ළඟම ලිපිය

Thursday, October 1, 2015

මල් කියන්නේ කාට කාට. . . ළමයින්ටයි පාට පාට. . .


මල් කියන්නේ කාට කාට. . .
                             ළමයින්ටයි පාට පාට. . .



ළමා විය තරමටම සුන්දර කාලයක් කිසිදු අයකුට ජීවිතයේදී නැවත ලබා ගත නොහැකි තරම්ය. වැඩිහිටියන්ගේ ආදරය  ආරක්ෂාව මධ්‍යයේ ළමයා වර්ධනය විය යුත්තේ ජීවිතයේ බහ තොරන වියෙහිදිමය.ලෝක ළමා දිනය සමරනු පිණිස ශ්‍රී ලංකාව මෙවර එක් කළ තේමාව ‘ළමා ‍මිතුරු පරිසරයක ලොව බබළන සොඳුරු දැයක්’ යන්නයි. ‘සොඳුරු දැයක්’ යන්න සුණු විසුණු වී යන්නේ දරුවන් කාමතුර යක්ෂයන්ගේ ගොදුරු බවට පත්වීමේ ඛේදවාචකය දිනෙන් දින ඉහළ යමින් පවතින අද වන් අවාසනාවන්ත සමාජ  පසුබිමකදීය. වර්තමානයේ මරණ දඩුවම ලබා දිය යුතුය යන්න පිළිබදව වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන්නේ ළමා අපයෝජකයින්ට එරෙහිවය. සිත් පිත් නොමැති වූවන් සේ හැසිරෙමින් පෙති ඇහැරෙන්නට පෙරාතුව පෙති ඇහැරවාලන මෘගයින්ට ගත යුතු ඉහළම ක්‍රියාමාර්ගය ගැනීමට අවැසි කාලය පැමිණ ඇත.

"අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය." ඉතාමත් සුන්දර අයුරින් ළමයා යන්න මෙලෙසින් අර්ථදක්වද්දී එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුව 'ළමයා යනු අවුරුදු 18 ට අඩු සෑම අයෙක්ම වේ'. එසේම ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට අනුව ඉතාමත් සරළම අදහස නම් "නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය" ලෙසිනි .

එක් දිනකට පමණක් දරුවන් සතුටු කරවීම විශ්ව ළමා දිනයේ අරමුණ විය යුතු නොවේ. සෑම දිනයක්ම ඔවුනගේ විය යුතුය. දෙමාපියන් තම දරුවන්ව ආරක්ෂා කර ගන්නා අතරම විශේෂයෙන්ම මෙරට දරුවන්ට රැකවරණය හා ආරක්ෂාව සැපයීම, ඔවුන්ගේ පැවැත්ම හා සංවර්ධනය යනාදී කරුණු රැසක් සම්බන්ධව රාජකාරි කරනු ලබන ආයතන රැසකි. ඒ අතර ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ප්‍රමුඛතම ආයතනය වේ. ඒ යටතේ ක්‍රියාත්මක වන තවත් ආයතන තුනකි. එනම් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂණ අධිකාරිය හා ළමා ලේකම් කාර්යාලයයි. ඊට අමතරව ද දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතන රැසකි. අපරාධකරුට නීතිය ක්‍රියාත්මක කිරීම, දඬුවම් දීම, වින්දිතයාට උපරිම සාධාරණය ඉටුකිරීම පිළිබඳ මෙන්ම එකී අපරාධ වළක්වා ගැනීම පිළිබඳ පුළුල් කථිකාවක් ගොඩනැඟීම අද දවසේ අත්‍යවශ්‍ය කාරණාවකි.එහිදී පෙර කී ආයතන, ජනමාධ්‍යයේ හා සමාජයේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇත. එසේ වුවද ඒ වගකීමෙන් මිදීමට මාධ්‍යයට හෝ සමාජයට නුපුළුවන.

ළමයා සහ මාධ්‍ය අතර පවතින්නේ අති සමීප සම්බන්ධතාවකි. සන්නිවේදන මාධ්‍ය හිතකර සහ අහිතකර ලෙස බලපාන අතර ඒවා භාවිත කරන ආකාරය අනුව යහපත් හා අයහපත් බව තීරණය වේ. රූප මාධ්‍ය ළමයාට ඝෘජුවම බලපෑමක් ඇති කරවන අතර මාධ්‍ය සංදේශ ළමයා වෙත සංස්කෘතික බලපෑමක් ඇති කරවන බව විද්‍යමාන වේ. ඒ අතරින් වීඩියෝ ක්‍රීඩා සහ ඩිජිටල් ඡායාරූප මගින් දැඩි බලපෑමක්‌ එල්ල කරනු ලබයි. මාධ්‍ය මගින් ඉදිරිපත් කරන සංදේශ වල ප්‍රචණ්ඩත්වය සහ ලිංගිකත්වය ගැබ් වී ඇති අතර ඒවා ළමයාගේ හැසිරීම්, ආකල්ප සහ හැඟීම් කෙරෙහි බලපෑම් ඇති කරවයි. මාධ්‍ය තුළින් සිදුවන ඵලදායී බලපෑම් සම්බන්ධයෙන් සලකා බලන විට ළමයා නව ලෝකයක් කෙරෙහි යොමු කරවීමේ අසහාය බලයක් මාධ්‍යට ඇති බව පැහැදිලිය.
ලෝක ළමා දිනයෙදී පමණක් ළමයින් ගැන උනන්දු වී අත් සෝදා ගැනීමක් නොකොට ඉබි යතුරු දැමූ සත්‍ය ළමා ලෝකය ඔවුනට විවර කර දීමට මුළු මහත් සමාජය ම දායක විමට අවැසි කාලය පැමිණ ඇත.

නලිනිකා ලක්ෂාණි