ළඟම ලිපිය

Thursday, June 15, 2017

තෙත්බිම් ගැන කෙටියෙන්...

"තෙත් බිමක් කියලා තෙත් බිම් පිළිබඳ රැම්සා අර්ථකථනයේ සඳහන් වෙන්නේ බාදිය මට්ටමේ ඉඳලා මීටර් හයට අඩු මුහුදු ප‍්‍රදේශයත් ඇතුළත්ව ගලායන හෝ නිශ්චලව පවත්නා වූ මිරිදිය, කිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යට වී ඇති කෘතී‍්‍රම හෝ ස්වාභාවික වගුරු බිම්, විල්ලු, ජලාශ හෝ ජල මාර්ග, ඇල ඉඩම්, පිට ඉඩම්" යනුවෙනුයි.
Forest Preserves of Cook Country

 1971 ලෝක තෙත් බිම් දුරු කරලීමේ අරමුණින් රැම්සා සම්මුතියට අත්සන් තැබීමත් සමඟ වාර්ෂිකව පෙබරවාරි 02 වැනි දාට තෙත් බිම් දිනය සමරනවා. 1991 දී තමයි ශ්‍රී ලංකාව මේ සම්මුතියට අත්සන් තබන්නේ. මේ අනුව ශ්‍රී ලංකාව තුළ රැම්සා තෙත්බිම් විදියට, බූන්දල අභය භූමිය, ආනවිලුන්දාව, මාදු ගඟ, වාන්කැලේ අභය භූමි සහ කුමන, විල්පත්තුව ජාතික වන උද්‍යාන නම්කර තිබෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ තෙත් බිම් කාණ්ඩ තුනක් යටතේ වර්ග කරලාත් තිබෙනවා. ඒ තමයි

  • ගංගා, ඇළදොළ, විල්ලු, මිරිදිය වගුරු, වනාන්තර ඇතුළත් අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්
  • කුඹුරු, වැව්, ජලාශ ඇතුළත් කෘත්‍රිම තෙත්බිම් සහ
  • මෝය, කඩොලාන, කලපු, කොරල් පර, මුහුදු තෘණ බිම් ඇතුළත් වන කරදිය තෙත් බිම්.


මූලිකව ම පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීමට සෘජු දායකත්වයක් ඉටු කෙරෙන මෙම තෙත්බ්ම් වල පැවැත්ම සම්බන්ධයෙන් වර්තමානය වන විට ගැ‍ටලුකාරී තත්වයන් රැසක් උද්ගතව තිබෙනවා. ඒ සඳහා මුලිකවම බලපා තිබෙන්නේ අවිධිමත් මිනිස් ක‍්‍රියාකාරකම්. ඒ අතර
තෙත්බිම් ආශ‍්‍රිතව අපද්‍රව්‍ය බැහැර කිරීම,
මිනිස් කටයුතු සඳහා තෙත්බිම් ගොඩ කිරීම,
තෙත්බිම් වල අනවසර ඉදිකිරීම් සිදු කිරීම හා
තෙත්බිම් වල පවත්නා ජෛව විවිධත්වයට හානිකර වන ආකාරයට කටයුතු කිරීම
කැපී පෙනෙන ගැටලූ බවට පත්ව තිබෙනවා. මොන තරම් විධි විධාන යෙදුවත් මිනිස්සු අවිධිමත් ආකාරයට සිදු කරනු ලබන මාලූ ඇල්ලීම් හා කඩොලාන ශාක කපා ඉවත් කිරීම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ඊට විකල්පයක් විදිහට මෑතකාලීනව පරිසර අධිකාරිය හා සමුද්‍රීය පරිසර ආරක්ෂක ඒකකයේ මුලිකත්වයෙන් කඩොලාන ශාක වගා කිරීමේ ව්‍යාපෘතියන් ද ක‍්‍රියාත්මක කරමින් පවතිනවා. රටට අවශ්‍ය පාරිසරික සමතුලිතතාව වගේ ම තවත් අතකට මිනිසාගේ එදිනෙදා පැවැත්මට විශාල දායකත්වයක් ලබා දෙන මේ පරිසර ප‍්‍රජාව, තවත් අතකට අපේ රටේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමටත් ප‍්‍රබල දායකත්වයක් සපයනු ලබනවා.
ආපදා අවම කිරීම සඳහා තෙත්බිම්-Wetlands for disaster risk reduction යනුවෙනුයි 2017 වසරේ ලෝක තෙත් බිම් දිනයට තේමා වුණේ. තෙත්බිමක වටිනාකම නංවාලන වැඩසටහන් රාශියක් මේ සමග ක්‍රියාත්මක වුණා. නමුත් වර්ෂා සමයේ දී ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ ඉතා ඉක්මණින් ජලයෙන් යට වන තත්වයක් උදා වී ඇත. මේ තත්වය මිනිසුන්ගේ ජීවිතයට තර්ජනයක් වී හමාරය. තෙත්බිම් ගොඩකර යළි යළිත් ආපදා ගෙන්වා ගැනීමට ඔබත් කැමතිද? නැත්නම් ඊට නිසි පිළියම් යොදනවාද? කියන කාරණය අනිවාර්යයෙන් ම සිතා බැලිය යුතු කාලයයි මේ.


නලිනිකා ලක්ෂාණි

" මාවතේ සරසවි- පෙරළුණේ පිටු ජීවිතේ"

2017 මැයි 11 (මව්බිම- පාරදිගේ හි පළ වූවක්)

දැනුම කියන්නේ තත්පරයෙන් තත්පරයට වේගයෙන් වෙනස් වෙන දෙයක්. පොත් ලියන අය බොහෝ කාලයක් අරගෙන මේ දැනුම අකුරු කරනවා. සමහරු පිස්සුවෙන් වගේ මේ ලියන පොත් විකුණනවා. හැමදේම වගේ ඉතින් මේකත් චක‍්‍රයක්. දැනුම කියන්නේ මේ ලෝකේ තියෙන වටිනාම සම්පතක්නේ. ඒ සම්පත හොයන්න කැලණි කන්ද නගින බහින අය අතරට එක්වෙන්නට වරම් ලැබෙන්නේ මීට අවුරුදු තුන හමාරකට කලින්. බොහෝ වෙලාවට අද දකින මූණු හෙට දකින්නට නැති වුණත් සමහර මූණු කිහිපයක් නම් හැමදාම සුදු යකඩ වැට දිගේ යන අපට දකින්නට පුළුවන්. කැලණි සරසවි මාවතේ උදේ සවස කාලය පුරා දකින්නට ඇත්තේ මහත් කලබලකාරී බවින් පිරි ඝෝෂාකාරී පරිසරයක්. මේ මාවත දිගේ මිල කළ නොහැකි දැනුම සොයාගෙන යන එන අය අතරට දැනුම බෙදා දෙන්නට එක් වෙන අයත් බොහෝමයක් ඉන්නවා.
සමහර මාවත් වගේම ගොඩනැගිලි අලළා එකින් එකට සුවිශේෂී වූ ඉතිහාස කතා ගොඩ නැගෙනවා. ලිවිය හැකි කිව හැකි තොරතුරු වගේම කතා රැසක් හිමි පුද්ගලයන් වටේත් ඒ වගේ කතන්දර ගොඩ නැගෙන්නේ අසීමිතව. මේ කතාවට පාදක වෙන ආරියපාල මහතාගේ කතාව කාලණි සරසවි මාවතේ ඉතිහාස කතාවට ම අතුරු කතාවක් වාගේයි. වසර තිස් හයක පමණ කාලයක් පුරා සරසවි මාවත එක්තරා ආකාරයේ නැවතුම්පලක් කරගත් ඔහු මහමග පොත් වෙළෙන්දෙක්.
කැලණි සරසවි මාවතේ කැලණි කන්ද පටන් ගනිද්දි ම ඉන්නේ මේ මාවතේ පොත් වෙළෙන්දා. සුදු යකඩ වැටට හේත්තු වෙන්නට, කිසිම ආවරණයක් නැතිව, බිමට ඉටි කොළයක් එළාගෙන තමයි මොහු පොත් තියාගෙන ඉන්නේ. වැහි මන්දාරමෙන් අහස බර වුණු දවසක නම් බාගෙට ඇරුණු කාඞ්බෝඞ් පෙට්ටි කිහිපය තමයි ඔහුගේ එකම ආධාරකය. අපි අතින් පොතක් බිම වැටුණත් ආයෙත් අහුලා ගන්නේ වැඳලානේ. සැබැවින්ම පොත්වලට ගෞරව දක්වන්නේ වන්දනාමාන කිරීමෙන් ද කියන එක කතාබහ කළ යුතු තවත් කාරණයක්.
අපේ රටේ ගුරු-ගෝලයින් පමණක් නොව විවිධ රටවලින් පැමිණෙන විදේශීය ශිෂ්‍යයින් ද ආරියරත්න මහතාගේ හොඳ ම ගැණුම්කරුවන්. සැබැවින් ම ඔහු මාවත අයිනට වී හිඳිමින් විශාල පිරිසකගේ ප‍්‍රඥාව වර්ධනය කරවන්නට බුද්ධිය ලබා දෙන්නෙක්.
ඔහු සතුව ඇති පත පොතින් සෙස්සන් පෝෂණය කරන ගමන් ම ඔහුත් පොතින් ම ඉගෙන ගෙන තිබෙන දේවල් අසීමිතයි. ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් මැද නොවෙනස්ව දිවි ගෙවන ආරියපාල මහතා, සමාජයට සිදු කරන සුවිසල් සේවාව අපමණයි.
මේ වෙනකොට ලෝකයේ මහා පරිමාණ ව්‍යාපාරික මධ්‍යස්ථාන ඉදිවෙනවා. අව්වෙන් වැස්සෙන් බැට කමින් නිතරම පාහේ පීඩා විඳගෙන මේ කරන ජීවිකාව සරලයි වගේ කාටත් හිතෙනවා. ඒත් ඒක එහෙම නෑ කියලා ඔහුගේ කතාබහ හොඳ ම සාක්ෂ්‍ය සපයනවා. මාස්පතා පොත් ගන්නවුන්, පුරුද්දකට පොත් ගන්නවුන් ආරියපාලට නිතර කතා බහ කර යන්න එන්නේ ගණුදෙනුවට එහා ගියපු හිතවත්කම නිසාවෙන්. ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින ආරියපාල විවාහකයි. ඔහුගේ බිරිඳත් සමහර දවසට මාවත අයිනේ පොත් වෙළදසලට එන්නේ ඔහුගේ අත් උදව්වට.
මුද්‍රණයන් කිහිපයක් ඇති පොත්වල ප‍්‍රථම මුද්‍රණය පවා ඔහුට ඉතා හොඳින් මතකයි. සමහර පාඩම් පවා කිවූ විට පොත දීමට තරම් ඔහුගේ අවබෝධය පෘථුලයි. මාවතේ ආ ගිය බොහෝ පිරිස අතරින් නිතර ඔහුව සොයා ඇවිත් පොත් අරන් ගිය අය ඒවායේ තිබුණ දැනුම අරගෙන අද සමාජයේ ඉහළම තැන වැජඹෙනවා.
අවුරුදු ගාණක් කරගෙන ආපු මේ ව්‍යාපාරයට කණ කොකා හඬමින් ඉන්නවා. ඒ තාක්ෂණය හේතුවෙන්. ලේසි පහසුවට මුද්‍රිත මාධ්‍ය පරිගණකගත කළත් එයින් පීඩා විඳින්නන් බොහෝමයි. බොහෝ ශිෂ්‍යයින් පිරිසක් වර්තමානය වෙද්දි දැනුම සොයා යන්නේ අන්තර්ජාලයෙන්. අලූතින් පොතක් මිලදී අරගෙන කියවන ප‍්‍රවණතාවය බොහෝම අවමයි.තාක්ෂණික දියුණුව අතින් ක‍්‍රමිකව ලෝකය ඉදිරියට යද්දී පොත් වෙළ`දාමට අසුබ කාලයක් දවසක් අද උදා වෙලා. කාලය ඉන්නේ බොහෝ දේ වෙනස් කරමින් නොනවතින ගමනක. සෑම දෙයක් ම මේ වන විට දැවැන්ත පරිවර්තනයකට ලක් වෙලා හමාරයි. ඒත් එදා ඉඳන් තමන් තවමත් පරණ මිනිසකු ලෙස ජීවත්වෙලා ඉන්න එක ගැන මාවතේ පොත් වෙළෙන්දා සතුව කිසිදු පසුතැවීමක් හෝ කලකිරීමක් නම් නෑ.

සටහන සහ ඡායාරූප
-නලිනිකා ලක්ෂාණි-
http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16495.jpg

අදටත් පවතින ම්ලේච්ඡ චාරිත්‍ර...

Real People: Liya Kebede is Waris Dirie in Movei of Desert Flower
ලිංගික ම්ලේච්ඡත්වය මේ ලෝකයේ අදටත් සිද්ධ වෙනවා. මිනිස් ඇස් පනාපිටම. ඒකට හොඳම හෙලිදරව්වක් තමයි ‘කාන්තාරයේ කුසුම’. සමහර විට ඔබ මේ පොත කියවලාත් ඇති. ඇස්තමේන්තුගත තොරතුරුවලට අනුව රටවල් තිහක පමණ මෙය සිදුවෙනවා. සෝමාලියාව, උගන්ඩාව, කෙන්යාව, එරිත‍්‍රියාව වැනි අප‍්‍රිකානු රටවල් ද ආරාබි රටවල්වල අදටත් කාන්තා ජනනේන්ද්‍රීය කොටස් සුන්නත්කරණය කිරීමේ ම්ලේච්ඡ චාරිත‍්‍රය පවතිනවා.
කාන්තා ජනනේන්ද්‍රිය කොටස් සුන්නත්කිරීමේ කාර්ය අනාගතයේ විවාහයට සූදානම් කිරීමක් ලෙසින් එකී රටවල සිදු කළ ද මෙහි ඇති අනාරක්ෂිත බව සහ සෞඛ්‍යාරක්ෂාවකින් තොර වීම හේතුවෙන් මිලියන ගණනක් දැරියන් අවධානමේ සිටින බවයි පැවසෙන්නේ. ඒ සඳහා යොදාගන්නා උපකරණවල ස්වරූපය පවා පොතේ සඳහන් වනවා. ගල් යුගයේ චාරිත‍්‍රයක් වශයෙන් සැලකිය හැකි මේ කර්තව්‍යය ලෝකයට හෙලි කරමින් එම තත්වයේ ඇති සංකීර්ණතාවය පහදමින් මීට එරෙහිව මේ වන විටත් වාරිස් ඩයරි කටයුතු කරනවා. කාන්තාරයේ කුසුම-Desert Flower ඇගේ ව්‍යාපෘතියේ නමයි.
වාරිස් ඩයරි කියන්නේ මේ කෘර වධ හිංසාවට වයස අවුරුදු පහේදී මුහුණ දුන් කෙනෙක්. මෝස්තර නිරූපන ශිල්පිනියක වන වාරිස් මේ වන විට කාන්තා ක‍්‍රියාකාරිනියක වශයෙන් කටයුතු කරනවා. මැය සිය ජීවිත කතාව ලෝකයට හෙලි කරන්නේ 1997 වසරේදීයි.වාරිස් ඩයරිගේ මේ නිර්ව්‍යාජ හෙලිදරව්වත් සමග මුලූ ලෝකයක් කම්පා වූ අතර ප‍්‍රාථමික සංස්කෘතික ලක්ෂණ රැකීමට වෙර දරන මෙවන් සමාජ තත්වයන් අදට ඔබිනවාද යන්න ඇය ප‍්‍රශ්න කළා.
එකී සමාජයන්ට කාන්තාවන් සිය විවාහයට සූදානම් වීම අරභයා සිදු කර ගත යුතු පුණ්‍ය කර්මයක් බදු වූ මෙකී චාරිත‍්‍රය කලාව" සාහිත්‍ය" තාක්ෂණය අතින් සීග‍්‍ර දියුණුවක් ලැබූ වර්තමානයට ගැලපෙනවාද යන්න සිතා බැලීම වටිනවා. එමෙන්ම එකී සමාජ ස්ථරයන් දැනුවත් කිරීමේ කාර්යය නූතන මාධ්‍යයේ සමාජ කාර්යම නේද? සෝමාලියාව කිවූ සැනින් සිහි වන සාගතයෙන් පීඩිත රටක දේශපාලනික අවුල් වියවුල් පමණක් නොවෙයි අසාමාන්‍ය සහ කෘර ගෝත‍්‍රික ලක්ෂණයන් ද ඇති බව සිතීමට ඇය කාලය දී හමාරයි. විවෘත නොවී කටයුතු කරන තාක් මෙවන් ගැටලුකාරී තත්වයන් නොවිසඳී ඒ ආකාරයෙන්ම පවතිනු ඇත.
නලිනිකා ලක්ෂාණි

චිකාගෝ නුවරදී...

මානව දයාවෙන් අග තැම්පත් පුද්ගලයන් බොහෝ පිරිසක් සමාජයේ හොයාගන්නට ලැබෙන්නේ නෑ. හොඳයි යැයි කිව හැකි මිනිසුන් ලොව අඩුයි. අපට පුළුවන් නම් තමන් ඉදිරියේ සිටින අයෙක් ඔහු හෝ ඇය ඉදිරියේ අගය කරන්න, නිසැකයෙන් තමන් සතු හොඳම ගුණාංගය එය වේවි. පිදිය යුත්තන් පිදීම වගේම අගය කළ යුත්තන් අගය කිරීම ද උතුම් ගුණධර්මයක්. මේ දිනවලදී වැඩිපුර කතාබහට ලක්වන පුද්ගලයෙක් ගැනයි මේ කතා බහ ගෙන එන්නේ.
ඇමරිකානු පාලන තන්ත‍්‍රය තුළ හතලිස් හතරවන ජනාධිපතිවරයා වූ බැරැක් ඔබාමා මහතා මානව දයාවෙන් පිරිපුන් බව මාධ්‍යයෙන් නිරන්තර අවධානයට ලක් වුණා. ඇමරිකාවේ ප‍්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ද වන ඔහු වසර අටක පාලන ධූරයක් දැරුවා. එළඹුණු 2017 වසරේ ජනවාරි 10 වන දින චිකාගෝ නුවර පැවති උත්සව සභාවක ඔහු කළ ප‍්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා පැතිරෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා ලෙසින් සමුගැනීමට පෙර ඔහු කළ සමුගැනීමේ කතාව එයයි. ජනාධිපති ධූරය දරමින් සිට සිය ජනතාව අමතමින් අවසන් කතාව සිදු කිරීමට චිකාගෝ නුවර තෝරා ගත්තේ ද සිය ජීවිතයේ මුල් කාලයේ සිදුවීම් රැසක් සමග ඒ නගරය සමීප නිසාය.
ඒ ගැන කතා කරන්න කලින් බැරැුක් ඔබාමාගේ ළමා කාලය ගැන කතා කළොත් ඔහුගේ ජීවිතයත් දුක් කම්කටොලූ මැදින් ආ ජීවිතයක් බවයි අදුරගන්න පුළුවන් වෙන්නේ. හවායි දූපතේ හොනලූලූවලදී ඔහු ඉපදෙනකොට පුංචි ඔබාමාගේ පියා හවායි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් තමයි පසු වෙලා තියෙන්නේ. ඔබාමාට වයස අවුරුදු දෙක සම්පූර්ණ වන විට ඔහුගේ පියා වෙනත් විවාහයක් සිදු කරගන්නවා. පුංචි ඔබාමා සිය මව සමග ඉන්දුනීසියාවට යන්නේ මවගේ දෙවනි විවාහයත් සමගයි. මේ විදිහට වයස දහයේදී නැවත වාරයක් හවායි දූපතට පැමිණෙන ඔහු 1993 වසරේදී ක්‍රෙන්ස් දිකාගෝ බිස්නස් සමාගම විසින් වයස අවුරුදු 40ට අඩු බලවත්ම පුද්ගලයින් දසදෙනා අතරට ඔබාමා නම් කරනවා. මේ විදිහට ඔහු හාවර්ඞ් නීති විද්‍යාලයට ඇතුලත් වෙනවා. මේ ආකාරයට තමයි ඔබාමා ක‍්‍රමයෙන් දේශපාලනයට යොමු වෙන්නේ.
සංවේදී වෙනවා නම් සංවේදී වෙන්න අවශ්‍ය වන්නේ යම් කෙනෙකුගේ දුක්බර අතීතයට නොවේ. අපිට පුළුවන් නම් සංවේදී කාරණාවකින් අපේ ජීවිතයටත් ශක්තියක් ගන්න, ඒ තරම් වටිනා දෙයක් ලොව තවත් නැති වේවි. ජීවිතය කියන්නේම අලූත් පාඩම් උගන්වන පාඩම් පොතක් කියලයි ඒ කාරණාවේදි අපි හිතන්න ඕන. දැන් ඔබාමාගේ කතාවට ආයෙත් අපි යමු.
කලින් කියපු සිදුවීම ගැන කතා කළොත් ඔහු පසුගිය දිනකදී චිකාගෝ නුවරදී කළ කතාවේ එක් අවස්ථාවක් මුළු පේ‍්‍රක්ෂකාගාරයම හඩවනවා. ඔබාමාගේ බිරිඳ මිචෙල් ඔබාමා සහ මාලියා ඔබාමා කියන එක් දුවෙකුත් පේ‍්‍රක්ෂකාගාරයේ ඉදිරි පෙළ අසුන් ගෙන සිටිනවා. ‘මගේ බිරිඳ, මගේ දරුවන්ගේ මව පමණක් නොවෙයි, මගේ හොඳම මිතුරියත් ඔබයි’. ඒ වගේම මාලියා සහ සාෂා කියන දියණියන් දෙදෙනා ගැනත් ඔහු සඳහන් කරන්නේ හැගුම්බරවයි. මාලියාගේ සහ සාෂාගේ පියා වීම ආඩම්බරයක් බවත් ඔවුන් දෙදෙනාට ප‍්‍රණාමය පුද කරන බවත් ඔබාමාගේ කතාවට ඇතුළත් වුණා. මේ අවස්ථාව ඉතාමත් සංවේදි අවස්ථාවක් වන්නේ ලොව කිසිදු ජනාධිපතිවරයෙක් මෙවැනි ආකාරයේ කතාබහක යෙදී නොමැති නිසාවෙන් විය හැකියි. කාර්යබහුල වූ ජනාධිපති ජීවිතයේදී ඒ සියල්ල ඉවසා දරා සිටියාට බැරැක් ඔබාමා සිය පවුලට හදවතින්ම ප‍්‍රණාමය පළ කළා. මේ කතාව මාධ්‍ය පුරා විසිරී ගියේ දේශපාලන ප‍්‍රචාරන ක‍්‍රියාවලිය අභිබවා ගිය සංවේදී මොහොතක් වූ නිසාය.
නලිනිකා ලක්ෂාණි

ප‍්‍රශ්න එන්නේ ම ජීවිතය දිනවන්න..

ප‍්‍රශ්න එන්නේ ම ජීවිතය දිනවන්න...........

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියලා කියන්නේ කට කහනවට නෙවෙයි. අපිට එකපාරටම පේන්නෙ නැති දේවල් ගොඩක් හොඳට ඇස් ඇරලා බැලූවොත් හොයාගන්න පුළුවන්. එහෙම හොයාගත්ත අයත් ජීවත්ව ඉන්නවා වගේම නොනවතින ගමනක ගිහින් ජීවිතය දිනපු අයත් මේ ලෝකේ ඉන්නවා. සරලවම කිවුවොත් ජීවිතය අපි හිතන තරම් ලේසියෙන් දිනන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි උත්සහවන්න බව වගේම වාසනා ගුණ මහිමය කියන දෙකටම පුළුවන් අපිව ඉහළටම අරන් යන්න. නිහඬ සිනමා යුගය අවදි කළ ඒ වගේ පුද්ගලයෙක් අපට හමුවෙනවා. අපි කතා කරමු ඔහු ගැන.
දුප්පත්කම දෝතට අරගෙන ඉපදුණු චාලිගේ කුඩා කාලය අති දුෂ්කර විදිහට තමයි ගෙවෙන්නේ. 1889 අපේ‍්‍රල් මාසයේ 16 වන දින එංගලන්තයේ ලන්ඩන් නුවර චාල්ස් ස්පෙන්සර් චැප්ලින් සහ හැනා හිල් චැප්ලින්ට දාවයි චාලි උපදින්නේ. දෙමාපියන් සංගීත ශාලාවල ගීත ගායනා කර මුදල් සෙවූ අතර චාලිගේ පියා බීමත්කමට ඇබ්බැහි වන්නේ අකාලයේය. ඔහු චාලි, චාලිගේ මව සහ චාලිගේ සහෝදරයා අත්හැර යන්නේ ඉන්පසුවය. චාලිගේ අම්මා සංගීත ශාලාවල ගීත ගායනා කරමින් සිටියදී ඇගේ හඬ දුර්වල වී යන්නේ නොසිතූ පරිද්දෙන්. මේක ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ සිද්ධියක් බවට පත් වෙනකොට චාලිගේ අම්මා මානසික වියවුලකට පත් වෙනවා. චාලිටත්, අම්මාටත්, සහෝදරයාටත් මාසයේ අන්තිම සතිය වෙනකොට ඉන්න කුලී ගෙදරින් එළියට බහින් සිද්ධ වෙන්නේ කුලිට ගෙවා ගන්න බැරිවන විටයි. ඔවුන් උද්‍යාන බංකුවල, මාවත් අයිනේ දිවි ගෙවන්නටත් හුරු වෙනවා. කොහොම වුණත් චාලිට සහ සොයුරා වන සිඞ්නිට සිද්ධ වන්නේ අනාථ නිවාසයකට යාමටයි. බොහෝ කාලයක් ඔවුන්ට සිදු වූයේ කුසගින්නේ වේලෙන්න. පාසල් යාමත් අත්හරින චාලි ඉන්පසුව ක‍්‍රමයෙන් කලාවට යොමු වෙනවා. චාලි රංගනයෙන් දායකත්වය දක්වපු චිත‍්‍රපට අතර The Kid, The woman in Paris, The Gold rush, The circus, City Lights, Modern Times, The Great Dictator, Limelight ආදී චිත‍්‍රපට ප‍්‍රධානයි. 1917 පමණ වෙනකොට චාලි, ස්වාධීන චිත‍්‍රපට නිශ්පාදකවරයෙක් වීමට තීරණය කරනවා. චාලි චැප්ලින් ජනප‍්‍රිය වන විට ඔහු පැළඳූ තොප්පියේ විලාසිතාව, චැප්ලින් බෝනික්කන්, චැප්ලින් සෙල්ලම් බඩු, පැළඳූ ටයි එක, මේස් එකේ විලාසිතාව ඉතාමත් ප‍්‍රසිද්ධ වුණා. ලෝ සුපතළ චාලි චැප්ලින් ලක්ෂපතියෙක් වන්නේ චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ රැඳීමෙන්. නළුවෙක්. චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, තිර පිටපත් රචකයෙක් විදිහට ඔහු ලොවට කළ සේවාව ඉතාමත් වටිනවා.
අපි දන්න දේවල් ඇතුළේ නොදන්න දේවල් ගොඩක් තියෙන බව ඉගෙන ගන්න චාලිගේ කතාව වටිනවා. ඒ වගේම වැටී වැටී ජීවිතය දිනන්න හයියක් හොයන වුන් වැටී වැටීම ජීවිතය හොයා ගනීවි මේ වගේ ජීවිත කතා දිහා බලලා. හැබැයි හැමදේම දැන ඉගෙන ගන්න එකයි සේරටම වැඩියෙන් වටින්නේ. දුෂ්කරතා එන්නේම ජීවිතය දිනවන්න බව චාලි උගන්වා හමාරයි.
නලිනිකා ලක්ෂාණි

Thursday, January 26, 2017

ශක්තිමත්ව නැගී සිටින්න....



කාර්යබහුල වෙලාවක ඔබට ඔබේ අත් පා අහිමි වූවා යැයි සිතන්න. මැවී පෙන්නේ ඇවිදීමට හෝ අත්‍යවශ්‍ය කිසිදු කාර්යක් ඉටු කර ගැනීමට නොහැකිව ලතැවෙන ස්වරූපයක් නේද? එහෙම වුණොත් කොතරම් නම් අපහසුතාවයකට වගේම වියවුලකට ඔබ පත් වේවිද? නමුත් කාලානුරූපව මේ තත්වයට හුරු වේවි කියා හිතන්නත් පුළුවන්. හැබැයි ජීවිතේ සාර්ථකභාවය කෙසේ වේවිද කියා නම් හිතන්න ටිකක් අමාරුයි නේද මේ කතා කරන්නේ උපතින්ම අත් පා අහිමි වූ පුද්ගලයෙක් ගැනයි. මෙවැනි මිනිසුන් කොතෙක් නම් මේ ලොව ඇතිද? 
Nicholas James Vujicic කියන්නේ ධෛර්යවන්තව කතා කිරීමට දක්ෂ පුද්ගලයෙක්. මොහුව මාධ්‍ය හරහා ලෝකෙට හඳුන්වලා දුන්නේ Nick Vujicic  කියලා. Nick කියන්නේ අන්වර්ථ නාමය. ඔහුට පුළුවන් මිනිසුන්ගේ හිත් දිනාගන්න පුළුවන් විදිහට කතා කරන්න. අන්තර්ජාලය පුරා සහ මාධ්‍ය පුරා මොහුගේ වීඩියෝ ප‍්‍රචාරය වෙනවා. ඒ වගේම මහජන කථනය වගේ පාඩම් මාලා වලට මේ කතා උපයෝගි කරගන්න තරම් නික්ගේ කතා කිරීමේ හැකියාව ප‍්‍රබලයි. 

ආබාධිත තත්වයක් කියන්නේ නොහැකියාවක් නොවෙයි. බාහිර ශරීරාංගයන්ගෙන් පර්පූර්ණ මිනිසෙකුට කරන්න බැරි බොහෝමයක් දේවල් උපතින්ම ශරීරාවයව අහිමි වූවන් කරන බවට හො`දම සාක්ෂිය නික්.  ඕස්ෙටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ඉපදෙන නික් ඉපදෙන්නත් කලින් ඔහුගේ මව දැනගෙන ඉදලා තියනවා නික් ඉපදෙන්නේ බාහු සහ කකුල් නොමැතිව කියලා. නික්ගේ කුඩා අවධිය ගෙවිලා තියෙන්නේ දුෂ්කරතා ගොඩක් මැද්දෙන්. රජයේ පාසලකට ඔහුව ඇතුළත් කර ගැනීමට පවා නොහැකි වෙලා තියෙන්නේ මේ ආබාධිත තත්වය හේතුවෙන්. නීති විෂය මාලාවෙන් අධ්‍යාපනය හදාරන්න ආසාවෙන් හිටපු නික්ට සිදුවෙන්නේ වාණිජ විෂයෙන් අධ්‍යාපනය ලබන්න. අවසානයේදී ඔහු ගණකාධිකරණය සහ මූල්‍යමය සැලසුම්කරණයෙන්  ඕස්ටේ‍්‍රලියාවේ ග‍්‍රිෆිත් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගන්නවා. අවුරුදු 19 වනවිට ඔහුගේ ජීවිතය ආශ‍්‍රය කරගනිමින් ලෝකය වටා සිටින මිනිසුන් සිය කතාවෙන් ධෛර්යවන්තව නගා සිටුවීමට නික් පටන් ගන්නවා.
දෙවියන් වහන්සේගෙන් ඔහු ඇයැද සිටියේ සාමාන්‍ය මිනිස්සන්ට වගේම ඔහුටත් අත් සහ කකුල් ලබා දෙන ලෙසයි. දිනක් ඔහුගේ මව පුවත්පතක තිබූ තවත් ආබාධිත පුද්ගලයකු පිළිබඳ ලියවුණු ලිපියක් නික් අතට දෙන්නේ ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරමින්. ජීවිතය වෙනස් කරගන්නට නික් හිතන්නේ ඉන් අනතුරුවයි. පාදවල ඇගිලි කිහිපයක් පමණක් ඇති නික් එහි උදව්වෙන් මිනිත්තුවට වචන 45ක් ටයිප් කිරීමට තරම් දක්ෂයකු බවට පත් වෙනවා. ඔහුගේ හිස පීරා ගැනීමට, පිහිනීමට, වතුර වීදුරුවක් අල්ලා ගැනීමට, ඩ‍්‍රම්ස් පෙඞ්ල් එකක් වාදනය කිරීමට, දත් මැද ගැනීමට, දුරකථනයෙන් ඇමතීමට ආදි කාර්යන් කිරීමට නික්ට ක‍්‍රමයෙන් හුරු පුරුදු වෙනවා. 

2005 වසරේදී Young Australian of the year  බවට පත් වන්නේද නික්. 2012 වසරේදී ඔහු තම ආදරවන්තිය සමග විවාහ ගිවිස ගන්නවා. ඇය තමයි  Kanae Miyahara. ඔවුන්ට මේ වනවිට දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔහු විසින් ලියූ පොත් අතර Life Without Limbs: The Incredible Power of Faith in Action, Love Without Limits: A Remarkable Story of True Love Conquering All and Stand Strong  ආදිය ඉතාමත් වේගයෙන් ජනතාව වැළඳ ගත්තා. ලෝකය පුරා රටවල් 58ක මේ වන විට ඔහු සංචාරය කරලා තියනවා.Attitude In Altitude (AIA)  කියන්නේ නික්ගේ වෙබ් සයිට් එක. 2007දී ඔහු මෙය ආරම්භ කරන්නේ ලෝකය වටා සිටින මිනිසුන්ගේ ධනාත්මක චින්තනය දල්වාලන අරමුණින්. 

ජීවිතය පුරාවටම අපට නොයෙක් මිනිසුන් හමු වේවි. ඒ මිනිසුන් ළඟත් අපි මොහොතක් හරි නැවතුණොත් ජීවිතේටම අමතක නොවෙන දේවල් ගොඩක් ඔවුන්ගෙන් ඉගෙන ගන්න ලැබෙනවා නියතයි.

නලිනිකා ලක්ෂාණි
(මව්බිම යං හි පළ වූවකි)


Saturday, January 14, 2017

තෛයි පොන්ගල්....
Pongal Festival in Thirunelveli-Kathmandu 2017 (Mani Prabhu's Photo)

අස්වනු නෙලීමේ උත්සවය යන නමින් හඳුන්වන පොන්ගල් උත්සවය යෙදෙන්නේ අවුරුද්දේ පළවෙනි මාසයට. දමිළ වචනයට අනුව පොන්ගල් කියන්නේ 'උතුරා යාම' එහෙමත් නැත්නම් 'පිටාර ගැලීම' කියන තේරුම. සාරවත් අස්වැන්න ගොවියාට ලබා ගැනීමට හැකිවීම වෙනුවෙන් හිරු දෙවියන්,වැස්ස සහ අස්වනු සකස් කිරීමට දායක වන සතුන් පිදීම තමයි මෙහිදී කරන්නේ. හින්දු භක්තිකයන් විසින් වසරේ පළමු අස්වැන්න මේ විදිමට සූර්ය දෙවියන් උදෙසා පූජා කරනු ලබනවා. දින ගණනාවක් තිස්සේ හින්දු ජනතාව පොන්ගල් අවුරුද්ද වෙනුවෙන් සූදානම් වෙනවා. අලුත් ඇඳුම් මිළදී ගැනීම, නිවෙස් පිරිසිදු කිරීම, රසකැවිලි පිළියල කිරීම ඔවුන්ගේ කටයුතු අතර ප්‍රධානයි.
කොහොම වුණත් පොන්ගල්වලට තමිල්නාඩු ප්‍රසිද්ධ බව කවුරුත් දන්න කාරණයක්. මොකද පොන්ගල් උත්සවය ආරම්භ වන්නේ තමිල්නාඩුවෙන් කියලයි සඳහන් වෙන්නේ. තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුනෙල්වෙලි ප්‍රදේශයේ මිත්‍රෙයක් සඳහන් කරපු විදිහට ඒ අය පොන්ගල් සමරන්නේ දින හතරකදී. ඒ දින හතර නම් කරන්නේ,
පළමු දිනය 'භෝගී දිනයේදී' පරණ සියලු පරණ ඇදුම් ආදිය පුලුස්සා පරණ දේවල් අමතක කර අලුත් දිනයක් ප්‍රාර්ථනා කරන බවත්, දෙවන දිනය 'තෛයි පොන්ගල්' දිනය හෙවත් ප්‍රධාන දිනය බවත්, තුන්වන දිනය 'මට්ටු පොන්ගල්' දිනයේදී සිය ගවයින් පිරිසිදු කිරීම, ඔවුන්ට ස්තූති කිරීම සහ වන්දනා කිරීම ආදියත්, හතරවන දිනය 'කන්නම් පොන්ගල්' දිනයේදී සියලු නෑදෑ හිත මිතුරන් හා සතුටු වන බවයි ඔහු පැවසුවේ. තමිල්නාඩුවේ ජනවාරි 14 වන සෑම දිනයම තෛයි පොන්ගල් දිනයට වෙන්වෙලා තියනවා.
'පොන්ගල් බත' තෛයි පොන්ගල් උත්සවයේදී සුවිශේෂිතම ආහාරයයි. සහල්, කිරි සහ දුඹුරු සීනි හෝ හකුරු, කජු ආදිය යොදමින් සකසන මේ ආහාරය හිරු දෙවියන් උදෙසා පුදනවා.  සම්ප්‍රදායට අනුව මේ ආහාරය 'පොන්ගල්' කියලා හඳුන්වනවා. ඒ අතර වඩේ, මුරුක්කු, පායාසම් ඥාතීන් අතර බෙදා හදා ගන්නවා. ගොවියන් තමන්ට ගොවිතැනේදී උදව් කරන ගවයින් පිරිසිදු කරමින් ඔවුන් වර්ණ කරමින්, සීනු සහ මල් ආදිය එල්ලමින්, රසකැවිලි කවමින් හෝ උක්දඩු ආදිය කවමින් ගවයින්ට සලකයි. ඇතැම් පුද්ගලයින් සිය ගවයින්ගේ අං සරසන්නේ රත්තරනින්.



Saturday, January 7, 2017

අසම්මත වුවත් පේ‍්‍රමය, පේ‍්‍රමයමයි....


ජීවිතේ සමහර සිදුවීම් තියනවා අපේ හිත් හාරලා අවුස්සන. මේ සිදුවීම්වලට පුළුවන් අපේ ජීවිත වෙනස් කරන්න. ඒ වෙනස් කිරීම් සියල්ල හොඳ විදිහටම වෙනවා නම් තමයි වඩාත් හොඳ. ඒත් හොඳම විදිහට සිදු නොවී නොහිතන විදිහටත් සිද්ධ වෙන එකයි සාමාන්‍ය ලෝක ස්වභාවය. මේ එක එක සිදුවීම්වලදී අපි ගන්න තීරණ අපිට විතරක් නෙවෙයි, අනිත් අයටත් බලපානවාද කියන එකයි අපි හිතන්න අවශ්‍යය. 

පේ‍්‍රමය ගැන කියවෙන කතා බොහෝමයක් තියනවා. මේ අතරින් සත්‍ය කතා, පුරාණෝක්ති, සුරංගනා කතා, ප‍්‍රබන්ධමය කතා, ඉතිහාසමය කතා අහලා පුරුදුයි. අලුත් පරම්පරාව ඇතුළුව මුලූ සමාජ පන්තියම ගත්තම පේ‍්‍රමයට සමීප නොවුණු කෙනෙක් අහම්බකාරකයෙක් මිසක් වෙන නාමයකින් නම් හඳුන්වන්න බෑ කියලයි  මට හිතෙන්නේ. 
වචනයෙන් ඍජුව ප‍්‍රකාශ කරන්නට නොහැකි හැඟීම් ගීතයෙන් එළියට එන්නේ අමුතුම ආකාරයට. ‘ගීතය’ භාවයන් හෙළි කරනවා. හැගුම් පුබුදුවනවා. සොදුරු මිනිසුන්ගේ ආත්මයන් අවදි කරනවා. මේ කතා කරන්න යන්නේ පේ‍්‍රමයේත්, අසම්මත පේ‍්‍රම කතාවක් ගැන.... ඒ ‘දස්කොන් ප‍්‍රමිලා ප්‍රේමය’.

ගීත නිර්මාණවලට නොයෙකුත් කතා පුවත් තේමා වන්නට පුළුවන්. ඒ ජීවිතානුභූතීන්, සමාජ සිදුවීම් ආදිය. මේ අතරිනුත් ජනශ‍්‍රැතියේ පුරාණෝක්ති ඇසුරින් නිර්මාණය වන ගීත නිර්මාණයන් ද තියනවා. දස්කොන් සහ ප‍්‍රමිලාවන් අපේ රටේ ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ සිටි යුවළක්. මොවුන් සම්බන්ධයෙන් සමාජීය වටිනාකමක් නැති බව හැඟුණත්, කලා නිර්මාණයන් රැුසකට දස්කොන් සහ ප‍්‍රමිලාවන්ගේ කතා පුවත් අනුභූතින් වෙලා තියනවා. ප‍්‍රමිලාවන් ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ බිසව වෙද්දි දස්කොන්, ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රජසිංහ රජුගේ මහාධිකාරම් වෙනවා. දස්කොන් මහාධිකාරම් කවියෙහි දක්ෂයකු බවයි සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ප‍්‍රමිලාවන් සහ දස්කොන් අසම්මත ප්‍රේමයකින් බැඳී සිටි බව ද ඒ හා සමවම ප‍්‍රකටයි. මේ පේ‍්‍රමය හෙමින් දළුලා වැඩුණු බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ප‍්‍රමිලාවන් හමුවීම දුෂ්කර වුණත් කෙසේ හෝ මේ දෙදෙනා කවි හුවමාරු කර ගන්නවා. පේ‍්‍රමයත් කවියෙන්. මේ පේ‍්‍රමය ගීත නිර්මාණ අතරට ගත් නිර්මාණකරුවන් රැසක් ඉන්නවා. දස්කොන්- ප‍්‍රමිලා පේ‍්‍රමයට අනතුරු ඇගවෙන්නේ රජුට මේ රහස් පෙම සැලවූ වහායි. අවසානයේ දස්කොන්ට මරණ දඩුවම හිමි වීමෙන් මේ සෙල්ලම කෙලවර වෙනවා. ප‍්‍රමිලාවනුත් නියගලා අල මතින් දිවි තොර කරගන්නේ පේ‍්‍රම වියෝව දරාගත නොහැකි තැනදීයි.

මේ පේ‍්‍රමය මේ තරම් ප‍්‍රකට වෙන්නේ දස්කොන්ගේ මරණය නිසාදැයි විටක මට හැගෙනවා. මරණයෙන් කෙලවර නොවුණා නම් මෙතරම් ප‍්‍රකට නොවන්නටත්  ඉඩ තිබුණා වෙන්න පුළුවන්. මරණයෙන් කෙලවර නොවුණු මෙවැනි පෙම් කතා කොතෙක් නම් මේ ලොව ඇතිද? ‘නැත ලොවේ අන් රසඳුනා- ආදරේ සේ සුවදෙනා’ සරච්චන්ද්‍රයන් විලාසිනියකගේ පේ‍්‍රමය කෘතියේ ලියන්නේ එසේයි.

රාත‍්‍රිය අපෙයි දස්කොන්... තවත් නෑ හිතේ අස්කොන්
පෙම් සිනා තෙපුල් අස්කොන්...පිච්ච මල් සුදුයි දස්කොන් 
ආදරේ රහයි දස්කොන්...
ආදරේ දෙතොල් පිරිලා..රෝස මල් රතුයි ප‍්‍රමිලා
වද මලින් ගෙතූ මල්දම්.. තිස් පැයේ පෙනේ මැවිලා
ආදරේ රුදුයි ප‍්‍රමිලා...

විප‍්‍රයෝගය...... කෙතරම් වේදනාකාරීද? වෙන්වීම නොවෙද මේ තරම් අපූරු ගී බිහි කරේ. සම්ප‍්‍රයෝගය සුමිහිරියි... එය විඳින තුරු විප‍්‍රයෝගය සිහියට නොනඟේ. අසම්මත වුවත් පේ‍්‍රමය, පේ‍්‍රමයමයි. අසම්මත හෝ අසම්මත බව තීරණය වන්නේත් සමාජය එය පිළිගන්නා හෝ නොගන්නා ආකාරය මතයි. අපිට අසම්මත දේ ලොව අන් රටකට සම්මත වෙන්න පුළුවන්. මෙයයි ලෝක ධර්මය. 

නලිනිකා ලක්ෂාණි.

Thursday, December 22, 2016

ප්‍රේමවන්ත කුමාරයෝ....

ඡායාරූප -හේමන්ත අරුණසිරි
 නාට්‍යවේදී ප්‍රියංකර රත්නායකයන්ගේ ප්‍රේමවන්ත කුමාරයෝවේදිකා නාට්‍ය පිළිබඳ  පසුගිය දිනක එතුමන් සමග කළ කතා බහක සටහනක්....
  • මේ නාට්‍යයේ පිටපත තෝරා ගනිද්දී ඔබට විශේෂ නිර්ණායකයන් තිබුණාද?

ඔව්. විලියම් ශේක්ස්පියර් නම් මහා නාට්‍යකරුවාගේ A Midsummer Night’s Dream නාට්‍යයේ ජයවතී ජයසිංහ මහත්මියගේ  සිංහලය පරිවර්තනය ඇසුරින් තමයි ප්‍රේමවන්ත කුමාරයෝ නාට් නිර්මාණය කළේ. නමුත් මේ පිටපත මුද්‍රණය වෙලා නෑ. මං විලියම් ෂේක්ස්පියර්ගේ මැක්බත් නාට්‍ය නිශ්පාදනය කරන්න සූදානම් වෙලා ඉන්න අතරතුර තමයි ප‍්‍රවීණ රංගන ශිල්පී දයාදේව එදිරිසිංහයන් මට මේ පරිවර්තන අත් පිටපත ගැන කියන්නේ. පිටපත තෝරා ගනිද්දී මට විශේෂ නිර්ණායක තිබුණේ නෑ. පරිවර්තන පිටපතක් තෝරගන්න කොට විවිධ අයට නොයෙක් විදිහේ හේතූන් තියෙන්න පුළුවන්. මං මීට පෙර නිර්මාණය කළ අද වගේ දවසක ඇන්ටිගනි, ඊඩිපස්, තටු ඇවිත්, විසේකාරියෝ වගේ හැම නාට්‍යකදී ම පිටපත තේරීමේ දී ඒ පිටපත මුල් කරගෙන වර්තමාන සමාජ ජීවිතය කොයි තරම් කියවන්න ඉඩ ලැබෙනවාද කියන දේ වැදගත් වුණා. ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍යට මුල් වුණු නාට්‍ය පරිවර්තන පිටපත සර්වකාලීනයි. එහි කතා කරන මනුෂ්‍ය අත්දැකීමේ තියන ගැඹුර හැම රටකට ම, හැම දේශයකට ම අර්ථකථනය කරන්න පුළුවන් හැකියාව මේ පෙළටත් තියන බව මං දැක්කා. මේ නාට්‍යයේ ප‍්‍රධාන තේමාව පේ‍්‍රමය. පේ‍්‍රමයත් එක්ක සිදු වන සාධනීය සිදුවීම් සහ නිෂේධනාත්මක සිදුවීම් මේ නාට්‍යයේ තියනවා. පේ‍්‍රමය ගැන මතු කරන ගැඹුරු සාකච්ඡාව තමයි මූලික හේතුව වුණේ මේ පිටපත තෝරා ගන්න.
ඡායාරූප -හේමන්ත අරුණසිරි

  •  ප‍්‍රහසනයත්, පේ‍්‍රමයත්, සංගීතයත් අපූරුවට ගළපගත්තේ කොහොමද?
ප්‍රේමවන්ත කුමාරයෝ කොමඩියක්. ඒ කියන්නේ සුඛාන්තයක්. ප‍්‍රහසනය සහ සුඛාන්තය අතර තියන වෙනස තමයි ප‍්‍රහසනයේ හාස්‍ය උත්පාදනය අපිව ගැඹුරු ජීවන දර්ශනයකට යොමු කරන්නේ නෑ. නමුත් සුඛාන්තයෙන් ජීවිතය ගැන ගැඹුරු කියවීමක් ඉදිරිපත් කරනවා. ප‍්‍රහසනය තියෙන නාට්‍ය බලලා ප‍්‍රහර්ෂයෙන් යුතුව ආවට ජීවිතය සම්බන්ධයෙන් අත්දැකීම් ලෝකය පුළුල් වෙන්නේ නෑ. පේ‍්‍රමය ප‍්‍රකාශ කරන්න පුළුවන් ප‍්‍රබල මාධ්‍යක් තමයි ගීතය. ඒ වගේ ම ගීතය මිනිස්සුන්ට සමීපයි. අපි දකින දෙයක් තමයි පේ‍්‍රමය ප‍්‍රකාශ කරන්න භාවිත කරලා තියන බහුල මාධ්‍ය සංගීතය කියලා. නාට්‍යයේ කෙතරම් ගැඹුරු අත්දැකීමක් තිබුණත් මේක සාමාන්‍ය රසවිඳින්නන්ට සමීප කරන්න  ඕන. මං හිතුවා මෙයට හොඳ ම දේ සංගීතය කියලා. ශේක්ස්පියර්ගේ නාට්‍ය වල ම ඒක තියනවා. මං කළේ ඒ සංගීත භාවිතය වර්තමාන මුහුණුවරකට අනුවර්තනය කර ගැනීම පමණයි. ලංකාවේ සිනමාවට අදාළ පේ‍්‍රම කතාවක් සමග ඊට අදාල සංගීතය යොදා ගන්නෙත් ඒ නිසයි. 
  • සාමාන්‍ය පරිවර්තනයක් නාට්‍යක් බවට පත් කරලීමේ දී  ඇති වන දුෂ්කරතා මොනවාද?

බොහෝ අය හිතන්නේ පරිවර්තනයක් නිශ්පාදනය කරන එක හරි ලේසියි කියලා. මුල් කෘතිය ඒ ආකාරයෙන් ම නිශ්පාදනය කරනවා නම් විතරයි ඒ ආකාරය පහසු වන්නේ. හැබැයි පරිවර්තනයක් ස්වතන්ත‍්‍ර අර්ථකථනයක් බවට පත් කරලීම තමයි අමාරු ම. A Midsummer Night’s Dream ශේක්ස්පියර්ගේ නාට්‍යයක් වුණාට ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍යයේ තියෙන්නේ මගේ ස්වතන්ත‍්‍ර අර්ථකථනයක්. ඒක දෙන්න නම් නාට්‍ය කලාව ගැන, අපි ජීවත් වන සමාජව ගැන, හොඳ සවිඥානිකභාවයක් තියෙන්න  ඕන. වඩා සාර්ථක පරිවර්තනයක් හෝ අනුවර්තනයක් සෑම විට ම ස්වතන්ත‍්‍ර අර්ථකථනයෙන් යුක්තයි. ස්වතන්ත‍්‍ර අර්ථකථනයක් නැත්නම් ඒක හොඳ නිශ්පාදනයක් නෙවෙයි. ඒක තමයි පරිවර්තනයක් නාට්‍යක් බවට පත් කරලීමේ දී  ඇති වන ලොකු ම අභියෝගය.
  • ජන සමාජයේ පවතින මතයක් තමයි උසස් නාට්‍ය සාමාන්‍ය ජනතාවට රසවිඳින්න බෑ කියන එක. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

ජන සමාජය තුළ තියන මේ අදහස සීයට සීයක් ම සාවද්‍ය අදහසක්. මොකද උසස් නාට්‍ය කියන හැම නාට්‍යක් ම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ලියපු නාට්‍ය. ග‍්‍රීක නාට්‍ය බැලූවේ සාමාන්‍ය මිනිස්සු. ශේක්ස්පියර්ගේ නාට්‍ය බැලූවේ සාමාන්‍ය මිනිස්සු. නෝ, කබුකි බලන්නේ සාමාන්‍ය මිනිස්සු. එලෙස ගත් විට සම්භාව්‍යයි කියන නාට්‍ය හැම එකක් ම සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් ලියපු සහ ඒ අය නරඹපු නාට්‍ය. පසු කාලයක දී අපේ රටේ එක්තරා විදග්ධ පන්තියක් විසින් යම් බයක් ඇති කරලා තියනවා සාමාන්‍ය මිනිස්සුන්ට විදග්ධ නාට්‍ය රසවිඳින්න බෑ කියලා. මේක සම්පූර්ණයෙන් ම සාවද්‍ය අදහසක්. නමුත් නාට්‍යක් රසවිඳින්න නම් හොඳ නාට්‍ය රසිකයෙක් වෙන්න  ඕන. ඒ කියන රසිකයා හැම සාමාන්‍ය මිනිසෙක් තුළ ම නෑ. මේක  ඕනෑ ම කලා මාධ්‍යකටත් අදාළයි. අපේ රටේ තියන ප‍්‍රශ්නය තමයි මේ තත්වයට අදාළ අභ්‍යාසයන් වල කවුරුත් යෙදෙන්නේ නෑ. සරච්චන්ද්‍රයන්ගේ ඉඳලා අපේ මහා නාට්‍යවේදීන් කිසි කෙනෙක් උසස් නාට්‍ය සාමාන්‍ය පේ‍්‍රක්ෂකයාට දැනෙන විදිහට නිශ්පාදනය කිරීම සඳහා උත්සහ දරලා නෑ. නමුත් මේ අය උසස් නාට්‍යවල ආභාසය ලබලා තියනවා. සිංහබාහු නාට්‍යයේ ඊඩිපස් හෝ ඇන්ටිගනිවල ආභාසයත්, ලෝමහංස නාට්‍යයේ ඉපලොටෙස් වගේ ග‍්‍රීක නාට්‍ය ආභාසයත්, හෙන්රි ජයසේනයන්ගේ කුවේනි නාට්‍යයේ මීඩියා නම් ග‍්‍රීක නාට්‍යයේ ආභාසයත් තියනවා. හොඳ සෑම නාට්‍යකරුවෙකුට ම සම්භාව්‍ය නාට්‍ය කලාවේ බලපෑම ලැබිලා තියනවා. එහෙම නැතිව විශිෂ්ට ස්වතන්ත‍්‍ර නාට්‍යක් ලියන්න බෑ. මේ කාරණාවේ දී සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචර වන රසය කුමක්ද යන්න සොයා ගැනීම ඉතා වැදගත් කාරණයක්.
ඡායාරූප -හේමන්ත අරුණසිරි
සටහන-නලිනිකා ලක්ෂාණි


කථිකාචාර්ය චින්තක රණසිංහ මහතා  සමඟ කළ සංවාද සටහනක්....      
kln.ac.lk

 සාහිත්‍ය ලෝකයට ආලෝකයක් සපයමින් සාහිත්‍ය දුහුනන්ගේ ඥාන ගවේශනයට අවැසි කෘති බොහෝමයක් රචනා කරමින් සාහිත්‍යට ලැදි දිවියක් ගෙවන කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය චින්තක රණසිංහ මහතා සමග කරන ලද සංවාදයක් සටහන් තබම්.
  •    ඔබ කොහොමද සාහිත්‍ය යන්න අර්ථකතනය කරන්නේ?

සාහිත්‍ය කියන දෙයින් මං මූලික වශයෙන් ම අදහස් කරන්නේ වඩාත් වින්දනාත්මක පාර්ශවයක් සහ භාවාත්මක බවක් සහිත දෙයක් විදිහට. නමුත් එහිදී බුද්ධිමත් පාර්ශවයක් නෑ කියලා අදහස් වෙන්නේ නෑ. සාහිත්‍ය කියන්නේ ගණිතය හෝ වෙනත් විෂයක් නෙවෙයිනේ. සාහිත්‍ය කෘතියක් ගත්තම වඩාත් නිරවුල් මෙන් ම අර්ථය පැහැදිලි වෙන්න  ඕන. වඩාත් සංවේදී පුද්ගලයකුට ඇමතිය යුතු අතර සංවේදීභාවය ද වර්ධනය කරන්න  ඕන. ඒ කාරණය සම්පූර්ණ කළාට පස්සේ තමයි බුද්ධිය කියන කාරණාවට සාහිත්‍යකරුවාට එන්න පුළුවන් වෙන්නේ. වර්තමානයේ පවතින සිංහල සාහිත්‍ය කියන දෙයෙහි තියන බරපතල අර්බුදය තමයි ප‍්‍රහේලිකාත්මක ගතිය සහ දුරවබෝධ ගතිය. දැන් ඉන්න විචාරකයෝ කියන්නේ ඒක කියලා. නන් විධ අර්ථ දෙන්න  ඕන කියලා. නමුත් නන් විධ අර්ථ කියන එකේ සීමාවක් තියෙන්න  ඕන. නවකතාවක් ගත් විට ඒ නවකතාවේ ප්‍රොයිඞ්ගේ හරි ලකාන්ගේ හරි තියරි හොයන්න  ඕන නෑ. මගේ හදවතට දැනෙනවානම්, මට මගේ ජීවිතේ සිහියට එනවා නම්  මං කියවන්නේ ඒ නවකතාව. ඒකෙදී මට ජ්‍යාමිතියවත්, තියරිවත් වැඩක් නෑ. මෙතනදී කියන්න  ඕන ආධිපත්‍ය විචාර කලාවක් දැන් වන විට බිහි වෙලා තියනවා කියලා. නමුත් 1950 ගණන්වල ලියවුණු නවකතා, හේමරත්න ලියනාරච්චිගේ නවකතා සිරි ගුණසිංහගේ නවකතා දැඩිව හදවත් ඇද ගන්නවා වගේ ම අපේ ජීවිතවලින් ප‍්‍රශ්න කරන්න පොළඹවනවා. අදත් ඒ වගේ නවකතා ලියවෙන්නැතුව නෙවෙයි. හැබැයි ඒවා ඔය සම්මාන උළෙලවල් වල මාධ්‍යවල අගය කෙරෙන්නෙත් නෑ අගය කරන්න දන්න මිනිස්සුත් නෑ. ඒක තමයි ප‍්‍රශ්නය දැන් තියන.
  • ·        ඔබ නවකතාකරුවෙක් වගේ ම කවියෙක්. මේ නිර්මාණ ප‍්‍රවේශයන්ගෙන් ඔබට වඩාත් සමීප ප‍්‍රකාශන මාධ්‍ය මොනවාද?

මගේ මූලික ම මාධ්‍ය තමයි කවිය. මං විශාල වශයෙන් කවි ලියලා තියනවා. පළ කරලා තියෙන්නේ ටිකයි. සමාජ අවශ්‍යතාවයක් විදිහට දැන් සිද්ද වෙන දේවල් ලියන්න වෙලා තියනවා මට. කොහොම වුණත් මගේ අනන්‍යතාවය මං කවියෙක්. හැබැයි ඉතින් දාර්ශනික ප‍්‍රහේලිකා කවියෙක් නම් නෙවෙයි. සාමාන්‍යයෙන් කවි ලියනවා.
  • ·        ඔබ ලියූ  ‘පිරිමි කවුරුද වරදෙ නොබැඳනකෘතිය තුළ චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍ය ඇසුර වඩාත් පුළුල්ව දක්නට ලැබෙනවා. නව නිර්මාණකරුවන්ට මේ පැරණි සාහිත්‍ය පරිශීලනය තුළින් ලද හැකි ආභාසය කොයි වගේද?

චිරන්තන ගද්‍ය පද්‍ය වගේ ම වර්තමාන ඇසුර ගැනත් මගේ කෘතියේ කතා කරනවා. ඇත්ත වශයෙන් ම මගේ කෘතිය ගැන මං කතා කරන එක හොඳ නෑ. ඒක කියවන අයට සහ  ඕන ම කෙනෙක්ට  ඕනම විදිහක ඇගයීමක් සහ විනිශ්චයක් කරන්න පුළුවන්.
grantha.org
  • ·        වර්තමානයේ බොහෝ ප්‍රවීණ යැයි සැලකෙන නිර්මාණකරුවන්ගේ නිර්මාණ පොදුවේ හැම පාඨකයාට ම රස විඳීමට බැරි තත්වයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් පශ්චාත් නූතන කලාව යැයි හඳුන්වාගත් ඒ නවකතා තුළ ඇති භාෂාව පවා වෙනස්. මේ කාරණය ඔබ දකින්නේ කොහොමද?

පශ්චාත් නූතනය යටතේ එන සියලූ ම දේවල්වල අර්ථය තමයි කිසිදු අර්ථයක් නෑ කියන එක. පශ්චාත් නූතන තත්වය තුළ පොදුවේ ගත්තම එය ගෙනාපු, විචාරයට ලක් කරපු විචාරකයින්, විශ්ලේශකයන් ආදීන් පිළිගන්න පොදු දෙයක් තියනවා. හැබැයි නිශ්චිත අර්ථයක් කිසිදු දෙයක නෑ කියන එක තමයි පශ්චාත් නූතන යන්නේ අර්ථය.  ඕන ම අයෙකුට  ඕන දෙයක් කියන්න පුළුවන් තත්වයක් තියන නිසා පශ්චාත් නූතන කලාව කියන එක නිරර්ථක, අර්ථ විරහිත තත්වයක්. හැබැයි බටහිරට අයත් පශ්චාත් නූතනවාදය සහ පශ්චාත් නූතන කලාවට අයිති දේවල් ගැන කතා කරන විට මීට වඩා පොහාසත් බවක් තිබුණා. මොකද ඒ අයගේ සම්ප‍්‍රදාය ප‍්‍රබලයි. නූතනවාදයත් ප‍්‍රබලයි. එය පසුපස තිබුණු මුලු ටිකත් ප‍්‍රබලයි. මෙහෙ එහෙමත් නෑනේ. ඒ නිසා මෙහෙ තිබුණ වැදගත් දෙයට පහර දෙන්න ඊර්ෂ්‍යාවෙන් සහ නොහැකියාවෙන් පිරුණු මිනිස්සු පශ්චාත් නූතනවාදය ගත්තා. සරලව කියුවොත් වාක්‍යක් හොඳට ලියන්න බැරි නම්, ඒකට කියන්න පුළුවන් පශ්චාත් නූතන විදිහට මෙහෙම තමයි ලියන්නේ කියලා. උපමා රූපකවලින් වර්ණනා කරන්න බැරි මිනිහට කියන්න පුළුවන් උපමා රූපක වැඩක් නෑ කියලා. කවි ලියන්න බැරි මිනිහට කියන්න පුළුවන් කවි  ඕන එකක් පොයටි‍්‍ර කියලා. ලංකාවේ පශ්චාත් නූතනවාදය ක‍්‍රියාත්මක වෙන්නේ ඒ වගේ බාල තලයක. අන්න ඒ නිසා ඔය පශ්චාත් නූතනවාදී කියන දේවල් කරන බහුතරයාගේ සීයට අනූවකගේ ම තියන ප‍්‍රශ්න තමයි ප‍්‍රතිභා හීනකම, දැනුම හීනකම සහ මංමුලාව. මං මේක ඉතාමත් විවෘතව කතා කරනවා වගේ ම මේ ගැන සංවාදයකට උනත් සූදානම්. ලංකාවේ මේ ඇති වෙලා තියන ඛේදවාචකය පශ්චාත් නූතනවාදය පිළිබඳ ප‍්‍රශනයක් නෙවෙයි. පශ්චාත් නූතනය කියන ලේබල් එකට ඌණ ප‍්‍රතිභා සහිත මිනිස්සු ටිකක් තමන්ගේ නොහැකියාව වහගන්න පශ්චාත් නූතනවාදය කියන රෙද්ද ඇඳගෙන. උදාහරණයක් වශයෙන් ඩෙරීඩා ගත්තොත් ඩෙරීඩාගේ මුල් ලේඛනවලින් පේන්නේ (ඉංග‍්‍රිසියෙන් තියන ලේඛනවල) ඉතා ම විශිෂ්ට සාහිත්‍යමය භාෂාවක් යටතේ එය ලියවුණු බවයි. ඔහුගේ මතය කුමක් වුවත් විශිෂ්ට රසයක් ඒවගේ තියනවා. නමුත් ලංකාවේ  පශ්චාත් නූතනවාදය ගෙන ආ කිහිප දෙනෙකුට ඇරෙන්න අන් අයට එහෙම තත්වයක් නෑ. ඊට පස්සේ විශාල පරම්පරාවක් තමන්ගේ නොහැකියාව, අධ්‍යපනය බිඳ වැටීම්, රසඥතාවය බිඳ වැටීම ආදියෙන් බේරෙන්න ඇඳපු රෙද්දක් තමයි පශ්චාත් නූතනවාදය.
  • ·        වර්තමානයේ ඉන්න විචාරකයන් අතින් සැබෑවට සාහිත්‍ය විචාරය සිදු වනවාද?

සාහිත්‍ය විචාර කියන එක සිද්ද කරන්න පුළුවන් විචාරකයෝ ලංකාවේ නැතුවා නොවෙයි. ඒ අය මාධ්‍ය වලින් හංගලා. ගොඩක් වෙලාවට මාධ්‍යවලට ගන්නෙ ම අර පශ්චාත් නූතන කොටස අල්ල ගත්තු හරියට වාක්‍යක් ලියන්න බැරි අය. නමුත් දැන් ආයෙ ම ප‍්‍රවණතාවයක් තියනවා මාධ්‍යකරුවන්ට ඉව වැටිලා. ඉතින් ඒ අය මතු වෙයි. නමුත් එතනදිත් ගැටලූවක් තියනවා. අලූතෙන් ආපු දැනුම් පද්ධති, අලූතෙන් ආපු වචන එක්ක පැරණි පුද්ගලයෝ අනවශ්‍ය විදිහේ වෛරයක් හදා ගන්නවා. ඒ වෛරය නූතන පරම්පරාවටත් පැරණි ඒවත් එක්ක තියනවා. මේ දෙක ම විය යුතු නෑ. දෙකේ ම සංකලනයක් තියෙන්න  ඕන. දෙපැත්ත ගැන ම අවබෝධයෙන් ඉන්න  ඕන. මං මේ පරම්පරා දෙක ම අතර සම්බන්ධය ගෙන යන කෙනෙක්. ඒ නියෝජනය තියෙන කෙනෙක්. ඒක දකින කෙනෙක්. විචාරකයෝ ගැන කතා කරද්දි නම් ගම් කියන්න අවශ්‍ය නැතත් හොඳ විචාරකයේ ඉන්නවා කියලා කිවුවම ඇති. නමුත් මේ හොඳ විචාරකයෝ පවා යට වෙලා තියනවා අන්තර්ජාලයෙන් ගන්න තියරි පොඩ්ඩකට. ඉස්සෙල්ලා කෘතියක් විග‍්‍රහ කරන්න  ඕන. ඒ කතුවරයාගේ පසුබිම, ඉපදුණු කාලය, ගැන දීර්ඝව ලියන්න  ඕන. ලංකාව තුළ 50 වල හොඳ පොත් පරිවර්තනය වෙන්න ගත්තා. හොඳ විචාර සංවාදයක් ඇති වුණා. නමුත් එතනින් එහාට ඒ සංවාදෙ දියුණු වුණේ නෑ. අපි කරන්න  ඕන විචාර කෘති පරිවර්තනය කරන එක. විචාර කෘති පරිවර්තනය වෙන්නේ නැත්තේ ඒකට වෙළඳපලක් නෑ. ඒ වෙළඳපල හදන්න විශ්වවිද්‍යාල, රජය මැදිහත් වෙන්න  ඕන. බටහිර විචාර පොත් විතරක් නෙවෙයි. සංස්කෘත වේවා, දෙමළ වේවා, වෙනත්  ඕනම විචාර පොතක් මීට අයිතියි. විචාරය පිළිබඳ විශාල අර්බුදයක් තියනවා. තැනින් තැන විචාරය සිදු කිරීමට වඩා කළ යුත්තේ  ඒ විචාරයේ මූලික ග‍්‍රන්ථ පරිවර්තනය වීම, සහ විශේෂයෙන් ලංකාවේ නූතන සාහිත්‍ය ගැන පවා නිරවුල්ව, ඓතිහාසික ක‍්‍රම විකාශනය ගැන ලියන ලේඛකයෝ සහ පාඨකයෝ පිරිසක් ගොඩ නගා ගන්න එක. ඒක ලොකු කර්තව්‍යක්. අපි ඒකට උත්සහ කරනවා. අපි බලමු. 
  •      ලංකාවේ තියන සාහිත්‍ය සම්මාන හැමදාම කැරකෙන්නේ එක ම ලේඛක කණ්ඩායමක් වටා. ඒ සම්මාන ක‍්‍රමවේද ගැන ඔබ හිතන්නේ මොකක්ද

ඇත්තටම පුළුල් අර්ථයෙන් ගත්තොත් සාහිත්‍ය සහ සම්මාන අතර කිසි ම සම්බන්ධයක් නෑ. උදාහරණයක් විදිහට සාහිත්‍ය කියන්නේ එක්තරා මිනිස්සු කණ්ඩායමක් ඉතිහාසයේ යම් යම් යුග වලදී ඒ අවශ්‍යතා අනුව ගොඩ නගා ගත් දෙයක්. සම්මාන කියන්නේ ඒ දේ කරගන්න බැරි මිනිස්සු කණ්ඩායමක් විසින් ඒ දේට සම්බන්ධ වෙන්න හදාගත්තු වෙනම වැඩපිළිවලක්. එතනත් පොඩි ප‍්‍රශ්නයක් තියනවානේ මං මෙහෙම කියනකොට. උදැහරණයක් විදිහට ගත්තම සම්මාන කියන්නේ මණ්ඩලයකින්. රජයෙන් හෝ පිළිගත් පාර්ශවයකින් දෙන දෙයක්නේ. එතකොට සාහිත්‍යකරුවා කියන්නෙ ම ගැඹුරු අර්ථයෙන් පිළිගත්ත දේත් එක්ක ගැටෙන කෙනෙක්. ඒක හරි උත්ප‍්‍රාසාත්මකයිනේ. සරලව කීවොත් සම්මාන ලැබෙන පොතක් තියනවානම් ඒ පොත ගැන සැක කරන්න  ඕන. සංස්ථාපිත මතවාදයක් තියෙන්න  ඕන. එක්කෝ මිතුරු කණ්ඩායමක් සම්මානිත පුද්ගලයා අල්ලා ගැනීමක් සිදු කරන්න  ඕන. එතකොට සම්මාන ලැබෙන හැම පොත ම නරකයි කියලා කියන්න බෑ. නමුත් ලංකාවේ ඉන්න සාහිත්‍යකරුවෝ සමාජය වෙන්වෙන් හරි තමන්ගේ ජීවිතේ වෙනුවෙන් හරි බරපතල සටනක් කරන්නේ නෑ. ටෝල්ස්ටෝයි වගේ අය තමන්ගේ පවුල අත්හැර රණ්ඩු වෙලා ගිහින් සාහිත්‍ය කරපු මිනිස්සු, මැක්සිම් ගෝරිකි වගේ පාරේ ඇවිදපු මිනිස්සු ලංකාවේ නෑ. ලංකාවේ ඉන්නේ දෑවැද්දත් එක්ක ගෑණියෙක් ගන්නවා වගේ සාහිත්‍ය ගැනත් හිතන මිනිස්සු. ඒ කියන්නේ පුවත්පතක් හරහා ජනප‍්‍රිය වෙන්න, රූපවාහිනියේ පෙනී හිටින්න, යම් කිසි මුදලක් ගන්න වගේ දෙයක් ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනවා. මේක හරිම කණගාටුදායකයි. ලංකාවේ පහල මධ්‍යම පන්තියෙන්නේ ඔය සාහිත්‍යකරුවෝ බිහි වෙලා තියෙන්නේ. ඒ අය ඇත්තට ම ලෝකයේ සාහිත්‍යකරුවොත් එක්ක ගත්තම ඉතාමත් සුළු සාහිත්‍යකරුවෝ. මං වුණත් එහෙමයි. ඒක මං දන්නවා. ඒ බවක් දැන හෝ නොදැන තමන්ගේ කල්ලි කණ්ඩායම් අටවගෙන මේ සම්මාන ගැනීම අපි දකින්න  ඕන අනුකම්පාවෙන්. ඇත්තටම එ වැනි සාහිත්‍යකරුවන් අභ්‍යන්තරයෙන් ඉතාමත් දුගී. ඔබ මාධ්‍යකරුවෙක් විදිහට හිතලා බලන්න මේ වගේ සාකච්ඡුා කිහිපයක් ඔබ දිගට ම කළොත් සාහිත්‍යකරුවන් කී දෙනෙක් ඔබෙන් අවස්ථාව ඉල්ලයි ද කියලා. මහා චරිත කියලා හිතන් ඉන්න අය ඇතුළේ කිසි දෙයක් නෑ. ප‍්‍රසිද්ධිය තමයි ඒ අයට අවශ්‍යය. ඒ නිසා සම්මාන එක්ක වැඩ කිරීම අපි දකින්න  ඕන සාහිත්‍යයේ ගැඹුරු අර්ථයට පටහැනි සහ මධ්‍යම පන්තියේ ජරා විලාසිතාවක් හැටියට. මං දකින්නේ ඒ විදිහට. රැකියාවක් කරලා මුදල් ලබා ගන්නවාට වඩා වෙනම කතාවක් එතන තියනවා. ලංකාව මේ ඛේදවාචකයේ එක් ගොදුරක්.
  • ·        වර්තමානයේ දී සරසවි අධ්‍යාපනය තුළින් සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අදාළ දක්ෂ නිර්මාණකරුවන් බිහිවීම වෙනුවට කටපාඩම් ශෛලියෙන් විභාග ගොඩ යන උපාධිධාරීන් බිහිවීම ගැන සමාජය තුළ කතිකාවක් ගොඩනැගිලා තියනවා. ඔබ සරසවි ඇදුරෙක් හැටියට මේ ගැන මොකද කියන්න තියෙන්නේ?

කොහොමත් විශ්වවිද්‍යාල පද්ධතියේ යම් යම් දේ පිළිබඳ විවේචන මා සතුව තියනවා. මුල ඉඳලම ලංකාවේ යම් කාල වකවානුවකින් පස්සේ විචාර චින්තනය ගොඩ නගන අරමුණක් නොමැතිව තමයි මේ ක‍්‍රියාත්මක වෙමින් යන්නේ. සාහිත්‍යකරුවෝ විතරක් නෙවෙයි කිසිම ආකාරයේ ස්වාධීන මිනිහෙක් බිහි වෙන්න මේ අධ්‍යාපන ක‍්‍රමයේ ඉඩ නෑ. සාහිත්‍ය කියන්නේ බොහො ම විචාරශීලී සහ තර්කානුකූල දෙයක්නේ. සාහිත්‍යකරුවෙක් නෙවෙයි අඩු තරමේ තමන්ගේ ගුරුවරයා ඉදිරියේ නැගිටලා ගුරුවරයාගේ අදහසට තර්කයක් ඉදිරිපත් කරන්නවත් පුළුවන් මිනිහෙක් බිහි කරන අධ්‍යාපන ක‍්‍රමයක් ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය තුළ නෑ. ඇත්තටම ලංකාවේ සියලූ ප‍්‍රශ්නවලට මුල අධ්‍යාපනය. විශේෂයෙන් උසස් අධ්‍යාපනය. ඒ ගැන දීර්ඝව සාකච්ඡා කළ යුතුයි. අපිට අවශ්‍ය වන්නේ සොක‍්‍රටීක අධ්‍යාපන ක‍්‍රමය. ඒ කියන්නේ ප‍්‍රශ්න සහ උත්තරවලින් කෙරෙන කතා බහක්. එවිට තමයි හැමෝගෙ ම මානසික පීඨ විවෘත වන්නේ. දැනට අපි යන්නේ විභාග කේන්ද්‍ර කරගත් ක‍්‍රමය. ඒවා ඇත්තටම සහතික විහිලූ විදිහටයි සලකන්න පුළුවන්. මේ සහතික විහිලූව තුළ සාහිත්‍යකරුවෙක් නෙවෙයි, සාමාන්‍ය නිර්මාණශීලි ලිපිකරුවෙක්වත් බිහි වෙන්නේ නෑ. මේ බිහිවෙන සාහිත්‍යකරුවෝ සිය මහන්සියෙන් බිහි වුණු අය මිසක් විශ්වවිද්‍යාලවලින් බිහි වූ අය නොවෙයි. විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන කවදාවත් සාහිත්‍යකරුවෝ බිහි වෙන්නේ නෑ. ඒක සිහිනයක්.

සටහන: නලිනිකා ලක්ෂාණි