් වෙද්දී මලාලා ඒ දේවල් කරන්නට පටන් ගත්තා. ඇයගේ මේ ගති ලක්ෂණ හඳුනාගත් ඇගේ පියා ඇයව විශ්වාස කළා වගේ ම අනුමත කළා. 2009 දී පමණ කාලෙදී  ස්වොට් නිම්නයේ බලය පැතිරවූ තලේබාන් සංවිධානයේ සාමාජිකයින් පැවසුවේ ගෑණු ළමයින්ට ඉගෙන ගන්න තියන අවස්ථාව අහිමි කර ඔවුන් පාසල් නොයැවිය යුතු බවයි. තව ද තද වර්ණයේ ඇඳුම් නොඅඳින ලෙසට වගේ ම සාප්පු සවාරි නොයන ලෙසට, රූපවාහිනී නැරඹීම තහනම් කරන ලෙසින් තර්ජනය කළා.

ඇය කුඩා කාලයේ ඉඳන් ම ලබපු අමිහිරි යුදමය අත්දැකීම් එක්ක ඇයට තිබු‍ණේ අපූරු ආත්ම ශක්තියක්. බී බී සීයේ පාකිස්ථාන වාර්තාකරු අබ්දුල් හයිට මේ කාලය වන විට අවශ්‍ය වන්නේ මෙවැනි දුක්ඛිත තත්වයක් අතිවිඳි අයෙකු ලවා මේ සිදුවීම් ලොවට හෙළිදරව් කිරීමටයි. ඒ අනුව මලාලාගේ පියාට අබ්දුල් ගෙන එන ඇරයුමත් එක්ක මලාලා මේ කර්තව්‍යට යොමු වෙනවා. තලේබානුවන් නිසා ඒ ප්‍රදේශයේ වෙසෙන්නන් බියෙන් ජීවත් වන ආකාරය, පාසල් කදවුරු බවට පත් වූ ආකාරය ගැන, ඔවුන් බියෙන් පාසල් ගිය ආකාරය ගැන වගේ ම ඔවුන් වැගිරවූ  කදුලු මලාලා සිය අතින් අකුරු බවට පත් කරනවා. තිරිගු මල කියලා මලාලාව හඳුන්වන්නේ" ඒ අර්ථය ඇතිව ගුල්මකායි කියන නමින් මැය බී බී සීයේ උර්දු සේවය වෙනුවෙන් බ්ලොග් සටහන් ලියූ නිසායි. මලාලා බීබීසීයට ඒ නමින් ලිපි ලිවූවත් ඇයගේ සැබෑ නම සමඟ තොරතුරු හෙළි වීමත් සමඟ ඇයට තලේබානුවන්ගෙන් මරණ තර්ජන එල්ල වෙන්න ගත්තා. මේ තර්ජන වල ප්‍රතිපලයක් විදිහට තමයි 2012 ඔක්තෝම්බර් 09 වන දින පාසල අවසන් වී පාසල් ළමුන් රැගත් වාහනයකින් නිවසට යමින් සිටි මලාලාට තලේබානුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වීමයි. ඒ වන විට ඇය සිටියේ පහළොස් වියේය.

කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සහ නිදහස සම්බන්ධයෙන් ඇය සිදු කළේ අපූරු හඬ නැගීමක්. ඒ හේතුවෙන් දරුණු අන්දමට තුවාල ලැබූ මලාලාට ජාත්‍යන්තරයේ සහය ලැබුණු අතර  මේ වන විට ඇය ලෝකයේ ම ගෞරවයට පත් වෙලා. ක්‍රිස්ටිනා ලෑමුබ්ගේ සම කතෘත්වයෙන් යුතුව මම මලාලා (Im Malala: The girl who stood up for Education and was shot by Taliban) නමින් ඇයගේ ජීවිත කතාව පොතකින් ප්‍රකාශයට පත් කරනවා. 2013 ටයිම්ස් සඟරාවෙන් සහ යුරෝපා සංගමයෙන් පිරිනමන සම්මානයන්ගෙන් මලාලා සම්මානයට පත් වෙනවා. 2011 දී පාකිස්තානු රජය විසින් එරට ප්‍රථම වරට සාමය සඳහා වූ ජාතික තරුණ සම්මානයෙන් මලාලා  පිදුම් ලබනවා. ඇගේ ජයග්‍රහණ මේ විදිහට දක්වද්දී ඇය  නිසා ලෝකය ලැබූ ජයග්‍රහණයන් බොහෝමයක් ඇති බව අප අමතක නොකළ යුතුයි. මලාලා පදනම මඟින් උදවු උපකාර අවශ්‍ය ගැහැණු දරුවන්ට උපකාර ලබා දෙන අතර කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ලෝක සමුළු වලට සහභාගී වෙනවා. විවිධ විවේචන මධ්‍යයේ ඇයගේ ගමන යන මලාලා සැඟවී සිටි ස්ත්‍රී චරිත වලට අසාධාරණකම් හමුවේ නැගී සිටීමට උත්තේජනයක් වී හමාරයි.

නලිනිකා ලක්ෂාණි